ජනාධිපති අපේක්ෂක සටන – සී.ජේ. අමරතුංග

ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සඳහා ප්‍රධාන පාර්ශව දෙක තුනෙහිම පවතින්නේ දැඩි සටනකි.පොහොට්ටුවේ සටන පටන්ගත්තේ කලකට පෙර සිටයි. වරෙක එය වර්ධනය වූයේ ගෝඨාභය ද?  චමල් ද? වශයෙනි. විමල් වීරවංශලාට මෙන්ම විශ්‍රාමික හමුදා නිලධාරින් රොත්තට ද ඕනෑ වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකයා කරන්නටය. එයට කුමාර වෙල්ගමගෙන් එල්ල වුයේ දැඩි ප්‍රහාරයකි. වාසුදේව නානායක්කාර ඇතුළු තවත් පිරිසක් ඒ සමග එක්ව සිටියෝය.

ඒ අතර තවත් අපේක්ෂකයෙක් පොහොට්ටුවේ පාත්තරයට පාත් වූවේය. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය. ජනාධිපති අපේක්ෂකත්වය ගන්නට සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංගනය කළේය. මහින්ද රාජපක්ෂට අගමැතිකම දුන්නේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. රනිල් වික්‍රමසිංහ මහතා සමග යුද ප්‍රකාශ කළේය. ඔහුද දැන් ශ්‍රී ලං.නි.ප. – පොහොට්ටු සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා වීමට සූදානමින් සිටින්නේය. ඔහු අත තිබෙන තුරුම්පුව නම් ශ්‍රී ලං.නි.ප. ඡන්ද නැතිව පොහොට්ටුවට දිනන්න බැරි බවයි. ඒ අතර පොහොට්ටුවේ කට්ටිය කියන්නේ මෛත්‍රිපාල අවොත් කොහොමත් පරාද බවයි.

තීන්දුව ගැනීම භාර දී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාටය. ඔහු මොන තීන්දුව ගත්තත් යම් අර්බුදයක් ඇතිවීම වැළැක්වීය නොහැකි වන බව පෙනෙන්නට තිබේ. යාථාර්ථය එයයි.

ජනාධිපති අපේක්ෂකත්වය ගෝඨාට දෙන්න මහින්ද තීන්දු කළොත් කුමාර වෙල්ගම වැනි පිරිසක් වෙන් වී යාමට ඉඩ ඇත. එමෙන්ම ශ්‍රී ලං.නි.ප. ය ද එකට එක කිරීමේ තීන්දුවක් ගන්නට ඉඩ ඇත. ඔවුන්ට  වෙනම තරඟ කිරීමට සිදුවෙයි. එසේ නොකළොත් කළ හැකි දෙයක් ගැන සිතාගන්නටවත් බැරිය.

පොහොට්ටුවේ අපේක්ෂකයා චමල් හෝ ශීරන්ති හෝ යැයි තීරණය කළ ද ගෝඨාගේ කණ්ඩායමත් ශ්‍රී ලං.නි.ප.යත් අවි අමෝරාගන්නවා නිසැකය.

අනෙක් අතට අපේක්ෂකත්වය මෛත්‍රිට දුන්නොත් විශාල විරෝධයක් මතුවෙන්නේ පොහොට්ටුවේ ඇතුළතිනි. එය බරපතළ පිපිරීමක් විය හැකිය.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයට මුහුණදීමට නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙම අමාරු ප්‍රශ්නයට මුහුණ දී ගොඩයාමට සිදුවීම නොවැළැක්විය හැකි තත්ත්වයකි.

එක්සත් ජාතික පක්ෂයේ නැතහොත් පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ගැන සාකච්ඡාවෙන්නේ රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස යන තිදෙනා සම්බන්ධයෙනි. මෙහි දී සජිත් හා කණ්ඩායම ඒ සඳහා ප්‍රචාරක ව්‍යාපාරයක් අරඹා ඇති බව පෙනෙන්නට තිබේ. එයට දරුණු ලෙස ප්‍රතිචාර ද එල්ලවෙමින් පවතියි. දරුණුම විවේචකයා වී ඇත්තේ රවී කරුණානායක මහතාය.

එක්සත් ජාතික පක්ෂය තුළ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට විරෝධයක් ඇතැයි කියති. මෙම ප්‍රශ්නය මාධ්‍ය විසින් සරත් ෆොන්සේකා මහතාගෙන් ඇසූ විට ඔහු කීවේ ඔය කතාව අවුරුදු දහයක් පහළවක් තිස්සේ කියනවා නේදැයි කියාය. අපට තිබෙන ප්‍රශ්නය ද එයයි. මෙය ඇත්ත ප්‍රශ්නයක්ද? නැතහොත් ඇතැම් ජනමාධ්‍ය හා දේශපාලන බලවේග විසින් ගොඩනගන ලද්දක් ද යන්නයි.

රනිල්ට එරෙහි සජිත්ගේ සටන අද ඊයේ ආරම්භවුවක් නොවේ. එය කාලයක් තිස්සේ පැවතිණි. ඒ අතර විවිධ ජිල්මාට් ද අපට දකින්නට ලැබිණි. වරෙක වාර්තා වූයේ එජාප කෘත්‍යධිකාරි මණ්ඩලය ඒකමතික යෝජනා සම්මතයකින් සජිත් නායකත්වයට පත් කරගත් බවයි. එසේ වුව ද දින කිහිපයකින් හෙළි වුයේ රැස්වීම අවසන් වන මොහොතේ යෝජනාවක් ගෙනවිත් ස්ථිර කොට විසිර ගිය බවකි. තව පිරිසක් කීවේ ඒ වනවිට රැස්වීම අවසන්කොට තිබු බවයි. කෙසේ හෝ වේවා නායකත්වය වෙනස් වූයේ නැත. එම සිදුවීම මතකයට නැගුණේ දැන් නැවතත් එබඳු සංදර්ශන ගැන ආරංචි වන හෙයිනි.

වරෙක අභියෝග කළේ නායකත්වය සඳහා රහස් ඡන්දයක් ලබාදෙන ලෙසයි. ඒ අභියෝග කළ ආකාරයෙන් හිතුණේ මෙවර නම් රනිල් ඉවරයි කියාය. සජිත් පිලේ උදවිය සිරිකොත ළඟ රැස් වී සිටියේ රනිල් නාවා ගෙදර යවන්නට සූදානමිනි. රනිල්ට තිබෙන විරෝධය ගැන ඔවුන්ට එතරම් විශ්වාසයක් තිබිණි. ඡන්දය ගැන්න විට ප්‍රතිඵලය 68ට 28ක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එය ජය ගැනීමයි. වැඩි ඡන්ද 40කි. මාධ්‍යයෙන් මවන තත්ත්වය හා ඇත්ත තත්ත්වය අතර වෙනස ඒකය.

ඊළඟට කීවේ වෙනත් කතාවකි. කෘත්‍යාධිකාරියේ ඉන්නේ රනිල් හිතවතුන් බවත්, පාක්ෂිකයා විරුද්ධ බවත් එම අලුත් කතාවයි. ඒ සමගම පාක්ෂිකයන්ගේ විරෝධතා පා ගමන කියා ගමන් යාමක් හා ජනමාධයෙන් ඒවා පිම්බීමත් දක්නට ලැබුණි. බොහෝ දෙනෙකුට හිතුණේ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එම පාක්ෂිකයා පෙළපාලි යන බවයි.    

චිත්‍රය වෙනස් වුණේ එසේ ගිය පිරිසකට මාතර දී කුරුඳු පොලු ප්‍රහාර එල්ලවීමත් සමගය. ගුටි කෑ අය මෙන්ම පහරදුන් අය ගැන ද මාධ්‍ය වාර්තා පළ වීය. පහරදීමට අත්අඩංගුවට පත්වුයේ හොඳ එක්සත් ජාතික පාක්ෂිකයන්ය. පක්ෂයේ බහුතරය සිටියේ එතැනය.

මේ  සිදුවීම් මතක් කළේ දැන් නැවතත් එබඳුම වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වන බව පෙනෙන්නට ඇති නිසාය. සමහර ජනමාධ්‍ය කියන්නේ මෙවර නම් තත්ත්වය බරපතළ බවයි. එය එසේ දැයි ප්‍රශ්න කරන්නට වන්නේ එදා කීවේ ද මෙබඳුම කතා නිසාය.

අනෙක් අතට රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක වන්නේ එජාපය ට පිටතින් බව පසුගිය කාලයේ පෙනෙන්නට තිබිණි. ඒ සඳහා විශාලම වුවමනාව තිබ්ණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටය. රනිල්ට එරෙහි විශ්වාස භංගය පිටුපස සිටියේ ඔහුය. රනිල්ගේ ආණ්ඩුව බිඳ දැමීමට  හැදුවේ ඒකටය. රනිල් නොවන වෙනත් එජාප නායකයෙක් වුවමනා වී තිබුණේ ඔහුටය. ඔහුට සහය දෙන ඇතැම් ජනමාධ්‍ය ආයතන ඒ වෙනුවෙන් කඩේ ගියේ ඇඳුම් නැතිව බව බොහෝ දෙනා දන්න කාරණයකි.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස පිලෙන් එල්ලවන අභියෝගය එජාපයේ අර්බුදයනට හේතුවන බවට සැකයක් නැත. එක් පිරිසක් සජිත් ඉල්ලා සිටින්නේ ඔහු රටේ ජනප්‍රිය බව කියමිනි. එම පිරිස කියන්නේ සජිත්ට පහසුවෙන් ජනාධිපතිවරණය ජයගත හැකි බවයි.

කෙසේ වෙතත් අනෙක් අතට පෙනෙන්නට තිබෙන්නේ සජිත්ගේ ජනප්‍රියතාව තිබෙන්නේ සිංහල බෞද්ධ ජනයා අතර බවයි. ඒ ජනප්‍රියතාව ගොඩනැගී තිබෙන්නේ ගැලරියට කතාකිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එජාප ය මරණ දඬුවමට එරෙහිව සිටිය දී සජිත් එයට පක්ෂ වූයේ එම තත්ත්වය පෙන්නුම් කරමිනි.

සජිත්ට එරෙහි කණ්ඩායම කියන්නේ ඔහුට රට ගොඩනැගිය හැකි දර්ශනයක් නැති බවයි. පාසල් සිසුන්ට සපත්තු දෙන්නට, ජනතාවට බඩු බෙදන්නට ‍නොව රටට නායකත්වයක් අවශ්‍ය රට හදන්නට බවයි.

අ‍නෙක් අතර ‍මෙරට සුළුතර ජනවර්ග වල සහය දිනාගත හැකි නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ‍බො‍හෝ ‍දෙනා පිළිගන්නා සත්‍යයකි. එම සත්‍ය ‍නොමැතිව ‍මෙම ජනාධිපතිවරණය ජයගත ‍නොහැකිය. එය ඇතැම් එජාප පක්ෂිකයන්ට නො‍‍තේරුන ද ‍පො‍හොට්ටු‍වේ ශ්‍රි. ලං.නි.ප ‍යේ නායක‍යෝ එය දනිති.

මෛත්‍රිපාල සිරි‍සේන මහතා තම ධුරකාලය වසර හයක් කර ගන්නට උත්සාහ කළේ ඇයි දැයි එජාප නායක‍යෝ සිතා බැලිය යුත්‍තේය. එ‍මෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් ව්‍යවස්ථා වි‍රෝධීව කැඳවූ‍‍යේ මන්දැයි සිතා බැලිය යුත්තේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරි‍සේන මහතා ‍මේ සියල්ල ක‍ළේ ‍පො‍හොට්ටු‍වේ උප‍දෙස් හා අනුග්‍රහය ඇතිව බව පැහැදිලි කරුණකි.  එම ක්‍රියාමාර්ගවල අරමුණ වූයේ ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයක් පවත්වා ගැනීමයි. එයට ‍හේතුව නම් ජනාධිපතිවරණයක දී එක්සත් ජාතික පක්ෂයට හා රනිල් වික්‍රමසිංහ මහතාට වැඩි වාසි ඇති බව ඔවුන්‍‍‍ගේ තක්‍සේරුව වී තිබීමය යන්න තේරුම් ගැනීම අපහසු විය නොහැකිය.

මහින්ද පි‍ලේ ප්‍රබල සාමාජිකයන් වන වාසු‍දේව නානායක්කාර වැනි අය ‍මේ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ ක‍ළෝය. ඔවුන් කී‍වේ ජනාධිපතිවරණය දිනන අපේක්ෂකයකු ‍පො‍හොට්ටුවට නැති බව හා එම නිසා ‍කෙ‍සේ ‍හෝ පාර්ලිමේන්තු මැතිවරණය මුලින් ලබාගතයුතු බවයි. ව්‍යවස්ථා වි‍රෝධි ආණ්ඩු හදා‍ගෙන මහින්ද රාජපක්ෂ මහතා උත්සාහ කළේ එයටයි.

කෙසේ ‍හෝ ‍වේවා දැන් ඒ සියලු උත්සාහයන් වතුරේය. ජනාධිපතිවරණයට මුහුණ ‍දෙන්න සිදු වී තිබේ. ඒ සම්බන්ධ‍යෙන් ද ‍පො‍හොට්ටුවේ අවුල්ය. ඉතින් දැන් කරන්න ති‍යෙන අ‍නෙක් වැ‍ඩේ නම් එජාප යේ අවුල් වර්ධනය කරන එකය. ‍‍‍මෛත්‍රිපාල සිරි‍සේන ජනාධිපතිතුමා, ශිරාල් ලක්තිලක, ‍මෛත්‍රි ගුණරත්න ආදීන් යොදා‍ගෙන ‍මේ කරන්‍‍නේ ඒකය. ‍මෙහි මිටුපස්සේ සිටින්‍‍නේ මහින්ද රාජපක්ෂ මහතාම බව ‍තේරුම් ගැනීම අපහසු නැත.

මේ උගුලේ පැටලු‍ණ‍හොත් එජාප ය අමාරු‍වේය. එජාප ‍යේ සියලු නායකයින් ‍මෙම යථාර්ථය තේරුම් ගත යුත්‍තෝය. රනිල් වික්‍රමසිංහට, කරු ජයසූරියට හා සජිත් ‍ප්‍රේමදාසටත් ති‍බෙන්‍‍නේ මෙම සත්‍ය ‍දේශපාලනය තේරුම්‍ගෙන වඩා ඉවසී‍මෙන් කටයුතු කරමින් පක්ෂයේ සමගිය රැක ගැනීමයි. සතුරන්‍‍ගේ උගුල්වල පැටලී‍මෙන් මිතුරන් ගලවා ගැනීමට සියලු ‍දෙනා කටයුතු කළ යුත්‍තෝය.

එජාප නායකයන්ට එම හැකියාව ඇති බව අපි සිතමු.

සී.ජේ. අමරතුංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *