|

ලංකාවේ රැඩිකල් උගතුන්ට – නිශාන්ත කමලදාස

අටපාස් ආමිකාරයකුගෙන් ලිපියක්…

ලංකාවේ රැඩිකල් උගතුන්ට අටපාස් ආමිකරයකුගෙන් ලිපියක්’’ යන මැයෙන් සංසරණය වූ ලිපියක් අප අතට පත් විය. ඒ ලිපිය එක්තරා අතකට අප විසින් දිගින් දිගට මේ දීපන කොළම තුළ පළ කරන ලද මතවාදයන්ට කරන අභියෝගයක් නිසා ලිපිය ඒ අයුරින්ම පළ කරමින් ඊට උත්තර බැඳිය යුතු යැයි සිතුවෙමි.

පහත පළවන්නේ එම ලිපිය ය. වරහන් තුළ ඇත්තේ එ් ලිපියෙන් පළ කරන අභියෝගයන්ට අපේ උත්තර ය. එක් එක් චෝදනාවට ඒ චෝදනාව නගන තැනදීම පිළිතුරු දිය යුතු නිසා එම ආකෘතිය තෝරාගෙන තිබේ.

“අටපාස් ආමිකාරයකු ලෙස ලංකාවේ විකල්ප උගතුන්, වියතුන්, සාහිත්‍ය කලාකරුවන් වෙත මා මේ ලිපිය ලියනුයේ උතුරේ යුද්ධය ගැන ඔබලා එකල දැරූ පුදුමාකාර විදග්ධ අදහස් මගේ පුංචි මොළයට වැටහෙන ආකාරය ගැන යමක් කීම සඳහාය. යුද්ධය නිමා වී වසර දහයකට පසු යුද්ධය ගැන ඔබලා එදා කී මේ කතා තවමත් වලංගුදැයි දැනගැනීමට ආසා කරමි.“

(ඔබේ කලකිරීම සාධාරණ ය. සමහරුන් ඔබ රණවිරුවන් ලෙස පුදද්දී ඇතැම්හු ඔබ නිකම් ම නිකම් කුලී හේවායන් ලෙස සලකනු ලබන නිසා ය. ඔබ වෙනුවෙන් කතා කරන සමහරක් මෙන් කුණුහරුප වරුසා වස්සන්නේ නැතිව ඒ ගැන මෙසේ අදහස් පල කිරීම ගෞරවනීය ය. ඒ ගැන ඔබට ආචාර කරමින් ඔබේ ලිපිය මතු කරන ප්‍රශ්න කීපයකට උත්තර සැපයීමට අදහස් කරන්නේ, මා රැඩිකල් උගතකු නොවූව ද, ඔබ ආරම්භ කර මේ ගෙන යන සංවාදය වැදගත් කොට සලකන නිසා ය. එය තවදුරටත් පවත්වා ගෙන යෑම වැදගත් නිසා ය)

“ඔබලාගේ දියුණු දැක්මට අනුව ලංකාවේ හමුදාව යනු ලෝකයේ නරකම පිරිසකි. සෙල්ලමට දෙමළුන් මරන තිරිසනුන් ජාතියකි. කොටි සාමාජිකයන් මෙන් උත්තුංග අරමුණකට කැපවූ වීරයන් නොව පඩියට වැඩ කරන කුලීකාරයන් පිරිසකි. එදා අප ලවා කොටි පැරදවීම ගැන ඔබ අහස උසට සුසුම් හෙලූ හැටි මට මතකය. අද හදිසියේ රට පුරා මර බිය ව්‍යාප්ත වී ඇති මොහොතක හමුදාව ගැන ඔබ එදා කී කතා නැවත අසන්නට කැමැත්තෙමි. එවිට අලුත් පරපුරේ ගංජා බලඇණියට රටේ ආරක්ෂාව බාරදී අපට සැනසිල්ලේ නිදාගැනීමට පුළුවන.“

හමුදාවේ විනය

(යුද්ධය ඇති රටක හමුදාවට බැඳී යුද බිමට යෑමට සැවොම ඉදිරිපත් වන්නේ නැත. ඒ නිසා ම හමුදාවේ සමාජිකයන් පිළිබඳ ගෞරවයක් මට තිබේ. එහෙත් ඕනෑම හමුදාවක හමුදා නීතියෙන් පිට ගොස් අපරාධ කරන අය සිටිති. ඒ අය අල්ලා දඩුවම් කිරීම හමුදාවේ කීර්තිය පිණිසම හේතු වෙයි. 1971 දී ප්‍රේමවතී මනම්පේරි නම් රූප සුන්දරිය නිරුවත් කොට දස වද දී මරා දමනු ලැබුයේ ඔය කියන හමුදාවේ ම අපරාධකරුවන් විසින් බව ඔබට මතක් කර දිය යුතු ය. ඉදිරියේ දී එවන් අපරාධයන් නැති කර ගැනීමට ද එවැනි අපරාධකරුවන්ට දඩුවම් දීම වැදගත් ය. එය සෙසු හමුදා භටයින්ගේ ගෞරවය රැකීමට ද හේතු වෙයි. උතුරේ දෙමළ කොටීන්ට විරුද්ධව මෙන් ම ඔබ රතුපස්වල ජනයාට ද එරෙහි ව අවි එස වූ බව අපට මතක ය. ඒ ඔබ ඔබේ ඉහළ නිලධාරීන්ගේ නියෝගවලට අනුව කටයුතු කළ යුතු කුලී හේවායන් ද වූ නිසා ය. හෙට මෙහෙයුමක දී ද ඔබ අපේ හදවත් පසාරු කරන්නට හමුදා විනය යටතේ අණ පිළිනොපදිනු ඇතැයි කීමට ඔබට වුව නොහැකි ය. හමුදා භටයකුට හමුදාවේ විනයට යටත්ව තමන්ගේ ඉහළ නිලධාරීන්ගේ අණ පිලිපැදීමට සිදුවන නිසා ය. ඒ නිසා අනවශ්‍ය ලෙස හැඟීම් බර නොවී යථාර්ථයකට මුහුණ දෙමින් මේ සංවාදය ගෙන යමු.)

“ධනේශ්වර හමුදාවක් ලවා කොටි මර්දනය කිරීම වැරදි බව ඔබලා නිතර කී බව මට මතකය. එහෙව් ඔබ තමන්ගේ ගෙදරට හොරු පැන්නොත් ධනේශ්වර පොලීසියට නොයා සමාජවාදී පොලීසියක් සොයා යන්නේදැයි නොදනිමි. “හොරු කියන්නේ පීඩිත පන්තියේ අපේම මිනිස්සු… හොරකම තමයි පීඩිතයාගේ විමුක්ති අරගලය… හොරකමට හේතුවෙච්ච සමාජ ආර්ථික හේතු නැති කරනවා මිසක් පීඩිතයන්ව ධනේශ්වර මර්දන යන්ත්‍රයට බිලිදෙන එක වැරදියි…” එවැනි අවස්ථාවල ඔබ එසේ කියනු ඇතැයි සිතමි.“

(ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වීම නිසා ද බොරුවට සාමය වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වමින් යුද්ධයම ඉල්ලා සිටි නිසා ද කොටි යුදමය වශයෙන් පරාජය කිරීමට කටයුතු කිරීම ගැන අපේ ප්‍රණාමය ඔබට ද ඔබේ සෙනෙවියන්ට ද ඔබ මෙහෙය වූ දේශපාලන නායකත්වයට ද හිමි වේ. එහෙත් කොටින්ට ජනයා එවැනි දෙයකට මෙහෙයවිය හැකි වූයේ අපේ ද – දකුණේ දේශපාලන නායකත්වයේ, යුද්ධයේ ජයග්‍රහණය ගැන අප ම පුදන දේශපාලනඥයන් ද ඇතුළුව- වැරදි නිසා බව අප පිළිනොගන්නා තෙක් නැවත නැවතත් යුද්ධ ඇති වීම වැළැක්විය නොහැකි ය. 1983 ජූලි සංහාරය නොවන්නට කොටි ද පහසුවෙන් පරාජය කර දමන්නට ඉඩ තිබුණි. ඒ දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාශයන් ද ඉටු කර දීමට සමගාමීව කටයුතු කරන ගමන් ය. අඩු වශයෙන් යුද්ධය අවසන් වී වසර 10 ක් ගත විත් තවමත් ඔවුන්ගේ නොවිසඳුණු ප්‍රශ්න එලෙස ම ය. හමුදාව යුද්ධයට විසඳුම් සපයා ඇති නමුත් දේශපාලන නායකත්වය දේශපාලන ප්‍රශ්නයට උත්තර දී නැත)

අනිටු ප්‍රතිඵල

“ඔබේ ප්‍රබුද්ධ මතය අනුව ප්‍රභාකරන්ලා බිහි වූයේ දෙමළ ජනයාට ඇති ප්‍රශ්න නිසාය. හේතුව තිබියදී ඵලය නැසීම නිශ්ඵලය. මගේ අටපාස් මොළයට වැටහෙන ආකාරයට කොටි සංවිධානය පමණක් නොව අයිඑස්අයිඑස් සංවිධානය බිහිවීමටද හේතු තිබේ. ඔවුන්ටද නොයෙක් ප්‍රශ්න ඇත. එපමණක් නොව ලෝකයේ සියලු කුඩුකාරයන්, අපරාධකරුවන්, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, මැරයන්, සොරුන් බිහිවීමට අදාළ හේතු තිබේ. ඒ හේතු සියල්ල නිට්ටාවට නැතිවන තුරු ඔවුන්ට කැමති දෙයක් කිරීමට ඉඩදී අප ඔවුන්ව ඔක්කේ තබා සුරතල් කළ යුතුය. සියල්ලට හේතු ඇතත් මට සිතාගත නොහැක්කේ ඔබලා වැනි අපූරු මිනිසුන් බිහිවීමට බලපෑ හේතුව පමණි.“

(බන්ධනාගාර පිරවීමෙන් පමණක් හොරු හෝ අපරාධකරුවන් නැති කළ නොහැකි ය. නිවැරදි ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් බන්ධනාගාර හිස් කළ රටවල් අද ලෝකයේ ඇත. ඒවා ගැන කියවන ලෙස මම ඔබෙන් උදක්ම ඉල්ලමි. එවිට කොටි ගැන ද ඔබේ මතය වෙනස් වනවා ඇත. ප්‍රශ්නය කොටි යුද්ධමය වශයෙන් පරාජය කිරීමේ නොව එයින් නොනැවතී දෙමළ මිනිසුන්ගේ ප්‍රශ්නවලට සාධාරණ පිළිතුරක් දීමට අසමත් වීමේ ය.)

“යුද්ධයේ අනිටු ප්‍රතිඵල ගැන ඔබලා නිතර බණ කියූ හැටි මට මතකය. මට තේරෙන හැටියට නම් යුද්ධය ඇතුළු ලෝකයේ කිසිදු ප්‍රශ්නයකට සර්ව සාධාරණ විසඳුම් නැත. හොරු ඇල්ලීමෙන්, කුඩු නැති කිරීමෙන්, පමණක් නොව ලංකාවේ හොඳ අධ්‍යාපනයක් ඇති කිරීමෙන් වුවද අසාධාරණයට ලක්වන පිරිසක් සිටිති. එසේ නම් යුද්ධය වැනි ප්‍රශ්නයක් සර්ව සාධාරණ ලෙස විසඳන්නේ කෙසේද? ඔබේ සිත රිදුනද එහිදී සාපේක්ෂව වඩා සාධාරණ විසඳුම වූයේ ප්‍රභාකරන් පරාජය කිරීමය. කුඩු මුදලාලිලාගේ දරුපවුල් ගැන හිතා ඔවුන්ව හිරේ නොදමා සිටින්න යැයි කියන උගත්තු ලෝකයේ නැත. එහෙත් යුද්ධයේ අනිටු විපාක ගැන කියමින් ප්‍රභාකරන් ආරක්ෂා කළ උගත්තු විශාල පිරිසක් ලංකාවේ සිටිති.“

(කුඩු මුදලාලිලා හිරේ දැමිය යුතු ය. ඒ ගැන ප්‍රශ්න දෙකක් නැත. අප එසේ අපරාධකාරයන් දිගටම හිරේ දමා ඇත. එහෙත් අපරාධ අඩුවී ද? බන්ධනාගාර හිස් කළ රටවල් ඇතැයි මම කීවෙමි. අපට බැරි වූ ඒ දේ ඔවුන් කළේ කෙසේ දැයි විමසා බැලීම සුදුසු ය. අපට බැරි වූ පමණින් යමක් කළ නොහැකි යැයි නිගමනයට පැමිණීම සාධාරණ නැත. ඔවුන්ට එසේ කිරීමට හැකි වූයේ ඔවුන් අපරාධවල සැපයුම් පැත්ත පමණක් නොව ඉල්ලුම් පැත්ත ද කළමනාකරණය කළ බැවිනි. අප ඉගෙනගත යුත්තේ ඒ සඳහා ඔවුන් අනුගමනය කළ ක්‍රියා මාර්ග ය. කුඩු මුදලාලිලා හිරේ දමන අතරේ ඔවුන් බිහිකරන හේතුවලට ද විලංගු දැමිය යුතු ය.)

“ඔබලා නිතරම රට ජාතිය තදින් පිළිකෙව් කරති. රට ජාතිය වෙනුවෙන් යුද වැදීම පටු ගෝත්‍රවාදී වැඩක් බව නිතර පවසති. දේශප්‍රේමය තක්කඩිකමක් බව කියති. මට තේරෙන ආකාරයට නම් ජාතිය ගැන කතා කිරීම වැරදි නම් ලාංකිකත්වය ගැන කතා කිරීමද වැරදිය. මහද්වීප ගැනද කතා කිරීමද වැරදිය. මුළු ලෝකය හෝ මානව සංහතිය ගැන කතා කිරීමද වැරදිය. ඒ සෑම තැනකදීම අපි පටු සීමාවක හිරවෙමු. කළ යුත්තේ ඔබලා මෙන් ජාති, ආගම්, දූපත්, මහද්වීප, ග්‍රහලෝක, සෞරග්‍රහ මණ්ඩල, ක්ෂීරපථ ආදී සියලු සීමා ඉක්මවා ගිය විශ්වවාදී බුදු පොරවල් වීමය.“

(ජාතිය හා ලාංකිකත්වය එකම ගොඩට දැමීම, ඔබේ දැනුමේ ඇති සීමාවේ ප්‍රතිඵලයකි. ලංකාව රටකි. එයට වෙනම පාලනයක් ඇත. ඒ රට තුළ ක්‍රියාත්මක වන වෙනම නීති පද්ධතියක් ඇත. වෙනම ආර්ථිකයක් ඇත. නිශ්චිත පුරවැසියන් ප්‍රමාණයක් ඇත. රටට අතුළුවන පුරවැසියන් නොවන අය විසින් ඒ සඳහා විශේෂ අවසරයක් ගත යුතු ය. එවැනි අට මගලයන් කිසිවක් ඔබ කියන “ජාතිය“ කට නැත. ඔබ ජාතියක් ලෙස දක්වා ඇත්තේ ජනවර්ගයන්ට ය. අප ජනවර්ගයක් ලෙස සිංහල හෝ දෙමළ වන අතරතුර ජාතියක් ලෙස ශ්‍රී ලාංකික වෙයි. ඔබ කියන “ජාතිය“ -ඇත්තටම නම් ජනවර්ගය- යනු භාෂාව නිසා එක් කරනු ලැබූ ජන කොට්ඨාසයකි. අද භාෂාව අතීතයේ තරම් ම සුවිශේෂී කාරණයක් නොවන නිසා ජනවර්ගයට අතීතයේ තිබූ වටිනාකම දැන් නැත. ඒ නිසා ම ඒ වටා මිනිසුන් එක් රැස් කිරිමට කටයුතු කිරීම ම ගෝත්‍රවාදී ය. අවශ්‍ය ශ්‍රී ලාංකික අනන්‍යතාවක් ගොඩ නැගීම ය. ඇත්තටම ශ්‍රී ලාංකික අනන්‍යතාව වැදගත් වන්නේ අපට ජාතියක් හැටියට එකට නැගී සිටීමට සිදු ව ඇති නිසා ය. ඒ ආර්ථිකය විසින් අපට පවරා ඇති වගකීමකි. අප ජනවර්ගයන් හැටියට බෙදී වෙන් වී සිටීමෙන් වන්නේ රටක් හැටියට ගොඩ නැගීමට අපට නොහැකි වීම ය. සිංගප්පූරුව තුළ බොහෝ ජනවර්ග තිබේ. ඔවුන් ඒ ඒ ජනවර්ගය වටා නොව සිංගප්පූරු වැසියන් යන පොදු පදනම මත පිහිටා සංවිධාන වීම හේතුවෙන් රට ගොඩනැගූ නිසා ලොව ජය ගෙන තිබෙන්නේ ය. එකිනෙකා කුළල් කා ගන්නා තරමට අප ශ්‍රී ලංකාව නම් රට ගොඩනැගීමේ ඒ පොදු ඉලක්කයෙන් වඩ වඩා ඈත් වන්නේ ය.)

(රටකට ද එහා ගිය මානවවාදී හැඟිමක් අපට තිබිය යුතු ය. වත්මන් ලෝකය තුළ රටකට පවා ස්වාධීන පැවැත්මක් නැත. රටක් ලෙස සහලින් අප ස්වයං පෝෂිත යැයි කියන්නේ වුව ද වී වගාවට අවශ්‍ය පොහොර හා කෘෂි රසායනික අප ගෙන්වන්නේ පිටරටිනි. හාන්නට අවශ්‍ය ට්‍රැක්ටර් අස්වැන්න නෙළා ගැනීමට අවශ්‍ය සුනාමි හා භූතයන් අප ගෙන්වන්නේ පිටරටිනි. ඒවාට අවශ්‍ය ඉන්ධන ලිහිසි තෙල් ආදිය ගෙනෙන්නේ පිටරටිනි. ඒ නිපදවන සහල් බෙදාහරින ලොරි ගේන්නේ පිටරටිනි. ඒවාට අවශ්‍ය අමතර කොටස් ඉන්ධන ලිහිසි තෙල් ගේන්නේ ද පිටරටිනි. එහෙම බැලුවහම අප ලෝක ආර්ථිකයට බැඳී ඇත්තේ නොගැලවිය හැකි ලෙස ය. එවන් තත්වයක් තුළ රට ගැන පමණක් කල්පනා කොට සෙසු ලෝකයට පිටුපාන්නට අපට බැරි ය.)

(අප අද මුහුණ දෙන අටෝ රාශියක් ප්‍රශ්න ද ගෝලීය ප්‍රශ්න ය. අප ඉන්නේ ගෝලීය උණුසුමට සියලු රටවල් එක්ව උත්තර සොයන්නට අවශ්‍ය පසුබිමක ය. අප ඉන්නේ ගෝලීය ත්‍රස්තවාදයට ද එක් ව උත්තර සෙවිය යුතු තත්වයක ය. ඒ සියල්ල එසේ තිබිය දී වෙන්වන්නට කරුණු සෙවීම මෝඩකමක් පමණකි.)

(බුදු හාමුදුරුවන් ගත්තේ ඔබේ ගෝත්‍රීය මග නොව අපේ විශ්වීය මග ය. සිය පියාණන් අමතා බුදුන් වහන්සේ කීවේ තමන් ශාක්‍ය වංශයට තවදුරටත් අයිති නොවන බව ය. බුදුන් දෙසුවේ සියල්ලන්ට ම මෛත්‍රිය කරන ලෙස ය. ඔබ අප බුදු පොරවල් හැටියට දකින්නේ ඒ නිසා විය හැකි ය. අපට අපහාස කිරිමට ගොස් ඔබ කර ඇත්තේ බුදු හිමියන්ට අපහාස කිරීම ය.)

“ඔබලා මුළු විශ්වයටම අයත් විශ්ව පුරවැසියන් බව මම දනිමි. එහෙත් කොළඹ නගරයේ බෝම්බ පුපුරන විට ඔබට විශ්වයට පලාගොස් ආරක්ෂා වීමට ක්‍රමයක් නැති බැවින්, එවැනි අවස්ථාවලදී අටපාස් ගෝත්‍රවාදීන්ගේ සහාය අවශ්‍ය වේ යැයි සිතමි.“

(මිටියක් අතින් ගත් මිනිහෙක් කල්පනා කරන්නේ ඕනෑම ප්‍රශ්නයක් මිටියෙන් විසඳිය හැකිය කියා ය. අවි ගත් ඔබට ද සිතෙනු ඇත්තේ ඒ දේ ම ය. අවියකින් කළ හැකි දේ ද නොකළ හැකි දේ ද තිබේ. අවියකින් ත්‍රස්තවාදියකු මැඩලිය හැකි ය. එහෙත් ත්‍රස්තවාදය ඇති කරන හේතු එයින් ඉවත් කළ නොහැකි ය. ජාතිය කෙසේ වෙතත් රට වෙනුවෙන් යුද කිරීම ගෝත්‍රවාදයක් නොවේ. ත්‍රස්තවාදයට එරෙහිව අවි භාවිතා කිරීම ද ගෝත්‍රවාදයක් නොවේ. එහෙත් සැබෑ දක්ෂතාවය ඇත්තේ යුද්ධ කිරීමේ නොවේ. එය වළක්වා ගැනීමේ ය. ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ද සත්‍යය වන්නේ එය ය. ප්‍රශ්නය ත්‍රස්තවාදය විනාශ කර දැමීමේ නොවේ. එය ඇති වීම වළක්වා ගැනීමට අපට නොහැකි වීම ගැන ය. තවදුරටත් ඒ හේතු ඉවත් කිරීමට අප අසමත් වීමේ ය.)

“ලෝකය තනි යායක් යැයි පැවසූ සේකර ගැන ඔබලා නිතර කතා කරති. එහෙත් ඒ සේකරම රත්නදීප ජන්ම භූමි වැනි අම්බ ගෝත්‍රවාදී ගීත ලියූ බව මා අසා ඇත. ලෝකය තනි යායක් යැයි පවසන ඔබලා තමන්ගේ නිවෙස් ආරක්ෂාවට දොරගුලු, වැට මායිම්, තාප්ප ඉදිකරගෙන සිටින්නේ ඇයි දැයි මට නොතේරේ. ලෝකය තනි යායක් යැයි කියන ඔබ තමන්ගේ වත්තට පැන පොල් කැඩීමට වෙන අයට අවසර දෙන්නේද? පුදුමය වන්නේ ගෙදර වැට මායිම වෙනුවෙන් සටන් කරන ඔබ රටේ ආරක්ෂාව විහිළුවට ලක්කිරීමය. ඒ වෙනුවෙන් මහගම සේකරව පවා සමූහ දූෂණයට ලක් කිරීමය.“

(රටේ ආරක්ෂාව විහිළුවක් නොවේ. එහෙත් ඒ ආරක්ෂාවේ නාමයෙන් අපරාධ කිරීම සමාව දිය නොහැකි වරදකි. ආරක්ෂාවේ නාමයෙන් අපේ රටේ ම ජිවත්වන සිංහල හා බෞද්ධ නොවන ජනයා පීඩනයට පත් කිරීම වරදකි. ආරක්ෂාවේ නාමයෙන් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට මරණ දණ්ඩනයෙන් හා ශාරීරික හිංසනයෙන් වැට කඩොලු බැඳීම වරදකි. ආරක්ෂාවේ නාමයෙන් පාරවල් වසා ගෙන සිටීම වරදකි. රටේ ආරක්ෂාව ඇති කළ හැක්කේ අවියෙන් පමණක් නොවේ. ඒ සඳහා මිනිසුන් සැමට ගෞරවයෙන් ජීවත් විය හැකි වටපිටාවක් ද ඇති කළ යුතු ය. දොරගුලු වැට මායිම් තාප්ප වලින් හොරකම් අවසන් කළ රටක් ගැන මා නම් දන්නේ නැත. ඇතැම් තැනක හොරකම පහසු වී ඇත්තේ ම උස තාප්ප වලින් වසා ගැනීම හේතුවෙන් බව ද මා අසා තිබේ.)

අවි පරිහරණය

“අවසානයේදී ලංකාවේ විකල්ප උගත්තු යනු පොල් ගහ පෙන්වා ඊට තුත්තිරි ගහ යැයි පවසන මරිමෝල් මැන්ටලයන් පිරිසක් යැයි හැඟෙන්නේ මට පමණක් දෝ යන ගැටලුව තදින්ම මට වද දෙන්නට විය. ඒ නිසාම මම උගතුන් යනු කවුදැයි අලුතින්ම සොයා බැලීමට පටන් ගත්තෙමි. ඔබලා වැනි උගතුන් අතිවිශාල පිරිසක් සිරියාව, ලිබියාව වැනි රටවලද සිටි බව එහිදී මට දැනගන්නට ලැබිණි.“

(කිසිවකුට අපහාස කිරීමට හෝ අපහාස නිසා පරල වීමට හෝ මා සූදානම් නැත. එහෙත් ඔබට එකක් නම් කිව යුතු ය. ඒ අලියාගේ කන අල්ලාගෙන ඌ කුල්ලක් යැයි කීමෙන් වළකින ලෙස ය. ලෝකය ගැන ද තව බොහෝ ගැන ද අවි පරිහරණයට අමතරව ඉගෙන ගන්නා ලෙස ය. අවියෙන් කළ හැකි දේ තිබේ. එහෙත් එයින් නොකළ හැකි දේ ද බොහෝ ය. අට පාස් වූ මිනිසුන් ද පසු කලෙක ජීවිතයෙන් උගෙන තිබේ. ඔබට ද ඒ සඳහා අද අදම උත්සහ කරන ලෙස ඉල්ලා සිටීමට කැමැත්තෙමි.)

ඉසුරු ප්‍රසංග (ලිපිය ලියා තිබුණේ ඒ නමිනි)

(ඊනියා දේශප්‍රේමී බහුතරය මෙන්, අතින් පයින් හා කුණුහරුපයෙන් සංග්‍රහ නොකොට, තමන්ගේ අභියෝගය වචනයට නගා පළ කිරීමට සමත් වූ, ඉසුරු ප්‍රසංග ගැන ගෞරවයෙන් යුතුව, ඔහුගේ අදහස් සංවාදයට ලක් කරනු රිසි කෙනකුගේ උත්තරයක් ලෙස මේ වරහන් ඇතුළත දිග ඇදුණු පද පේළිය සැලකුව මැනව)

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *