වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය 2020 ජනවාරි 08වැනිදා අවසන් වන බව ඉතාම පැහැදිලි කරුණක් – ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්


මේ වනවිට ජනාධිපති ධුර කාලය සම්බන්ධයෙන් කතාබහක් මතුවෙලා තිබෙනවා. 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපති ධුර කාලය වන්නේ වසර 06ක්. ඒ වගේම එම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධුරයට අසීමිත බලතල ප‍්‍රමාණයක් තිබෙනවා. එම අසීමිත ඒකාධිපති බලතල සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා තමයි 19වැනි සංශෝධනය ගෙනාවේ. ඒ සඳහා ප‍්‍රගතිශීලී බලවේග විශාල පිරිසක් මැදිහත් වුණා. එම නිසා 19 සංශෝධනයේ ඉතාම පැහැදිලි කරුණක් තමයි ජනාධිපති ධුර කාලය වෙනස් කිරීම. 1978 ව්‍යවස්ථාවේ 32 වගන්තියට අනුව තේරී පත් වූ ජනාධිපතිවරයා ධුරයේ දිවුරුම් දීම සම්බන්ධයෙන් සඳහන් වෙනවා. ඒ අනුව තමයි මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා 2015 ජනවාරි 09වැනිදා අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දී ධුරයේ වැඩ බාරගත්තේ. එම නිසා ඔහුගේ ධුර කාලය 2015 ජනවාරි 09වැනිදා පටන් ගැනෙනවා. 19වැනි සංශෝධනය මගින් වසර 06ක්ව පැවති ජනාධිපති ධුර කාලය වසර 05ක් දක්වා අඩු කළා. ඒ අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 32(2* වගන්තියට අනුව ජනාධිපතිවරයා අවුරුදු 05ක කාලයක් ධුරය දරන්නේය යනුවෙන් සඳහන් වෙනවා.
ඒ අනුව ඉතාම පැහැදිලි කරුණක් වන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය 2020 ජනවාරි 08වැනිදා අවසන් වන බවයි. මීට ඉහතදී ජනාධිපතිවරයා විසින් ධුරයේ කාලය සම්බන්ධයෙන් ශ්‍රෙෂ්ඨාධිකරණ මත විමසුමක් කළා. එම අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව තීන්දුවක් දුන්නා, වත්මන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ධුර කාලය වසර 05යි කියලා. ඒ වගේම එම නඩු තීන්දුවේ පැහැදිලිව සඳහන් වෙනවා, ධුර කාලය 2015 ජනවාරි 09වැනිදා ආරම්භ වෙනවා කියලා. ඒ නිසා නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීම කිරීම අනවශ්‍ය දෙයක්. මේ කරුණු සලකා බැලීමේදී ජනාධිපතිවරණය නොවැම්බර් මසදී පැවැත්විය යුතුව තිබෙනවා. ජනාධිපතිවරණය කල් දාන්න කාටවත් පුළුවන්කමක් නැහැ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාත් කියා තිබුණා, ලෝක විනාශයක් නැත්නම් ජනාධිපතිවරණය නවත්වන්න කාටවත් බැහැ කියලා.
ඒ වගේම ජනාධිපතිවරයාගේ කටයුතු සම්බන්ධයෙන් වාද විවාද තිබෙනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුයි. විශේෂයෙන්ම රටේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගකිව යුතුයි. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ජනාධිපතිවරයා සහභාගී නොවන බව කියා තිබුණා. තේරීම් කාරක සභාව කියන්නේ පාර්ලිමේන්තුුවෙන් පත්කරන එකක්. ඒ සඳහා ජනාධිපතිවරයා අනිවාර්යයෙන් සහභාගි විය යුතුයි. රටේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයන් ගන්නා තීන්දු තීරණ තේරීම් කාරක සභාවට පැහැදිලි කළ යුතුව තිබෙනව. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 33(අ* වගන්තියේ සඳහන් වෙනවා. එම නිසා ජනාධිපතිවරයාට වංගු ගහන්න පුළුවන්කමක් නැහැ.
ඒ වගේම මේ වනවිට කුණු කන්ටේනර් තොගයක් පිළිබඳව රටේ මහත් ආන්දෝලනයක් මතුවෙලා තිබෙනවා. සායනික අපද්‍රව්‍ය ප‍්‍රමාණයක් කටුනායක අංගනයේ තිබී හසුවීමත් එම අපද්‍රව්‍ය කාලයක් තිස්සේ පරිසරයට නිරාවරණය වීම නිසාත් විශාල ගැටලූවක් මතුවෙලා තිබෙනවා. පරිසර ප‍්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා. මෙවැනි වර්ගයේ කුණු ලංකාවට ගෙන ඒමට ඉවහල් වුණු කි‍්‍රයාවලියක් තිබෙනවා. 2012 මාර්තු 30වැනිදා අපේ රටේ මුදල් පනත සංශෝධනය වුණා. ඇතැම් භාණ්ඩ ආනයනය කිරීමේදී රේගු ආඥා පනත, විනිමය පනත සහ ආනයන අපනයන පනත බල නොපැවැත්වෙන පරිදි ඒ මොහොතේදී මුදල් පනත සංශෝධනයට ලක් වුණා. මුදල් පනත සංශෝධනය වීමෙන් පසුව 2013 ජූලි මස 07වැනිදා ඒ සම්බන්ධ ගැසට් පත‍්‍රය නිකුත් වුණා. ඒ මගින් ආනයන අපනයනවලදී බලපාන විශේෂ කේන්ද්‍රස්ථාන කිහිපයක් නම් කොට තිබෙනවා. ඒ වගේම මෙම ස්ථාන දෙපාර්තමේන්තු නියෝග මගින්ද තහවුරු කරනු ලැබ තියෙනවා. ඒ අනුව කොළඹ සහ හම්බන්තොට වරාය නිදහස් වරායන් ලෙස නම්කොට තිබෙන අතර කොග්ගල, කටුනායක නිදහස් අපනයන සැකසුම් කලාප බන්ධිත කලාප ලෙස නම්කොට තිබෙනවා. ඒ වගේම මත්තල ගුවන්තොටුපොළත් මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයත් විශේෂ බන්ධිත කලාප ලෙස නම්කොට තිබෙනවා.
මෙම කලාපවලදී ආනයනය භාණ්ඩ බදුවලින් නිදහස් වෙනවා. ඒ අනුව තමයි මෙම අපද්‍රව්‍ය සහිත කන්ටේනර් ලංකාවට ගෙන එන්නේ. කන්ටේනර් 220කට අධික ප‍්‍රමාණයක් හමුවී තිබියදී ගෙන්නපු අය හොයාගන්න බැහැ කියලා මුලින් ප‍්‍රකාශ වුණා. මෙම ගනුදෙනුවට සම්බන්ධ හේලීස් ෆී‍්‍ර සෝන් පුද්ගලික සමාගම නිවේදනයක් මගින් ප‍්‍රතික්‍ෂේප කොට තිබුණත් මෙම භාණ්ඩ ගෙන්වූයේ එම ආයතනය බව පැහැදිලිව ඔප්පු වෙලා තිබෙනවා. ලන්ඩන් සිට ගෙන්වන ලද මෙම අපද්‍රව්‍ය අඩි 20ං40 බහාලූම්වල ගෙනවිත් තිබෙන බවවත් ඒ අතර භාවිත කරන ලද මෙට්ට අඩංගු බවත් රේගු විස්තරවල සඳහන් වෙනවා. ඒ වගේම ආයෝජන මණ්ඩලයේ නිවේදනය මගින්ද හේලීස් ෆී‍්‍ර සෝන් පුද්ගලික සමාගමට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා බවද සඳහන් කොට තිබෙනවා.
මෙම කුණු තොගය ගෙන්වන්නේ 2017දීයි. නමුත් රේගුවට, පරිසර අධිකාරියට මේවා අත්අඩංගුව ගන්න බැරිවෙනවා. මීට සති දෙකකට ඉහතදී තමයි මේවා සොයාගෙන තිබෙන්නේ. ඒක බරපතළ ප‍්‍රශ්නයක්. මේ ආකාරයට අපේ රටට ඕනෑම කුණු ගොඩක් ගේන්න පුළුවන්. අපේ රටේ ආණ්ඩු මගින් පනත් ගැසට් හදලා සම්මත කරලා දීලා තිබෙනවා. සිංගප්පූරු ගිවිසුම මගින් මේ නීතිමය තත්වය තවත් තහවුරු වෙනවා. එම ගිවිසුමේ පැහැදිලිව සඳහන් වෙනවා අපද්‍රව්‍ය ගේන්න පුළුවන් කියලා. අපේ රට කුණු හබ් එකක් කරන්නයි මේ හදන්නේ. රටකින් රටකට කුණු ආනයනය අපනයනය කිරීම ලේසි කරුණක් නෙවෙයි. එම රටවල් දෙක අතර සම්මුතියක් තිබිය යුතුයි. මීට අවුරුදු 27කට පෙර ශී‍්‍ර ලංකාව අත්සන් කරපු බාසල් සම්මුතිය නම් සම්මුතියක් තිබෙනවා. එයින් ලංකාවට කුණු ගේන එක තහනම් කළා. ඒ වගේම ප‍්‍රතිි අපනයනයත් තහනම්. කුණු ගේන්න නීති හදන ආණ්ඩුව බාසල් සම්මුතිය වැනි රටට හිතකර සම්මුතියක් නීතියක් කරන්න කිසිවක් කරන්නේ නැහැ. ඒ නිසා තමයි අද අපේ රටටට කුණු ගේන්න පුළුවන් වෙලා තිබෙන්නේ. ඒක ලොකු අනතුරක්. ඒනිසා අපි ආණ්ඩුවට කියනවා, ගෙනත් තිබෙන කුණු කසළ තොගය ප‍්‍රතිඅපනයනය නොකර විනාශ කර දාන්න කටයුතු කරන්න කියලා. එය ජනතාවටත් පරිසරයටත් හානි නොවන ආකාරයෙන් සිදු කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු වෙනවා. මෙම කුණු තොගයෙන් යම් ප‍්‍රමාණයක් වළ දාලා තිබෙන බවට ආරංචියක් තිබෙනවා. එයද පරිසරයට සිදුවන හානියක්. එම නිසා ආණ්ඩුව මෙම කුණු තොගය සඳහා ආරක්‍ෂාවක් ලබාදිය යුතු වෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ නීතියට අනුව ආනයනය කරන ලද භාණ්ඩ මාස දෙකක් ඇතුළත නිදහස් කර නොගන්නේ නම් රජයට පවරා ගන්නවා. නමුත් මෙම කුණු තොගය 2017 ගෙන්වපු ඒවා. මේ තරම් කාලයක් තිබුණේ කොහොමද? අපේ රටේ පරිසර අමාත්‍යාංශයත් මුදල් අමාත්‍යාංශයත් ආණ්ඩුවත් අසමත් බව කියන්න මේක හොඳම උදාහරණයක්. මේ අසමත්කම නිසා තමයි අපේ රටට මහා පරිමාණයෙන් කුඩු ගෙන්වන්නේ. ජනාධිපතිවරයා එල්ලූම් ගහ ගැන කිවුවට කුඩු ගේන එක නතර වෙලා නැහැ. මේ කුණු කන්ටේනර් අස්සෙත් කුඩු ගේන්න පුළුවන්. ඒක අහන්න දෙයක් නැහැ. එම නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා මේ සම්බන්ධයෙන් නීති වෙනස් කරන්න කියලා
මීට පෙර ලබාදුන් නඩු තීන්දුවේදී වත්මන් ජනාධිපතිවරයාට අදාලව තීන්දුව ලබාදී තිබෙනවා. එම නිසා එම තීන්දුව අනුව මෛතී‍්‍රපාල සිරිසේන මහත්මාගේ ධුර කාලය වසර 05ක් බව පැහැදිලියි. ඒ වගේම එම වසර පහේ ධුර කාලය ආරම්භ වන්නේ 2015 ජනවාරි 09වැනිදා බව නඩු තීන්දුවේ සඳහන් වෙනවා.
තරාතිරම නොබලා කුණු ගෙන්වීමේ සිදුවීමට සම්බන්ධ පුද්ගලයින්ට සහ සමාගම්වලට නීතිය කි‍්‍රයාත්මක කළ යුතුයි. දේශපාලන බලය නිසා හෝ මුදල් බලය නිසා මෙය යට ගැසීමට ඉඩ නොදිය යුතුයි. නමුත් අපේ රටේ නීතිය කි‍්‍රයාත්මක වෙන්නේ පොඩි මිනිහාට එකක් සහ ධනය බලය තිබෙන කෙනාට තවත් එකක් ලෙසයි. නිවසින් කුණු බෑග් එකක් එළියට දැම්මත් දඩ ගහන අපේ රටේ කුණු කන්ටේනර් ගණන් ගෙන්වපු අයට තවමත් කිසිදු ක‍්‍රයාමාර්ගයක් අරගෙන නැහැ. මෙයට පරිසර ඇමතිවරයා සෘජුවම වගකිව යුතුයි. ආණ්ඩුව විදිහට මේ සම්බන්ධයෙන් තවමත් කිසිදු ප‍්‍රකාශයක් සිදුකොට නැහැ. ආණ්ඩුව වහාම මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් සිදුකළ යුතුයි. එසේ නොකිරීමෙන් පැහැදිලි වෙනවා, ආණ්ඩුව චූදිතයින් ආරක්‍ෂා කරනවා කියලා. පහුගිය ආණ්ඩුවෙන් නීති හැදුවා කියලා වර්තමාන ආණ්ඩුවට ඇඟ බේරාගන්න පුළුවන්කමක් නැහැ.
මෙම අවස්ථාවට ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික ලක්‍ෂ්මන් නිපුනාරච්චි ද සහභාගි වියග
මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *