ප්‍රවීන ගුවන් විදුලි ශිල්පිණී කුසුම් පීරිස්ගේ අවසන් කටයුතු හෙට

දිවියෙන් සමුගත්  ගුවන් විදුලි ශිල්පිණී කුසුම් මහත්මියගේ අවසන් කටයුතු හෙට (24) දින සිදුකිරීමට නියමිතය .

ප්‍රවීන ගුවන්විදුලි ශිල්පිණී කුසුම් පීරිස් මහත්මිය ‍21 වනදා රාත්‍රියේ ජීවිතයෙන් සමුගත්තාය. මියයන විට  71 වන වියේ පසු වූ ඇය කලක් පිළිකා රෝගී තත්ත්වයෙන් පීඩා වින්ඳාය.

70 දශකයේ ශ්‍රී ලංකා ගුවන් විදුලිය සංස්ථාවට සම්බන්ධ වූ ඇය දශක හතරකට ආසන්න කාලයක් සේවය කොට විශ්‍රාම සුවයෙන් පසුවූවාය.

වැඩසටහන් නිෂ්පාදනය, ඉදිරිපත් කිරීම, හඬ කැවීම ඇතුළු අංශ කිහිපයක දස්කම් දැකුවූ කුසුම් පීරිස් තොරණ විස්තර ඉදිරිපත් කිරීමට නැතිවම බැරි ශිල්පිනියක වූවාය.

අසුරු සැණින් එක මොහොතක දී, සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ, සිතුවිලි සිරවී හදවත පතුලේ, ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ ඇතුළු ගීත රැසක් ගීත ලොවට හඳුන්වා දුන් ඇය දක්ෂ ගීත රචිකාවියාක ද වූවාය.

ඇය ආදුනික ශිල්පීන් ශිල්පිනියන් රැසකට ගුරුහරුකම් දුන් ප්‍රවීණ ශිල්පිනියක ලෙස ද කාගේත් ගෞරවයට පාත්‍ර විය.  සිරස ගුවන් විදුලියේ ආරම්භක නිවේදිකාවක වූ තමාලි පිරීස් කුසුම් පීරිස්ගේ දියණියකි.

දේහය 47/1, ස්වර්ණ පෙදෙස, ඇල්දෙණිය, කඩවත ලිපිනයේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන බදාදා (24) ඇල්දෙණිය සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

ප්‍රවීණ  කුසුම් පීරිස් ශිල්පිණියනි, ඔබට නිවන් සුව!

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *