|

විද්වතුන්ට මග හැරෙන ඡන්දයේ භූමිකාව – නිශාන්ත කමලදාස

ක්‍රිකට් ලෝක කුසලානය උදෙසා අපේ සටන අවසන් වූයේ පූර්ව අවසන් වටයට හෝ තරග කරනු ඇතැයි තිබූ අපේ බලාපොරොත්තු සුන් කරමිනි.

සාෆි වෛද්‍යවරයාට එරෙහි සටනට ද පිට පොට ගසාගෙන පැමිණි අපේ කණ්ඩායම ඒ වේගයෙන් ම පල්ලම් බැස ගියේ අවසානයේ අවසන් පරීක්ෂණයට කිසිවකු ඉදිරිපත් නොවෙමිනි.

හැම සටනකින්ම පරදින්නට අපට බැරි ය. අප ඇඟිලි ගැන ගැන ඉන්නේ ඊළග සටන එනතුරු ය. ඒ ජනාධිපති කුසලානය සම්බන්ධයෙන් වන සටන ය. එහි දී වත් අප අපේ කණ්ඩායම දිනාගත යුතු ය. ඒ නිසා ම මේ සටනේ ගතිකයන් අප පළමුව තේරුම් ගත යුතු ය. එහි ස්වභාවය අප තේරුම් ගත යුතු ය.

සමහරු සිතාගෙන ඉන්නේ මේ තුළ ප්‍රකාශමාන වනු ඇත්තේ ප්‍රතිපත්ති අතර ගැටුමක් බව ය. එහෙම හිතන අය බොහෝ මහන්සියෙන් ප්‍රතිපත්ති හදාගෙන ඒවා ඉදිරිපත් කිරීමට සූදානම් වෙති. ඒ අය අතර ඉදිරියෙන් ඉන්නේ මැතිවරණ ගැන මොන බෝලයක්වත් නොදන්නා විද්වතුන් ය. ඔවුන් ෙනාදන්නවාට ඡන්දය අද පමණක් නොව ඉතිහාසයේ කවර දිනකවත් ප්‍රතිපත්ති මත පදනම් වූයේ නැත. ඒ මත කෙරුණු ගැටුමක් වූයේ නැත.

දිනුම සහ ප්‍රතිපත්ති

සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතා සැලකෙන්නේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස ය. නිදහස් අධ්‍යාපන පනත, සිය සගයින්ගේ ද නොමද විරුද්ධත්වය මැද්දේ, රාජ්‍ය සභාවට ගෙනාවේ ඔහු ය. ඒ වෙනුවෙන් පැය 6 ක දීර්ඝ කතාවක් කළේ ඔහු ය. පාර්ලිමේන්තුව තුළ පමණක් නොව ඉන් පිටත දීත් විරුද්ධවාදීන් සමග වාද කරමින් නිදහස් අධ්‍යාපන පනත සම්මත කර ගැනීමට අතිශය දුක් කන්දරාවක් වින්දේ ඔහු ය. ඒ පනත ඉදිරිපත් කර වසර දෙකකින් පැවති මැතිවරණයෙන් ඔහු පැරදුෙණ් ය. ඒ අගලවත්ත ආසනයට තරග වදිමිනි. පැරදුෙණ් විල්මට් පෙරේරාට ය. වැඩි ඡන්ද දෙදහස් ගණනකිනි. කන්නන්ගර නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති හදමින් කාලය ගත කරද්දී විල්මට් ඒ. පෙරේරා ගමේ ළමයිනට යෑමට පාසලක් හැදුවේ ය. ජයගත්තේ ප්‍රතිපත්ති නොව ගමට කළ වැඩ ය.

ගමට වැඩ කළ පමණින් ද දිනන්නට දැන් බැරි ය. පසු ගිය ප්‍රාදේශීය සභා ඡන්දයේ දී මහරගම ආසනය ජයගත්තේ මහරගමට හදිසියේ ගොඩ වැදුණු පිටගම්කාරයින් ටික දෙනකු ය. උන් ගමට නොව, කිසිම කෙනකුට කළ කිසි දෙයක් නැත. උන් දින්නේ පොහොට්ටුවේ නාම ලේඛනය ප්‍රතික්ෂේප කිරීමෙන් මතු වූ හිඩැස හරහා ය. ඒ වෙනුවට පොල්පිත්තක් තිබුණත් දිනන්නට ඉඩ තිබුණේ ය.

ජනාධිපතිවරණය පමණක් නොව ඕනෑම මැතිවරණයක් යනු මේ වනවිට මාධ්‍ය කැම්පේන් දෙකක් අතර සටනක් බවට පත් ව ඇත්තේ ය. මිනිසුන්ට හොරා ඔවුන්ගේ යටි හිතට රිංගන්නට සමත් වන්නේ කවුද ඔහු , ඇය දිනන්නේ ය.

අපේ මිනිසුන් බොහෝ දෙනකු බය ය. තව කවුරුන් හෝ තමන් ව, තමන්ගේ ජාතිය, ආගම, භාෂාව, ගිලගනු ඇතැයි ඔවුන් බය ය. ඒ ගිනි පෙළෙල්ලකින් බැට කා ඇති නිසා ය. ඒ නිසා ම කණාමැදිරි එලියක් වුව බිය ගෙන දෙන්නේ ය. පළමුව කළ යුත්තේ ඒ බය, සුළු පහේ බයක්, නොව මාර බයක් කිරීම ය. ඉන්පසු ඒ බයෙන් උන් ගලවා ගැනීමට ඉදිරිපත් වීම ය. උන්ගේ එක ම ආරක්ෂකයා වීම ය. ගැලවුම්කරුවා වීම ය.

දෙදහස් දහය වසරේ ජනපතිවරණයට මහින්ද රාජපක්ෂ ඉදිරිපත් වන්නේ කොටින්ගෙන් රට ගලවා ගත් ගැලවුම්කරු හැටියට ය. ඔහුට අලගු තියන්නටවත් කෙනකු එජාපයට එදා සිටියේ නැත. කලබලයෙන් රට ගලවා ගත් හමුදාපති සූදානම් කර ගත්තේ ඒ නිසා ය. දෙදහස් පහලොව වන විට අපට සතුරකු සිටියේ නැත. රට ගලවාගත යුතුව තිබුණේ හොරුන්ගෙන් යැයි මතයක් ඒ වනවිට සමාජය තුළ මුල් බැස තිබුණි. යහපාලනය ආවේ ද ඒ අනුව ගැලවුම්කරුවකු ලෙස ය.

මිනිසුන් බය විය යුතු දේ ද තිබේ. එහෙත් ඒ දේ පහසුවෙන් යටපත් කරගත හැකි නම්, මෙල්ල කරගත හැකි නම්, නිරාවරණය කරගත හැකි නම්, මිනිසුන් තවදුරටත් බය වන්නේ නැත (හොල්මන්වලට, කළුවර සමග ජීවත්වන ගමේ මිනිසුන් මිසක, ආලෝකය මැද ජීවත්වන නගරයේ මිනිසුන් බය නැත). ඒ නිසා බය මතුකරගත හැකි එවැනි ගිනි පුළිඟුවක් ලැබුණු විට එය මොනයම් ක්‍රමයකින් හෝ රැකගෙන අවුළුවාගත යුතු ය.

බැරිවෙලාවත් පුළිඟුව නිවී ගියොත් අප්සෙට් ය. එහෙම වූ විටක බිය ඇති කිරීම සඳහා නැති බිල්ලන් මැවිය යුතු ය. එකෙක් නොව බිල්ලන් සීරිස් එකක් ම මැවිය හැකි නම් වඩාත් හොඳ ය.

පාස්කු ඉරිදා අමන මිනිසුන් කීප දෙනකු විසින් අවුළුවන ලද්දේ ඒ ගිනි පුළිඟුව ය. එය විශාල ගින්නක් ඇති කළ ද ඉක්මණින් නිවී ගියේ ය. තව කලකට අල්ලා සිටියේ විසිරුණු අළු ය.

ඒ නිසා ඇතැම් අය දුකට පත් වූහ. ඔවුහු ගිනි අවුළුවන්නට, කළ හැකි, බොහෝ දේ කළෝ ය. එහෙත් අපේක්ෂිත ප්‍රතිඵල ඒ පමණට ම ලැබුණේ නැත. එසේ වුව ද මාධ්‍ය කැම්පේන් හරහා එය දිගින් දිගට පවත්වාගෙන යෑමේ උත්සහය තවම අත් හැර නැත.

මිනිසුන් භීතියට පත් කළ විට ඔවුන් ගැලවුම්කරුවාගේ කැරැට්ටුව විමසන්නේ නැත. ඔහුගේ පෙර වැරදවලට සමාව ඒ නිසා ම ලැබෙන්ණේ ය. පෙර වැරදි සම්බන්ධයෙන් මාධ්‍ය කැම්පේන් මෙහෙයවන අය උත්තර බඳින්නට යන්නේ නැත්තේ ඒ නිසා ය. හොරකම් කරාට මොකද රට බේර ගත්තානෙ යැයි ප්‍රසිද්ධියේ කියවෙන්නේ ද මේ නිසා ය.

මේ ලංකාවට සුවිශේෂී තත්වයක් නොවේ. අතිශය ශක්තිමත් යැයි කියන ඇමරිකාව ද අත් දුටු සත්‍යයකි. වියපත් වැඩිහිටියකුගේ සිරුරක් තුළ ජීවත්වන, වසර දොළහක ළදරුවකු, වැනි යැයි අමරිකාවේ ම බොහෝ මිනිසුන් කියන ට්‍රම්ප් ජනාධිපති වන්නේ ද සංක්‍රමණිකයන් විසින් ඇමරිකාව ගිල ගනු ඇතැයි යන භීතිකාව උපයෝගී කරගෙන ය. ඔහු දුන් පොරොන්දු අතර ලොකුම පොරොන්දුව වූයේ, ඇමරිකාවත් මැක්සිකෝවත් අතර දේශ සීමාව ආරක්ෂා කරනු වස් ලොකු තාප්පයක් සිමෙන්තියෙන් ඉදිකරන බව ය.

අපේකම

මිනිසුන්ගේ බය පහ වන විට මිනිසුන් ඇමතිය හැක්කේ අපේකමට ය. ගමේකමට ය. එවන් වකවානුවල මාධ්‍ය කැම්පේන්කාරයන් ඉලක්ක කර ගන්නේ මේ අපේකම ය. එවිට හැදෙන්නේ ගමට හිතැති, අපට හිතැති, අපේ මිනිහෙකි. ගමට අපේ මිනිහා වන්නේ ජාතික ඇඳුම අඳින කෙනෙකි. සිංහලෙන් “දොඩන“ කෙනෙකි. නගරයට කළු කෝට් ඇඳගෙන ඉංග්‍රිසියෙන් කතා කළාට එහෙමට ප්‍රශ්නයක් නැත. දෙදහස් පහේ ජනපතිවරණය ජාතික ඇඳුමත් කෝට් එකත් අතර අරගලයක් වූයේ ය. ජනාධිපතිවරණ ප්‍රතිඵල විමසන කෙනකුට මෙහි බලපෑම කුමක් දැයි සොයාගත හැකි ය. ගමේ ජාතික ඇඳුම ජය ගන්නා විට නගරය තුළ කෝට් බෑය ජය ගෙන තිබුණේ ය.

දෙදහස් පහළොවේ ජාතික ඇඳුම අඳින කෙනකු පිටින් ආනයනය කරන්නට එජාපයට සිදු වූයේ ඒ නිසා ය. නගරයේ රනිල් හා ගමේ මහින්ද වෙනුවට, එවර මාගම් පත්තුවේ මහින්ද සමග තරගයට ආවේ ගොවියෙකුගේ පුතකු වූ රජරට මෛත්‍රි ය. ඒ “නම්“ දෙකම, මාර ය. එකක්, මෙරටට බුදුදහම ගෙනා මහින්ද හිමියන්ගේ ය. දෙවැන්න, මෛත්‍රී බෝසතුන්ගේ ය. ඉදිරියට බුදු බව ලැබීමට ඉන්නා මෛත්‍රී බෝධිසත්ත්වයන්ගේ ය. මේ “නම්“ විසින් යටි හිත පෙරලන්නේ අප නොදැනුවත්ව ය. ඒ නිසා මෛත්‍රී, ප්‍රතිවිරුද්ධ පිලට “මෛත්‍රී“ වූයේ නැත. ඔවුන්ට ඔහු සිරිසේන විය. ඒ නිකම් ම නිකම් සිරිසේන නොවී අයියෝ සිරිසේන වූයේ තවදුරටත් දෙකේ කොළයට දෑමීම ට ය. මෛත්‍රී නමේ ආකර්ෂණය බිඳින්නට ය. ඒ වුණාට වැදගැම්මක් නැති සිරිසේනට, ප්‍රබල මෛත්‍රී පරාජය කරන්නට හැකි වුණේ නැත.

ගැලවුම්කරුවකු, අපේ මිනිහෙකු, වීමට අමතරව ඉදිරිපත් වන පුද්ගලයාගෙන් අපට වැඩක් කරගත හැකි විය යුතු ය. ඔහු හෝ ඇය, අපට ප්‍රයෝජනවත් කෙනකු විය යුතු ය. අපේ අතිමහත් සිල්ලර වැඩ කළ හැකි කෙනකු විය යුතු ය. පොඩි දරුවා ජාතික පාසලකට දා ගත හැකි, ලොකු එකාට රස්සාවක් අරන් දිය හැකි, බිරිඳට මාරුවක් හදා දිය හැකි, ගමට බෝක්කුවක් ලබා දිය හැකි, කෙනකු වන්නේ දිනන මිනිසා ය. පරදින එකාට මේ මොකවත් බැරි ය.

බලය හා ජය

ඊට අමතරව ඔහුට බලයක් තිබිය යුතු ය. දේශපාලන බලයට අමතරව බාහු බලයක් ද පිරිස් බලයක් ද තිබිය යුතු ය. වාග් ප්‍රහාර එල්ල කළ හැකි බලයක් තිබිය යුතු ය. අනෙකා බිය ගැන්විය හැකි මැර බලයක් ද තිබිය යුතු ය. ඒ අවශ්‍ය තැනක නීතිය නවන්නට ය. හොඳින් නැත්නම් නරකින් හෝ අපේ කාර්යය කර දීමට ය. ගහලා හෝ බලය ගන්නට අවසර ලැබෙන්නේ ඒ මානසිකත්වයේ ඉඳ ගෙන ය. නිකම් ජොකියකු නොව පොරක් ඕනෑ ඒකට ය. සැබෑ සිංහයෙකු අවශ්‍ය ඒකට ය. මනාප ලැයිස්තුවේ බොහෝ දිස්ත්‍රික්කවල ඉන්නේ හොඳම මැරයා වීම අහම්බයක් නොවන්නේ ඒ නිසා ය. මහසෝනාට රාවණාට ඇති ආකර්ෂණය පිටුපස ඇති රහස ද අපි යක්කු බොලව් යැයි සමහරුන් කියන්නේ ද ඒක ය.

මාකටින් කැම්පේන් එකේ ඊළඟ වැදගත් ම කාර්යය වන්නේ, තමන්ගේ ජොකියා දිනන එකාම බව, තහවුරු කර දැක්වීම ය. කෙනකු කොතරම් යහපත් වුව ද, දිනන්නට ඉඩක් ඔහුට හෝ ඇයට නැත්නම්, වැඩක් වන්නේ නැත. ලොකු කට්අවුට්, දැවැන්ත රැස්වීම්, නිරන්තර පෙනී සිටීම්, අතිවිශාල මාධ්‍ය ආවරණ මේ සඳහා අවශ්‍ය ය. විශාල මුදල් සම්භාරයක් ඒ සඳහා වියදම් කළ යුතු ය.

රැස්වීමකට නම් වේදිකා ඉදිකළ යුතු ය. වැස්සෙන් අවුවෙන් ආවරණය වන රැස්වීම් ශාලා ඉදිකළ යුතු ය. මිනිසුන්ට රැස්වීමට සහභාගි වීමට දිරි දීමනා ගෙවිය යුතු ය. බත් පැකට් එකක්, “කාලක්“, දිය යුතු ය. ගමන දුර නම් ගමන් වියදම් දිය යුතු ය. රුපියල් පන්සියයක්වත් අතට දිය යුතු ය. රැස්වීම් පවත්වන ගම් හතකටවත් එහා සිට දැන්වීම් ප්‍රදර්ශනය කළ යුතු ය. සෙනඟ ගෙන එන කොන්ත්‍රාත්කරුවන්ට ප්‍රසාද දිය යුතු ය. බලයට පත් වු පසු කොරන්නම් යන ප්‍රතිඥාව යටතේ මෙයින් සමහරක් ලබා ගත හැකි ය. එහෙත් අද, දෙන්නම් කාසිවලට වැඩ කරන්නේ එහෙමත් කෙනකු පමණ ය. ළඟම කෙනකු පමණ ය. ආණ්ඩු බලය තිබේ නම් ඉතින් තරමකට ගොඩ ය. ප්‍රතිපාදන භාවිතා කිරීමටත්, යාන වාහන ලබා ගැනීමටත්, අමතර අවස්ථාවක් ඇති නිසා ය. සිල් රෙදි, ඔරලෝසු, බයිසිකල් බෙදන්නට ඉඩ ලැබෙන නිසා ය. ආණ්ඩුවේ මාධ්‍ය ලෝස් නැතිව කඩේ ඇරිය හැකි නිසා ය. අන්තිම මොහොතේ පවා විපක්ෂය ද තමන්ගේ ආණ්ඩුවක් ලබා ගන්නට වෙර දැරුවේ, දරන්නේ, ඒ නිසා ය.

අපේ ගැලවුම්කරුවා ලෙස ද අපේ ම මිනිහා ලෙස ද වැඩක් කරගත හැකි මිනිසා ලෙස ද බලය ඇති මිනිසා ලෙස ද ඊළග වටයේ ජයග්‍රාහකයා ලෙස ද මාධ්‍ය කැම්පේන් හරහා භෞතීස්ම කරනු ලබන මිනිසා, දැන් අපේ මිනිසා වන්නේ ය. දැන් අපට හුරේ දැමීමට පැත්තක් ඇත. මේ කැම්පේන් එක තුළ “ඇත්ත“ අතුරුදහන් වී ගියත්, නැත්තටම නැති වී ගියත්, ගන්නට “පැත්තක්“ දැන් අපට ඇත.

දැන් තියෙන්නේ අපේ පැත්තට හුරේ දමන්නට ය. අනෙකාගේ වැරදි මතු කර පෙන්වන්නට ය. නැති වැරදි ඇති කරන්නට ය. බොරුව උපද්දන්නට ය. එයට තටු ලබා දෙන්නට ය. අපේ වැරදි හංගන්නට ය. ඒවා බොරු බව කියා ප්‍රතික්ෂේප කරන්නට ය. විරුද්ධවාදීන් නිහඬකරන්නට ය. උන්ට අතින් පයින් බැරිනම්, කුණුහරුපයෙන්වත් සංග්‍රහ කරන්නට ය.

ඡන්දය ආතල් ය

ක්‍රිකට් මැච් එකට වඩා මේ මැච් එක ආතල් ය. ක්‍රිකට් මැච් එකේ අපට තියෙන්නේ හුරේ දමන්නට විතර ය. වැඩ කෑල්ල තියෙන්නේ ක්‍රීඩකයන් අතේ ය. මේ මැච් එකේත් ක්‍රීඩකයන්ට යම් වැඩ කොටසක් ඇතත්, එය අර තරමට ම තීරණාත්මක නැත. අවසානයේ දී ලකුණු රැස් කර දෙන්නේ අප නිසා ය. ඒ ඡන්දය හරහා ය. හුරේ දමා පැත්තකට වී සිටින්නේ නැතිව, වැඩ පෙන්වීමට මෙහි දී අපට හැකි ය. ඇත්තට ම අප වැඩ පෙන්නුවා වගේ පෙනුණාට, වැඩ කර තිබෙන්නේ මාකටින් කැම්පේන් එක ය. ඒකට අහුවුණු අප හරහා ය. ඒ වුණාට අපට හිතෙන්නේ තීරණය අපේ වගේ කියා ය. ඒ සිතුවිල්ල ම ආතල් ගැනීමට කාරණයකි.

අහුවෙලා බව දන්නේ නැතිව අප අසුවීම තිබීම නිසා, එයින් ආතල් ගැනීමට බාධාවක් වන්නේ නැත. ඉතින් මේ දවස්වල අපට කතා කරන්නට තරම් වෙන ප්‍රශ්නයක් නැත. කතා කරන වෙනත් බොහෝ ප්‍රශ්නයක පවා අවසාන සම්බන්ධය ඇත්තේ මේ ආතල් ඡන්දයේ ය. අපේ අපේක්ෂකයා හා කණ්ඩායම දිනවීමේ මහඟු කාර්යයේ ය.

මේ රටේ විද්වතුන් කොතරම් නොමේරූ ළදරුවන් ද යත් මේ තත්වය ගැන හාංකාසියක අවබෝධයක්වත් ඔවුන්ට නැත. ඇමරිකාවේ ට්‍රම්ප් හා ඔවුන් අතර වෙනස වන්නේ, ට්‍රම්ප්ගේ ශරීරය තුළ හිතුවක්කාර ළදරුවෙකු ජීවත්වන විට, මේ අයගේ ශරීර තුළ අම්මලා තාත්තාලාගේ භූමිකා රඟ දක්වන්නට, රටේ ඇති වෙනත් භූමිකා රඟ දක්වන්නට, ආසාවෙන් ඉන්නා අහිංසක නොදරුවන් ජීවත්වීම ය. ඔවුන් කැමති සෙල්ලම් ගෙවල් හදන්නට ය. සැබෑ ගෙයක අනුරුවක් මෙන් හදන්නට උත්සහ කළ ද ඒවා ද බොළඳ සෙල්ලම් ගෙවල් පමණ ය. එය තේරුම් ගැනීම සඳහා අවශ්‍ය වන්නේ සිහිබුද්ධියෙන් යුතුව ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන කියවීම ය. ඒවා තුළ ඇත්තේ පොඩි උන් ගෙතූ සුරංගනා කතා ය. ජාතික ආර්ථිකයෙන් 4% ක් වී ඇති කෘෂිකර්මය මත පදනම් ආර්ථිකය ගොඩ නැංවීමට ඔවුන් කල්පනා කරන්නේ ඒ නිසා ය. ඔවුන්ගේ ඉදිරි වැඩ පිළිවෙළ තුළ තව සෙල්ලම් රාශියක් අපට අභිමුඛ වීමට නියමිත ය.

සැබෑ විද්වතුන් කළ යුත්තේ මේ ඡන්දය පිටුපස තිබෙන මේ ගතිකත්වය ගැන ජනතාව දැනුවත් කර වීම ය. අප මේ හසුව තිබෙන්නේ මාධ්‍ය කැම්පේන් විසින් මෙහෙයවන සෙල්ලමකට බව ඔවුන්ට කියා සිටීම ය. මාධ්‍ය කැම්පේන් විසින් කරනු ලබන්නේ අපගේ දුර්වලකම් භාවිතා කොට, ඔවුන්ගේ සේවාදායකයාගේ අභිලාශයන් ඉටු කර දීම බව ජනතාවට පෙන්වා දීම ය. ජනතාව තුළ ඇති ඒ දුර්වලකම් පෙන්වා දෙමින්, ඔවුන් මේ සෙල්ලමින් ගලවා ගැනීමේ දීර්ඝකාලීන අරගලයක නිරත වීම ය.

එසේ නොකොට ක්ෂණික විසඳුම් සොයන විද්වතුන් ඡන්දයේ දී හොස්ස බිම ඇන ගනු ඇත.

විසඳුම් ඇත්තේ ඡන්දයෙන් මෙහා නොව ඡන්දයෙන් එහා ය. ජනතාවගෙන් ඡන්දය ඉල්ලන වැඩ පිළිවෙළක නොව, ඔවුන්ගේ ද සක්‍රීය දායකත්වය ඉල්ලන, දිගු කාලීන දේශපාලන වැඩපිළිවෙළක ය.

එහි පදනම වනු ඇත්තේ එකිනෙකා අතර සැකය බිය දුරු කිරීමේ ඉලක්කය ය. බෙදී සිතන්නේ නැතිව, එක්ව රට ගොඩ නැගීමට අත්වැල් බැඳගන්නා අරමුණ ය. තම තමන්ගේ සිල්ලර වැඩ කර ගැනීමට එහා යොමුවුණු, සෙසු මිනිසුන්ට ද සංවේදී වන, ජනතාවකගෙන් යුතු ශ්‍රී ලාංකික ජාතියක් ගොඩ නැගීමේ පරමාර්ථය ය. එවැනි වැඩපිළිවෙළක් තුළ පමණක් රටට අවශ්‍ය නායකත්වය ගොඩ නැගෙනු ඇත. එතැනින් මෙහා කරන සියල්ලෙන් කළ හැක්කේ බලලෝභීන්ට කඩේ යෑම පමණ ය.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *