වෙන්ඩ ශ්‍රීමත් වෙන්ඩ ආර්යා – අනුර සුරියබණ්ඩාර

2020 ජනාධිපතිවරයා රේස් තරඟයේ ඉදිරියෙන්ම දුවනන්නන් දෙදෙනා වශයෙන් සජිත්  ප්‍රේමදාස යන දෙදෙනා මේ වනවිට කැපී පෙනේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකත්වයට සුදානම් වන්නේ දැනට වසර ගණනාවකට පෙර සිටය. සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපති අපේක්ෂාව දිය යට එබූ බැලුම් බෝලයක් මෙන් පැවතියද මංගල සමරවීර මහතාගේ ප්‍රකාශයත් සමග එම බලාපොරොත්තුව කරලියට පැමිණි බව විශ්වාස කරන්නට පුළුවන.එම රංගනයේ අලුත්ම ප්‍රවේශය ඇරඹි ඇත්තේ තමන් අනාගත ශ්‍රීලංකාවේ නායකයාගේ ආර්යාව යයි සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිය වන ජලනි ප්‍රේමදාස කිවා යයි කියවෙන ප්‍රකාශයක් සමගය.

සජිත් ප්‍රේමදාස මහතාගේ පියා ආර් ප්‍රේමදාස මහතා ජනපති අපේක්ෂකයා වශයෙන් තරඟ කරන කාලයේ කි කතාවක් වන්නේ තමන් ජනතාවගේ නායකයා නොව සේවකයා දාසයා වශයෙන් කටයුතු කරන බවය.එතෙක් ශ්‍රීලංකාවේ පැවතියේ නායකයන්ගේ දේශපාලනය හෙවත් ප්‍රභූ පැලැන්තියේ දේශපාලනයකි. ආර්. ප්‍රේමදාස මහතා යනු මෙරට ප්‍රභූ වරුන්ගේ දේශපාලනය අභියෝගයට ලක් කල පළමු තැනැත්තා වශයෙන් හදුනාගත හැකිය. ජනතාව එකල විශවාස කරන ලද්දේ ආර්.ප්‍රේමදාස මහතා මෙරට දේශපාලන ආර්ථික සංස්කෘතික පුර්ණ වෙනසකට ලක් කරනු ඇති බවයි.

එහෙත් බලයට පත් වීමෙන් අනතුරුව ආර් ප්‍රේමදාස මහතා උත්සහ ගනු ලැබුවේ උපතින්ම තමන්ට නොලැබුණු ප්‍රභුත්වයක් බලහත්කාරයෙන් ආරෝපණය කර ගන්නටය. නමගිය පාසල්වල ආදී ශිෂ්‍යයෙකු ලෙස පෙන්වීමට උත්සහ කිරීම ඉන් එක කාරණයකි.එකල පැතිරුණු නාටක වලට අනුව ආර්.ප්‍රේමදාස මහතා තම පියාගේ ඡායා රුපයට නැමී පනාවක් ඇන්දවූ බවද කියවිණ.

ජනතා විමුක්ති පෙරමුණ දෙවැනි කැරැල්ල ඔස්සේ බලය ලබාගැනීමට උත්සහ කරමින් සිටි කාල වකවානුවක, ජනාධිපතිධුරයට පත්වූ ආර්.ප්‍රේමදාස මහතාට සිය නිර්ප්‍රභූ පදනම මහත් බලයක් වශයෙන් ආයෝජනය කිරීමට තිබුණු ඉඩකඩ ඔහුගේම ඇතැම් ක්‍රියාකාරකම් නිසා ඇහිරී ගියේය. එහිදී ප්‍රධාන භූමිකාවක් ඉටු කලේ හේමා ප්‍රේමදාස මහත්මිය හෙවත් ප්‍රේමදාස ආර්යාව බවද මතක් කල යුතුය.

සිරිමා බණ්ඩාරනායක මහත්මිය දේශපාලනයට පිවිසියේ බණ්ඩාරනායක මහතාගේ අභාවයෙන් පසුව පක්ෂයේ මහත් බලකිරීම අනුවය.බණ්ඩාරනායක මහතා අග්‍රාමාත්‍ය ධුරයේ සිටි කාලයේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය දේශපාලන වේදිකා වල කැපී පෙනෙන්නට උත්සහ කල චරිතයක් වුයේ නැත.

ශ්‍රීලංකාවේ ප්‍රථම වරට ආර්යාව යන නමින් හැදින්වුණු කාන්තාව ජේ.ආර්.ජයවර්ධන මහතාගේ බිරිඳ එලිනා ජයවර්ධන මහත්මියයි.ඇයට එම ආර්යා නාමය ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් හෝ ඇය විසින් බලහත්කාරයෙන් ලබා ගත්තක් නොව ජනමාධ්‍ය ආදිය විසින් ඇය හදුන්වන්නට යොදා ගනු ලැබුවකි. ඇත්ත වශයෙන්ම ජේ.ආර් ජයවර්ධන මහත්මිය තම සැමියාගේ ආලෝකයෙන් අනවශ්‍ය ලෙස එලිය බැලීමට උත්සහ නොකළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැදගත් ප්‍රභූ කනතාවකි.

ආර්.ප්‍රේමදාස මහත්මිය යනු එලිනා ජයවර්ධන මහත්මියගේ පැහැදිලි පරස්පරය විය.අනවශ්‍ය මහන්තත්වයකින් කටයුතු කරන්නට උත්සහ කල ඇය සම්බන්ධයෙන් එකල රටේ පැවති ආකල්පය වුයේ ඇය ඉමෙල්ඩා මාකෝස් වැනි තැනැත්තියක බවයි. ඉමෙල්ඩා මාකෝස් යනු තම ජනාධිපති සැමියාගේ බලයෙන් උමතු වී අති සුඛෝපභෝගී සහ නාස්තිකාර ජිවිතයක් ගත කල බවට ප්‍රකටව සිටි කාන්තාවකි. සැමියා බලයෙන් පහකරනු ලබන විට ඉමෙල්ඩාගේ අල්මාරිවල සපත්තු කුට්ටම් පමණක් දහස් ගණනක් තිබුණු බව එකල කියවිණ.

රෝසිට පැනඩෝල හේමට නෙට්බෝල් ආදී වශයෙන් ප්‍රවාද එකල සමාජයේ පැතිරුනේ හේමා ප්‍රේමදාස මහත්මියගේ ඇතැම් හැසිරීම් හේතුවෙනි. ඡායාරුප ශිල්පියෙකු ඝාතනය සම්බන්ධව ආදී වශයෙන් ප්‍රේමදාස මහත්මියගේ හැසිරීම සම්බන්ධව එකල විවිධ ආන්දෝලන පැවතින. සියල්ලට හේතුව ප්‍රේමදාස පවුල බලයට පත්වීමෙන් පසුව නැති ප්‍රභුත්වයක් නැති පන්ති පදනමක් උත්සහ කිරීමය.

රාජ්‍ය නායකයෙකුගේ භූමිකාව විය යුත්තේ රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීම මිස තමන්ගේ ප්‍රතිරුපය ගොඩනගා ගැනීමට උත්සහ කිරීම නොවේ.මහත්මා ගාන්ධි නෙල්සන් මැන්ඩෙලා වැනි නායකයන්ගේ පිලිරු ලෝකයේ ජනතාව කැමැත්තෙන් ඉදි කරද්දී මාකෝස් වැනි ඒකාධිපතියන්ට සිදු වුයේ තමන්ගේ ප්‍රතිමා තමන් විසින්ම ඉදිකර ගන්නටය.ඒ රටේ ජනතාව ලෝක ජනතාව හෝ ස්ව කැමැත්තෙන් මාකොස්ගේ ප්‍රතිමා ඉදි නොකරන බැවිනි.එබැවින් උද්ධච්ච පාලකයන්ගේ පිළිම ආණ්ඩු පෙරළියත් සමග ජනතාව විසින් පෙරලා දමන්නට යෙදුනි.

යම් ආකාරයකින් බලය හිමිවුව හොත් සජිත් ප්‍රේමදාස මහතා ගමන් කරනු ඇත්තේද ඔහුගේ පියා ආර්.ප්‍රේමදාස මහතා ගමන් කල මාර්ගයේම බව අනුමාන කල හැකිය සජිත් ප්‍රේමදාස මහතාගේ වත්මන් හැසිරීම ඊට නිදර්ශන වශයෙන් පවතී. ඊටම ගැලපෙන ආකාරයටම සජිත් මහතාගේ බිරිඳද සුදානම් වන බව පෙනෙන්නේ ජනාධිපති වීමටත් කලින් ජනාධිපති ආර්යාව වන්නට සුදානමින් සිටින බව පෙන්නුම් කිරීමෙනි.

රටේ ජනතාව විසින් 2015 ජනවාරි මාසයේ පෙරලා දමන්නට යෙදුනේ ශ්‍රිමතුන්ගේ රජවරුන්ගේ අර්යාවන්ගේ දේශපාලනයකි.පසුගිය ආර්යා දේශපාලනයෙන් රටේ ජනතාවට ලැබුනේ පාසල්වල දරුවන් ඇතුලත් කිරීමේදී කාල්ටන් ප්‍රමුඛත්වය තජුඩින් ඝාතනයට වාහන අවභාවිතය සිරිලිය සවිය ගිණුම් වැනි දේය.එසේ හෙයින් නැවතත් ශ්‍රී ලංකාවට ආර්යාවන්ගේ ශ්‍රිමතුන්ගේ රජවරුන්ගේ දේශපාලනයක අවශ්‍යතාවයක් නැත. දැන් රටට අවශ්‍යව ඇත්තේ රටේ අවශ්‍යතා හදුනාගෙන ඉදිරිගාමී දැක්මක් ඇතිව රට පාලනය කිරීමට හැකි නිහතමානි මහත්මා දේශපාලනයකි.

සජිත් ප්‍රේමදාස මහතා යනු එවැනි එවැනි සුදුසුකම් ඇති පුද්ගලයෙකු නොවන බව මේ වනවිටත් ඔහු විසින්ම ඔප්පු කරමින් සිටි. ඒ සඳහා ඇති ආසන්නම නිදර්ශනය රාජ්‍ය නායකත්වයට යන යාත්‍රාව වශයෙන් ඔහු උපයෝගී කර ගැනීමට උත්සහ දරන ගම් උදාව වැඩපිළිවෙලයි. සජිත් ප්‍රේමදාස මහතාගේ ගම් උදාව වැඩපිළිවෙල බොහෝ සෙයින් සමාන වන්නේ ඒ මහතාගේ පියාගේ ගම් උදා වැඩපිලිවෙලටයි.ගම් උදාව වැඩපිළිවෙල ද ජනතාවගේ උපයෝගිතාවයට වඩා ප්‍රචාරය පදනම් කරගත් ව්‍යාපාරයකි. ගම් උදා සැණකෙළිය සඳහා අතිවිශාල මහජන මුදලක් වෙන් කෙරුණි.එකී මුදල් වලින් ඇතැම් විට අතීත රජවරුන්ගේ පිළිම නෙලීම දැවැන්ත තෝරන් ඉදිකිරිම.වැනි කටයුතුය.බුත්තල වැනි ගම් උදා ප්‍රදර්ශන භුමි වල අද තත්වය විමසා බැලුවහොත් එම ප්‍රදර්ශන භුමි වල නැති ඉසුරක් මවා පෑමට එකල වියදම් කෙරුණු මුදල් වල නිෂ්පලතාව හොදින් වටහා ගත හැකිය.

සජිත් ප්‍රේමදාස මහතාගේ වත්මන් වැඩපිළිවෙල ද රටට සේවයකට වඩා මවාපෑමක් බව කියන්නේ අන් කිසිවක් නොව විගණන වාර්තාවයි.එම වාර්තාව අනුව 2017 වර්ෂයේ විවිධ ව්‍යාපෘති අටක් යටතේ ඇස්තමේන්තු පිරිවැය රුපියල් මිලියන 3234ක් වූ නිවාස ඒකක 15836ක් ඉදිකිරීමට සැලසුම් කර තිබුනද ඉදිකර ඇත්තේ නිවාස 8233ක් පමණක් බව කියවේ. එම ව්‍යාපෘති 8 යටතේ 2017 වසරේ උපයෝජනය කර තිබූ ප්‍රතිපාදනය රුපියල් මිලියන 2727 වන නමුත් සමහර නිවාස ව්‍යාපෘති වල නිවාස වල වැඩ අවසන කර ඇත්තේ වසරේ අපේක්ෂිත ඉලක්කයෙන් 8%පමණක් බවද කියවේ.

ජාතික ගැටලුව ජාතික සංහිදියාව මානව හිමිකම් ආදිය සම්බන්ධයෙන් වුවද සජිත් ප්‍රේමදාස මහතා අතිශය පසුගාමී අදහස් දරන්නෙකු බව මේ වන විටත් ප්‍රකාශ කර තිබේ. රටේ අධ්‍යාපනය සෞඛ්‍ය ආදී විවිධ ක්ෂේත්‍රවල අපමණ ගැටළු පවතින නමුත් සජිත් මහතාගේ උත්සාහය චෛත්‍ය පන්සල් දහම්පාසල් ඉදි කිරීමෙන් රට ගොඩනැගීමට බව පෙනේ. ඇත්ත වශයෙන්ම දේශපාලකයන් ආගමට මුවා වීම යනු ජනතාව රවටා යාමට කෙටි මාර්ග සෙවීමයි. අද රටට අවශ්‍යව ඇත්තේ පන්සල් පල්ලි කෝවිල් නොවේ. ඒවා ඇති තරමටත් වඩා රටේ පවතින බැවිනි.දැන් රටට අවශ්‍යව ඇත්තේ අභ්‍යවකාශ යුගයට රට ගෙනයා හැකි රාජ්‍ය නායකයෙකි.රජවරුන් ආර්යාවන් වන්නට තතනන හීනමාන කාරයන්ට ඊට අවශ්‍ය විද්‍යාත්මක චින්තනය ඇතැයි සිතිය නොහැකිය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *