කවුරු හරි මංගලව හොඳටම නරක් කරලා ! – මහින්ද රාජපක්ෂ

අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය දිනවල සිදුකළ ප්‍රකාශ සහ ඔහුගේ ඇතැම් ක්‍රියාමාර්ග, සමරවීර මහතාගේ පැරණි දේශපාලන සගයෙකුට බරපතල ගැටලුවක් බවට පත්ව තිබේ. ඒ අන් කවරෙකුවත් නොව හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාය.

රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් ඔහුගේ සමීපතමයන් කිහිප දෙනෙකු සමගම සාකච්ඡා කර තිබේ.

පසුගියදා රාජපක්ෂ මහතා හමු වූ, පොහොට්ටුවට සහාය දෙන සුප්‍රකට ව්‍යාපාරිකයෙකු සමග මංගල සමරවීර මහතා සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. ඒ අතිශය කළකිරීමෙනි.

මහින්ද රාජපක්ෂ මහතා අදාල ව්‍යාපාරිකයා සමග පවසා ඇත්තේ මෙරට දේශපාලනයේ සිටින හොඳම ලිබරල් දේශපාලකයෙකු වන මංගල සමරවීර මහතා අද වැටී සිටින තත්වය සම්බන්ධයෙන් සිතා ගැනීමටවත් නොහැකි බවයි.

‘මට නං හිතාගන්න බෑ මංගලට වෙලා තියෙන්නෙ මොනවද කියලා. මංගල එදා ඉඳලම දේශපාලනය කරද්දි ජාතිය, ආගම දේශපාලනයට ඈඳා ගත්තෙ නෑ. ඒක අපේ දේශපාලනයට සමීප නොවුනත් මංගල ගියපු ගමන ගැන අපි හැමෝගෙම පැහැදීමක් තිබුණා. සිංහල, දෙමළ, මුස්ලිම් හැම ජාතියක කෙනෙක්ම මංගල ගැන පැහැදීමෙන් හිටියෙ.’

‘එහෙම ලිබරල් දේශපාලන ගමනක ගියපු මංගල අද කුලයක් අල්ලගෙන දඟලනවා. ජාතියක්, ආගමක් තකන්නැති මංගල අද කුලවාදයේ පැටලිලා. මට හිතාගන්න බෑ මේ මනුස්සයට මොනවා වෙලාද කියලා’

‘කුලවාදය අවුස්සලා මංගලට තමන්ගෙ මාතර දිස්ත්‍රික්කෙ ඡන්ද ටික නං ගන්න පුලුවන් වෙයි. හැබැයි රටේම ඡන්ද ගන්න මේ වැඩේ කරනව නං ඒක මහ මෝඩ වැඩක්. ඒක මංගලට කොහෙත්ම ගැලපෙන්නෙ නෑ.’

මහින්ද රාජපක්ෂ මහතා අදාල ව්‍යාපාරිකයා සමග වැඩිදුරටත් පවසා ඇත්තේ මංගල සමරවීර මහතා කාගේ හෝ ලණුවක් ගිල ඇති බවයි. 

කවුරු හරි මංගලට හොඳටම දිරච්ච ලණුවක් දීලා. වැඩේ කියන්නෙ මෙච්චර දේශපාලනේ තෙම්පරාදු වෙච්ච මිනිහත් ඒ දිරච්ච ලණුව කාපු එකයි. අන්තිමට එයා නලින් ද සිල්වා, ගුණදාස අමරසේකර වගේ මිනිස්සු වැටුණු මඩ ගොඩටම වැටුණා. ලිබරල් මනුස්සයෙක් ඒ වගේ තැනකට වැටිච්ච එක අපෙත් අවාසනාව. ඒ අතින් බලනකොට වාසුලා, ඩිව්ලා, තිස්සලා කොච්චර අපිට කඩේ ගියත් තවමත් ගුණදාස අමරසේකරලගෙ තත්වෙට වැටිලා නෑ. එහෙම බලනකොට පැරණි වමේ සෙට් එක මංගලට වඩා හොඳයි.

මංගලට මේ කුලවාදී දිරාගිය ලණුව දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් ද රාජපක්ෂ මහතා හෙලිදරව් කර තිබේ.

මට ආරංචි විදියට නං මේ දිරච්ච ලණු දීම පිටපස්සෙ ඉන්නෙ මලික් සමරවික්‍රමලා, ක්‍රිෂාන්ත කුරේලා, සජිත් ප්‍රේමදාසලා. මර්වින් සිල්වයි මහින්ද අමරවීරයි මේකට සම්බන්ධයි කියලත් ආරංචියි. මොකද ඉතිං ඔය කට්ටියම එකම කුලේ නෙ. 

LNW


Leave a Reply

Your email address will not be published. Required fields are marked *