රන්ජන් ඔබ හරි – සම්පත් අමරසිංහ

මේ දවස්වල බුද්ධ ශාසනයට බෞද්ධ භික්ෂුන් වහන්සේට රටේ පාලකයන් විසින්ම පහර දෙන්න පටන් අරන් තියෙනවා. ඒක පටන්ගත්තෙ උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ඇත්පැටවෙක් අනවසරයෙන් පංසලේ තියාගෙන හිටිය කියල අත්අඩංගුවට අරන් හිරේ දාලා. ඒ තුළින් බෞද්ධයා අවමානයට ලක් කළා. ඒ නඩුවෙන් උඩුවේ ධම්මාලෝක ස්වාමින්වහන්සේ නිදොස් කොට නිදහස් කළා. තවුහිද් ජමාත් කියන පසුගිය අප්‍රේල් 21 වනදා මිනීමරපු සංවිධානයේ කොළඹ දිසත්‍රික් නායකයා ඇපපිට නිදහස් වෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව ඇප දෙනවට විරුද්ධ වෙන්නෙ නැහැ. නමුත් උඩුවේ ධම්මාලෝක හාමුදුරුවො හිරේ දාලා අන්තිමට නඩු අහල නිදොස් වුණා මිසක් උන්වහන්සේට මේ ආකාරයට විශේෂිත ඇප ලබාදීමක් සිදු වුණේ නැහැ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා එසේ ප්‍රකාශ කර තිබුණේ බදුල්ල ප්‍රදේශයේ විහරස්ථානයක බෝසත් උපත දැක්වෙන පිළිරුවක් සහ තොරණක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වෙමිනි.

විමල් වීරවංශ මහතාගේ එම ප්‍රකාශයට පාදක වන ආසන්නතම හේතුව වශයෙන් අදහස් කළ හැක්කේ රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා විසින් කරන්නට යෙදුණු ප්‍රකාශයන්ය. එම ප්‍රකාශය සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් හමුවේ ප්‍රකාශයක් කරමින් පැවසුවේ තමන්ගේ කතාවෙන් සිල්වත් භික්ෂුන් වහන්සේලාට යම් අපහාසයක් සිත් රිදීම් සිදු වූයේ නම් ඊට සමාව ඉල්ලා සිටින බවය. එහිදී රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා  “සිල්වත් භික්ෂුන් වහන්සේලා’’ යන්න අවධාරණයෙන් යුතුව දෙවතාවක්ම සඳහන් කරනු පෙනිණ.

කවර හෝ ගිහියකු හෝ සිල්වත් භික්ෂුන් වහන්සේලාට අපහාස මුඛයෙන් කතා කරනු ඇතැයි සිතන්නට හැකියාවක් නැත. මෙරට බෞද්ධයන් බොහොමයකට මේ මොහොතේ මතුව ඇති ගැටළුව වන්නේ භික්ෂුව සිල්වත් නොවීමය.

ශිල්වත් ශික්ෂාකාමි භික්ෂුන් වහන්සේලා සංඝ සමාජයේ කොතෙකුත් සිටිති. උන්වහන්සේලාට සමාජයේ අති විශාල පිළිගැනීමක් ද තිබේ. නමුත් ජනමාධ්‍ය ආදිය ඔස්සේ ප්‍රචාරය ලබන්නෝ එවන් භික්ෂුන් වහන්සේ නොවෙති. ඒ වෙනුවට රටේ කැපීපෙනෙන භික්ෂුන් බවට පත්ව ඇත්තේ පොලු අරගෙන වීදි බහින, ධර්ම දේශනා මුවාවෙන් ප්‍රචාරකවාදි දේශනා පවත්වන, බෝධි පූජා, ඥාන පූජා, මවුපිය වන්දනා ආදි ආර්ථික කටයුතු ධර්මයට මුවා වී සිදු කරන චීවරධාරි පිරිසය. මාධ්‍ය මගින් ප්‍රචාරය ලබන්නෝද ඔවුන්ය. ඒ අනුව මේ වන විට භික්ෂුත්වය පිළිබඳ වැරදි පූර්වාදර්ශයන් භික්ෂු සමාජය තුළ පවා ඇති වී තිබේ. භික්ෂුව ප්‍රචණ්ඩකාරි, ජාතිවාදි, ආගම්වාදි ආවේගශීලී පිරිසක් විය යුතුය යනුවෙන් හැඟීමක් නවක භික්ෂුන් තුළ ඇතිවන තරමටම මේ තත්ත්වය මුහුකුරා ගොස් තිබේ.

භික්ෂුන් එසේ ධාර්මික නොවන හැසිරීම මූලික වශයෙන් ගැටලුවක් බවට පත්ව ඇත්තේ බෞද්ධයාටමය. මේ වන විට භික්ෂුවට ගරු කිරීම යනු චීවරයට ගරු කිරීමය යන අදහසක් බෞද්ධ ජනතාව තුළ ඇති වී තිබේ. භික්ෂුන්ගේ ඇතැම් වැරදි බෞද්ධ ජනතාව විසින් ඉවසා සිටින්නේ එම වැරදි අනුමත කරන නිසා නොව චීවරයට ගරු කළ යුතු බව සිතාය.

ඒ බුද්ධ චීවරය යනු කුමක් ද යන්න මෙහිදී විසඳාගත යුතු ප්‍රශ්නයකි. චීවරය දැරීමෙන් භික්ෂුවක් පැහැදිලි කරනු ලබන්නේ තමන් අවශේෂ සමාජයෙන් වෙන් වූ තැනැත්තෙකු බවයි. එනම් ගිහි සමාජයේ කෙළෙසුන්ගෙන්, පස් පවු, දස අකුසල් ආදියෙන් වෙන් වූ තැනැත්තකු බවයි. එහෙත් වත්මන් සමාජයේ අතැම් භික්ෂුන් ගිහියන්ටත් වඩා පස් පවු, දස අකුසල් වල නියැලුණු තැනැත්තන්ය.

විමල් වීරවංශ සඳහන් කරන උඩුවේ ධම්මාලෝක ආශ්‍රයෙන් වුව ද ඉහත කරුණු පැහැදිලි කර ගන්නට පුළුවන. වනාන්තර වලින් අලිපැටවුන් අල්ලා විකිණීමේ ජවාරමක් මහින්ද රාජපක්ෂ පාලන සමයේ බරපතළ ආකාරයෙන් සිදු වී ඇති බව මේ වනවිට හෙළිදරව් වී තිබේ. අලි රොෂාන් නමැත්තාගේ මෙහෙයවීමෙන් සිදුව ඇති එයට දේශපාලන සම්බන්ධතා ද පැවති බව රහසක් නොවේ.

අධිකරණයේ විනිසුරන් ගේ නම් පවා ඊට ඈඳී තිබුණි. ඒ නීති විරෝධීව වනාන්තර වලින් අල්ලා ගනු ලැබූ අලි ඇතුන් නීති විරෝධිව තමන් සන්තකයේ තබා ගැනීම මගිනි. ඒ සඳහා ඔවුන් අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛන පවා නීති විරෝධීව වෙනස් කර තිබුණු බව පවා හෙළිවී තිබේ. අලි රොෂාන් සම්බන්ධ නඩුව විනිශ්චය කිරීම සඳහා නීතිපතිවරයා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ද මේ මාසයේ පත්කරන්නට යෙදුණි.

උඩුවේ ධම්මාලෝක සම්බන්ධ චෝදනාව වන්නේ තමන්ගේ පන්සලේ නීති විරෝධීව ඇත් පැටවෙකු රඳවා තබා ගැනීමයි. ඇත් පැටවා සම්බන්ධයෙන් උඩුවේ ධම්මාලෝක හිමි පිළිතුරු දුන්නේ කවුරුන් හෝ විසින් පන්සලේ ඇත් පැටවා අතහැර දමාගොස් තිබුණු බවයි. එම කතාවට සමාන තවත් කතාවක් ඇත්නම් එය මහින්ද රාජපක්ෂලාගේ ඩේසි ආච්චිගේ මැණික් මල්ල පමණි. කිසිවකු හෝ විහාරයට ඇත්පැටවකු බලු පැටව්, බළල් පැටව් මෙන් ගෙනැවිත් දැමුවාය යන කියමන කොණ්ඩය බඳින චීන්නුන්ට මිස වෙනත් අයකුට කී විට පිළිගන්නවා ඇතැයි සිතන්නට පුළුවන්කමක් නැත.

අලි ඇතුන් යනු බල්ලන් පූසන් ගවයන් කුකුළන් මෙන් සන්තකයේ තබාගත නොහැකි බව උඩුවේ ධම්මා‍ලෝක වැන්නකු නොදන්නවා යැයි පිළිගත හැක්කේ ඒ ජාතියේම තක්කඩියකු වන විමල් වීරවංශ වැන්නන්ට පමණි. එවන් අත්පැටවකු පන්සල් වත්තේ සිටිනු දුටුවේ නම් කළ යුතුව තිබුණේ වහාම නියම හිමිකරු සොයා බාරදීමයි. එසේත් නැත්නම් වනජීවි නිලධාරින්ට හෝ පොලීසියට දැනුම් දීමයි. උඩුවේ ධම්මාලෝක අලි නඩුවෙන් ගැලවුණේ වරදක් නොකළ නිසා නොව නඩුව නිවැරදි ආකාරයට ගොනුකර නොතිබුණු නිසාය. විමල් වීරවංශ ද ඒ බව නොදන්නවා නොවේ. ඔහු ඒ බව නොකියන්නේ බොරු ප්‍රචාර කරමින් ආණ්ඩුවට මඩ ගසන්නට අවශ්‍ය නිසාය. ඔවුනට මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ කවර ආකාරයෙන් හෝ ආණ්ඩුව පෙරළ දමා තමන්ගේ කල්ලියට එල්ල වී ඇති අපරාධ චෝදනාවලින් නිදහස් වන්නටය.

තවුහිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් නායකයා ඇප පිට නිදහස් කිරීම සමඟ උඩුවේ ධම්මාලෝක හිමි සම්බන්ධ කිරීම ද විමල් වීරවංශගේ තවත් දේශපාලන උප්පරවැට්ටියකි. යමෙකු ඇප පිට නිදහස් වීම යනු විශේෂ කොට සැලකීමක් නොවේ. විමල් වීරවංශගේ අනාගත ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ද එවැනි තැනැත්තෙකි, බැසිල් රාජපක්ෂ ද, පී.බී. ජයසුන්දර ද විමල් වීරවංශ ද එසේය. ඒ අනුව තවුහිද් ජමාත් කොළඹ දිස්ත්‍රික් නායකයාට පමණක් නොව බැසිල් ගොඨා විමල් අලුත්ගමගේ පී.බී. ආදින්ට ද නීතිපති වරයාගේ විශේෂ අනුග්‍රහයක් ලැබී තිබේයැයි විමල් වීරවංශ කියන්නේ ද?

ඇප දිය හැකි අයට ඇප නොදීම, සරත් ෆොන්සේකා මහතා වැනි අයට අසාධාරණ අනීතික ආකාරයට නඩු පැවරීම සිරකරුවන් ඝාතනය කිරීම ආදියේ දී නිහඬව සිටි විමල් වීරවංශ අගවිනිසුරුවරිය කැලෑ නීතිය යටතේ ගෙදර යැවු විමල් වීරවංශ දැන් නීතිපති ගැන කතා කිරීම විහිළුවක් නොව දරුණු ඛේදවාචකයකි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා 2019 ජුනි 3 දා ප්‍රකාශ කර තිබුණේ 2,289ක් අත්අඩංගුවට ගෙන ඉන් 1,665ක් ඇපපිට නිදහස් කර ඇති බවයි. ඊට අමතරව 423 දෙනෙකු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි බවත් 211 දෙනකු රැඳවුම් නියෝග යටතේ පසුවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා එදින ප්‍රකාශ කර තිබුණි.

ඇපපිට නිදහස් කළ යුතු අයකු නිදහස් නොකිරීම මානව හිමිකම් උල්ලංඝනයකි. විමල් වීරවංශලාගේ ආණ්ඩුව ලෝකය හමුවේ කුජීත වී සිටියේ ද මානව හිමිකම් පිළිබඳ කැරැට්ටුව නරක් වු නිසාය. මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ විමල් වීරවංශ වැන්නන් රට පාලනය කළ සමයේ අධිකරණයට නොතිබුණු නිදහසක් අද ලැබී තිබේ. රටේ නීතිය නීතිය වශයෙන් ක්‍රියාත්මක වේ. ඇප ලැබිය යුතු අයට ඇප ලැබෙන්නේ එහෙයිනි.  

විමල් වීරවංශ මහතාගේ අප මුලින් උපුටා දැක් වු ප්‍රකාශය පළ වු දිනයේ පුවත් පතක පළව තිබුණු ප්‍රවෘත්තියක සඳහන් වූයේ බාලවයස්කාර දැරියක අපයෝජනය කළ චීවරධාරියකුට සබරගමුව පළාත්බද කෑගල්ල මහඅධිකරණයෙන් වසර 11ක ලිහිල් සිර දඬවම් නියම වී ඇති බවයි. එම චීවරධාරියා විමල් වීරවංශ කණ්ඩායමේ සාමාජිකයකු වූයේ නම් ඒ ගැන ද විමල් යමක් කියන්නට තිබුණි. කෙසේ වෙතත් එම ප්‍රවෘත්තියෙන් කියැ‍වෙන්නේ ද රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා කියන ආකාරයේ භික්ෂුන් මෙරට සිටින බවය. ඒ නිසා කවුරුත් වැඩ කළ යුත්තේ එවැනි අශ්ලීල භික්ෂුන්ගෙන් ශාසනය බේරාගැනීමටය. තමන්ගේ ප්‍රකාශයෙන් සිල්වත් භික්ෂුන්ට අපහාසයක් වුයේ නම් සමාව ගන්නා බව රන්ජන් රාමනායක අවධාරණයෙන් කියන්නේ එහෙයිනි. සිල්වත් නොවන භික්ෂුන්ට එය අදාළ වුවාට කළ හැකි දෙයක් නැත.

සම්පත් අමරසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *