පාස්කු 21 ප්‍රහාරය ගැන බුද්ධි අංශ තොරතුරු අනුව ක්‍රියා නොකළේ ඇයි දැයි පරීක්ෂණයක් කරනවා – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති

පාස්කු ඉරිදා තවුහිද් ජමාත් සංවිධානය විසින් එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරය අයි.එස්. අයි.එස්. සංවිධානය විසින් කළ කටයුත්තක් බවට තවම තොරතුරු තහවුරු වී නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පවසයි. ඒ මහතා එසේ ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින්ය.

පාස්කු ප්‍රහාර සැලසුම් කළ බව කියන මොහොමඩ් සහරාන් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවට පළමුව තොරතුරු වාර්තා වූයේ 2019 ජනවාරි 26 වනදා බවත්, එදිනම ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන් බවත්, මාවනැල්ලේ බුදු පිළිම කඩා දැමීම සම්බන්ධයෙන් 2018 දෙසැම්බර් මාසයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ෂණ භාරගත් බවත් එහි ප්‍රතිඵලයක් ලෙස වනාතවිල්ලුවේ පොල්වත්තක තිබී පුපුරන දුව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගත් බවත්, වැඩිදුර විමර්ශන වල දී ජනවාරි 26 වනදා සහරාන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බවත් නියෝජ්‍ය පොලිස්පත්වරයා පැවසීය.

සහරාන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලංකාවේ විවිධ ප්‍රදේශවලට ගිය බව ද සඳහන් කළේය.

අප්‍රේල් 21 වැනි දා ප්‍රහාරයක් සිදුවිය හැකි බවට සහරාන්ගේ නම ද ඇතුළත්ව ඉන්දියාවෙන් සහ මෙරට බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් අවධානය යොමුකර ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් සිදුකරනවා. එම පරීක්ෂණයට අදාළ තොරතුරු ජනමාධ්‍ය ඉදිරියේ පැවසිය නොහැකි බව සාක්ෂිකරු ප්‍රකාශ කිරීම නිසා කමිටු ශාලාවේ සිටි මාධ්‍යෙව්දීන් ඉවත් කරන ලදී.

21 ප්‍රහාරයට අයි.එස්.අයි.එස්. සංවිධානයේ ඍජු සම්බන්ධතාවක් ඇති බවට මෙතෙක් තොරතුරු ලැබී නැතැයි ද ඔහු ප්‍රකාශ කළේය.

අයි.එස්.අයි.එස්. සංවිධානය හෝ වෙනයම් විදෙස් සංවිධානයක සහාය මෙම ප්‍රහාරය සඳහා ලැබී තිබෙනවා ද යන්න ගැන ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා බලමින් සිටින බව ද ඒ මහතා පැවසීය. මෙම ප්‍රහාරය ගැන විදෙස් රටකින් ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් අදාළ අංශ ගත් ක්‍රියාමාර්ග පිළිබඳව තමන්ට සෑහීමකට පත්විය නොහැකි බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *