කාදිනල් තුමාගේ හඬ කාගේද? – සිරිසේන රාජපක්ෂ

පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වූ කටුවපිටිය සහ කොච්චිකඩේ දේවස්ථාන පිළිසකර කිරීමෙන් පසුව සත් ප්‍රසාද ගන්වමින් මැල්කම් රන්ජිත් හිමියන් කල කතාවේ ඇතැම් කරුණු ආන්දෝලනයකට ලක්ව තිබේ. එහිදී උන් වහන්සේ කල ඇතැම් ප්‍රකාශ බුද්ධියට වඩා ආවේගයට මුල්තැන දී කල බව පෙනේ.

 එහිදී උන්වහන්සේ කල එක ප්‍රකාශයක් වන්නේ ශක්තිමත්ව තිබු බුද්ධි අංශ විනාශ කල බවයි. බුද්ධි අංශ දුර්වල කළේය වනාහි මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ ජාතිවාදී පිරිස විසින් රටේ ජනතාව නොමග යැවීම සදහා නිතර දෙවේලේ මතුරන මන්තරයකි. කාදිනල් හිමියන් ඒකාබද්ධ විපක්ෂයටත් වඩා පියවරක් ඉදිරියට තබමින් කියන්නේ බුද්ධි අංශ විනාශ කල  බවයි.

වත්මන් ආණ්ඩුව බුද්ධි අංශ දුර්වල කල බව ඒකාබද්ධය කියන්නේ එක්නැලිගොඩ අතුරුදහන් කිරීම තජුදින් ඝාතනය තරුණයන් පස්දෙනෙකු ඇතුළුව 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම ලසන්ත වික්‍රමතුංග ඝාතනය ආදී අපරාධ වලට සම්බන්ධ බවට හෙළිදරව් වූ බුද්ධි අංශයේ සාමාජිකයන් කිහිපදෙනෙකු වර්තමාන ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගැනීම පාදක කර ගෙනය ඒ අනුව ගත කල මැල්කම් රන්ජිත් කාදිනල් හිමියන් ද එවැනි ආපරධ වලට සම්බන්ධ තැනැත්තන් බුද්ධි අංශ සාමාජිකයන් වීම හේතුවෙන් ඔවුනට විරුද්ධව නිතිය ක්‍රියාත්මක නොවිය යුතුය යන මතයේ පසුවන්නේද යන සැකය මතුවේ .

පාස්කු ප්‍රහාරය සම්බන්ධ කරුණු සොයා බලන පාර්ලිමේන්තු කමිටුව හමුවේ සාක්ෂි දෙමින් යුධ හමුදාපති වරයා ප්‍රකාශ කලේ නිලධාරීන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගත් පමණින් බුද්ධි අංශ දුර්වල වූ බව කිය නොහැකි බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ කල්තියා වාර්තා කර තිබු බව මේවනවිට රටම දන්නා කරුණකි. ප්‍රහාරය කල් ඇතිව වාර්තා කර තිබුණේ බුද්ධි අංශ ශක්තිමත්ව පවතින නිසාය . වරද ඇත්තේ බුද්ධි අංශ ලබාදුන් තොරතුරු අනුව ආරක්ෂක ඇමතිවරයා ක්‍රියාත්මක නොවීමය. හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයාට  ඇප නියම කරමින් විනිසුරු වරිය ප්‍රකාශ කලේද එයයි. ඒ අනුව ගත්කල ‘’ විනාශය සිදුකල (ප්‍රතිපත්තියක් නැති ) නායකයන් ගෙදර යා යුතුයි ‘’ යනුවෙන් කාදිනල් තුමා කල ප්‍රකාශයට යම් වලංගුතාවක් තිබුනා වුවද බුද්ධි අංශ විනාශ කිරීම සම්බන්ධව කරන ප්‍රකාශය සැලකිය හැක්කේ එකාබද්ධයේ ප්‍රකාශ   පුනරුච්චාරණය කිරීමක් වශයෙන් මිස බුද්ධියෙන් කිරා මැන කල ප්‍රකාශයක් වශයෙන් නොවේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයටද කාදිනල් හිමියන්ගේ කතාවේදී විවේචන එල්ලවිය. කාදිනල් හිමියන් එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානය හැදින් වුයේ බලවත් රටවල ඕනෑ එපාකම් ඉටුකරන ආයතනයක් ලෙසිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇතැම් ක්‍රියාකාරකම් සම්බන්ධව විවේචන තිබුනා වුවද එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු මහා බලවතුන්ගේම ඕනෑ එපාකම් ඉටුකරන සන්විධානයක්ය යන්න විමල් විරවංශ, උදය ගම්මන්පිල පන්නයේ විවේචනයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවුයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව නැවත එවැනි විනාශකාරී තත්වයක් ඇතිවීමෙන් ලෝකය වලක්වා ගන්නට බව සාමාන්‍ය පෙළ හදාරන සිසුවෙකු පවා දන්නා කාරණයකි.

එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙකු මෙරටට පැමිණීම සම්බන්ධවද කාදිනල්තුමාගේ විවේචනය එල්ල විය. පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙරට සිදු වූ සමහර අත්තඩංගුවට ගැනීම් රටේ නීතියටත් ජාත්‍යන්තර මානව හිමිකම් කොන්දේසි වලටත් පටහැනි බව අමුතුවෙන් කියයුතු නැත. කුරුණෑගල රෝහලේ ‌‌වෛද්‍යවරයාගේ සිද්ධිය එකකි. නැංගුරමක් සහිත ඇදුමක් ඇදී කතක් අත්තඩංගුවට ගැනීම තවත් එකකි. දුරකථන සිම්පත් ලගතබාගැනීම හමුදා ඇදුමට සමාන ඇදුම් තිබීම පමණක් නොව අටපිරිකර ලග තබාගත් අය අත්තඩංගුවට ගැනුණු බවට වාර්තා පලවිය. කාදිනල්තුමා කියන්නේ එවනිදේ පිළිබද සොයා බැලියයුතු නැති බවද ? කාදිනල් හිමියන් නිවැරදි නම් කළයුතුව තිබුනේ එවැනි අත්තඩංගුවට ගැනීම් සම්බන්ධව කෙරෙන සොයා බැලීම් විවේචනය කිරීම නොව එවැනි අත්තඩංගුවට ගැනීම් විවේචනය කිරීමයි .

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සියලු මුස්ලිම් වැසියන් කෙරෙහි ‌වෛරීව කටයුතු නොකළයුතු බවට කාදිනල්තුමා කිතුනු ජනතාවට දුන් පණිවිඩය අගය කලයුතු වුවත් මිනුවන්ගොඩ කුලියාපිටිය වැනි ප්‍රදේශවල අහිංසක මුස්ලිම් ජනතාවට සිදුකල හිරිහැර හෝ පාස්කු ප්‍රහාරය පදනම් කරගනිමින් මේවනවිට රටපුරා මතුවෙමින් පවතින මුස්ලිම් විරෝධය ගැන හෝ කාදිනල් තුමා කතා කරන්නේ නැත .

ප්‍රතිසංස්කරණය කරනු ලැබූ දේවස්ථාන ආශිර්වාද ගැන්වූ අවස්ථාවේ කාදිනල් හිමියන් කල කතාවේදී උන්වහන්සේ කල දරුණුතම වරද වන්නේ දිවයින පුවත්පතේ පලකල කරුණු මත පදනම්ව අදහස් දැක්වීමයි. දිවයින පුවත්පත යනු මේ මොහොතේ පදනම් විරහිත ප්‍රකාශ සම්බන්ධයෙන් නම්දරා ඇති පුවත්පතකි. නිදර්ශනයක් වශයෙන් පසුගිය 28 දා දිවයින පුවත්පත පළකර තිබු ” හොර බෙහෙත් ගැන ‌‌‌සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිළිතුරක් ” යන හිසින් යුතු පුවත සදහන් කල හැකිය . එය මෙසේය.

” සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රෝගීන්ට හොරෙන් බෙහෙත් ගෙන්වීම සහ කුඩා දරුවන්ට ලබාදෙන ඖෂධත්ඒ අතර” යන මැයෙන් ඉරිදා දිවයින පුවත්පතේ පළවූ ප්‍රධාන ප්‍රවෘත්තිය සම්බන්ධයෙනි.

” සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රෝගීන්ට හොර බෙහෙත් ” යන සිරස්තලය යටතේ පසුගිය ඉරිදා (14දා) දිවයින ඉරිදා සංග්‍රහයේ පළවූ ප්‍රධාන පුවතේ සඳහන්ව තිබූ අනුමත නොකළ ඖෂධ රැසක් ආනයනය කර එහි ලේබල් වෙනස් කර නවතම ඖෂධ ලෙස රජයේ රෝහල් වෙත නිකුත් කරන බව යන ප්‍රකාශය තම සංගමයේ සභාපතිවරයා හෝ තම සාමාජිකයන් සඳහන් නොකළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කරුණු පැහැදිලි කිරීමක් එවමින් සඳහන් කරයි.

කෙසේවෙතත් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ ආශිර්වාදය සහිතව බාල බෙහෙත් ගෙන්වා රෝගී ජනතාවගේ ජීවිත අවදානමට පත් කිරීම පිළිබඳ සංගමයේ සභාපතිවරයා සහ තම සාමාජිකයන් කරුණු ඉදිරිපත් කළ බව සඳහන් කර සිටි. ”

මෙකි පුවත අනුව පෙනී යන්නේ දිවයින පුවත්පත නොකල ප්‍රකාශ පවා කළ ඒවා ලෙස පළ කරමින් වගකීම් විරහිත මාධ්‍යකරණයක නියැලෙන බවයි. අවම වශයෙන් කුඩා දරුවන්ට ලබාදෙන බෙහෙත් සම්බන්ධ පුවතක් බැවින් හෝ ඔවුන්ට මීට වඩා වගකීම් සහගත වන්නට තිබුණි . එපමණක් නොවේ මුල් වතාවේ නොකළ ප්‍රකාශයක් කළා ය කියා ලියූ එම පුවත්පත දෙවන වතාවේ එහි නිවැරදි කිරීමක් පළ කරන්නේ ” හොර බෙහෙත් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිළිතුරක් ” යන ශීර්ෂයෙන් යුතුවය. නමුත් පිළිතුරු ඒවා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නොවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙනි. පුවතකට නිවැරදි ශීර්ෂ පාඨයක් යෙදීමට සැලකිලිමත් නොවන නොකල කතා පවා කළා ය කියා පලකරන පුවත් පතකින් තොරතුරු රැගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය විවේචනය කිරීමට යාම කාදිනල් වැනි ගෞරවනීය තනතුරකට ගැළපෙන්නේ නැත. එක්සත් ජාතීන්ගේ නියෝජිතයා පිළිබඳ විවේචනය මෙන්ම ISIS නායකයෙකු ඇමරිකානු කඳවුරක සිටින බවට විවේචනයට ද කාදිනල්තුමා යොමු වන්නේ එම පුවත්පතේම කරුණු මත පදනම් වීමෙන් වීම එතුමා විසින්ම තම බුද්ධියට නිගා කර ගැනීමකි.

ISIS නායකයෙකු ඇමරිකානු කඳවුරක සිටිනවා යනු ඉරාක මන්ත්‍රීවරයෙකුගේ ප්‍රකාශයකි. ප්‍රකාශයක් මත පදනම් වූ පුවතක් මත පිහිටා ඇමරිකා විවේචනය කිරීම පුවත්පත් කලාව නොවේ. අනෙක් අතින් ගත් කල දිවයින පුවත්පතේ ආශිර්වාදය ලබන මහින්ද රාජපක්ෂ සමග කරුණා අම්මාන්, පිල්ලෙයාන් ,කේපී වැන්නන් ද සිටියහ. එසේ සිටි නිසා මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය එල්ටීටීඊයට උපකාර කළේ නැත.

මේ වන විට බ්‍රිතාන්‍ය , ප්‍රංශය, රුසියාව, ඇමරිකාව, ජර්මනිය ආදී රටවල පවා ISIS තර්ජන එල්ලවී තිබේ. අල්කයිඩා සංවිධානය ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ප්‍රහාරය එල්ල කළ බව ISIS බෝම්බ ලන්ඩනයේ පැරීසියේ පිපුරුණු බවට දිවයින ලිපියක් දුටු පමණින් කාදිනල් තුමාට අමතකවීම පුදුමයකි. කාදිනල්තුමාගේ මුවින් පිටවන්නේ කාගේ හඬ ද යන සැකය මතු වන්නේ එහෙයිනි. දැන හෝ නොදැන එය සමාන වන්නේ ඒකාබද්ධව විපක්ෂයේ ජාතිවාදී හඬට බවද කාදිනල්තුමාගේම යහපත පිණිස සඳහන් කළ යුතුය. සිරිසේන රාජපක්ෂ  

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *