සැප්තැම්බර් , ඔක්තෝ­බර් වනවිට‍ ආර්ථිකය ස්ථාවරයි‍ – නිල මැදුර විවෘත කිරීමෙන් පසු අගමැති රනිල් කියයි

කෝටි පන්සිය හැටක වියදමින් ඉදිකෙරුණු ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට මහල් 21කින් හෙබි ගොඩනැගිල්ලක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (25) විවෘත විය. අගමැතිවරයාගේ සංකල්පයක් හා දැක්මකට අනුව ඉදිවුණු නිල මැදුර විවෘත කිරීමෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසිඑක්වෙනි මහළට ගොස් අනාගත මහා නගරයක සිරි නරඹමින් නිරීක්ෂණයක යෙදුනි. අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන හා රාජ්‍ය ඇමැති ජේ. සී. අලවතුවල මහත්වරු මෙහි වෙති. ඡායාරූපය – හිරන්ත ගුණතිලක

කොළඹ දිස්ත්‍රික්කය දැවන්ත කර්මාන්ත වාණිජ මහා නගරයක් බවට ප්‍රතිෂ්ඨාපනය කරමින් නවලොවට ගැළපෙන අපනයන ආර්ථිකයකින් හෙබි ශක්තිමත් ශ්‍රී ලංකාවක් බිහි කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අපනයන ආර්ථිකයක් බිහි කිරීමේ දී ඇතිවන ගැටලු ගණනාවකට සාර්ථකව පිළිතරු දීමට පරිපාලනය දියුණු වෙමින් දිස්ත්‍රික්ක කාර්යාල කේන්ද්‍රස්ථාන බවට පත්කරගැනීමේ හැකියාව මෙහිදී අගමැතිවරයා පෙන්වා දුන්නේය.

අපනයන ආර්ථිකයට පවතින සියලුම ගැටලු නිරාකරණය කර දෙන බවත් සිහිපත් කළ අගමැතිවරයා, සැප්තැම්බර් ඔක්තෝම්බර් මාසවල ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ යම් ස්ථාවරයක් ඇතිවිය හැකි බවටත් සඳහන් කළේය. ඉන්දියා සාගරයේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අරමුණේ දී මහනගරයක අවශ්‍යතාව පැහැදිලි කරමින් අගමැතිවරයා පළ කළේ සම්පූර්ණයෙන් ගම්බද ස්වරූපයෙන් වෙනස් වූ කොළඹ එකම මහ නගරයක් බවට පත්වීමේ දී නුගේගොඩ කෝට්ටේ එකතුකර තිබෙන මහනගර සැලසුම් හෝමාගම දක්වා පළවන අදියරේදීත්, දෙවන අදියරේ දී අවිස්සාවේල්ල, ගම්පහ සහ කළුතර ප්‍රදේශයේ කොටසකුත් සම්බන්ධ නාගරික වාණිජ මහනගරයක් ලෙස පත්වන බවත්ය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ අදහස් දැක්වූයේ ඊයේ (25) කොළඹ නාරාහේන්පිට දී “නිල මැදුර’ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ය. දශක අටක් වූ ස්වදේශ අමාත්‍යාංශ ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාව ලෙස ‘නිල මැදුර’ විවෘත කිරීම හුවාදැක්විය හැකි ය. කොළඹ දිස්ත්‍රික්කය සවිමත් කිරීමේ අරමුණින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය හා මඟපෙන්වීම යටතේ නිල මැදුර ජනගතවීම ඓතිහාසික අවස්ථාවකි. මෙහි කාර්යභාර නියමුවන් වූ අභ්‍යන්තර හා ස්වදේශ කටයුත හා පළාත් සභා පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන සහ එම රාජ්‍ය ඇමැති ජේ.සී. අලවතුවල මහත්වරු මෙම අවස්ථාවට එක්වූහ.

කමනි අල්විස්

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *