|

රන්ජන්ට අගමැතිගෙන් අවවාද : මරණ දඩුවම දුන්නොත් රටට වන දේ ගැන අරලියගහ මැදුරේ කතාබහක්

ගෙවුණු සතියේ අගමැතිවරයා ඉතා සාර්ථකව උතුරේ සංචාරයක් නිම කළේය. රු: කෝටි ගණනක සංවර්ධනයක් ජනතා අයිතියට පැවරුවා පමණක් නොව තවත් කෝටි ගණනක සංවර්ධන ව්‍යාපෘති සඳහා ආරම්භයක්ද ලබා දුන්නේය.

“එංගලන්තෙ ලෝක ක්‍රිකට් කුසලානය දිනුවා. ඒ කණ්ඩායමේ නායකයා, අවසන් තරගයේ වීරයා හා සුපිරි ඕවරය යැවූ කෙනාත් එංගලන්තෙට සංක්‍රමණය වූ විදෙස් අයයි. ලංකාවේ එහෙම වුණා නම් කැප්ටන්කම වත්, සුපිරි ඕවරය යවන්නවත් ඒගොල්ලන්ට ඉඩදෙන්න බෑ කියල වීරවංශ, ගම්මන්පිල, රතන හිමි ඇතුළු ජාතීවාදී හිමිවරු පිට්ටනිය මැද උපවාස කරාවි. වසර දහස් ගණනක් එකට ඉන්න මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් අය අතර ප්‍රශ්න ඇති කරන අය එංගලන්ත ක්‍රිකට් පිලෙන් වත් ආදර්ශ ගන්න ඕනෑ.” අගමැතිවරයා යාපනයේදී කීවේ උණුසුම් ජනතා ප්‍රතිචාර මැදය.

බදාදා සවස රන්ජන් රාමනායක අගමැතිවරයා හමුවූයේ කැඳවීමකට අනුවය.

“ඔයා මේ මොනවද කියන කතා. මේ රටේ භික්ෂූන් වහන්සේලාට පොදුවේ ප්‍රහාර එල්ල කරන එක වැරදියි. එජාප ස්ථාවරයට පිටින් ගිහින් පොදුවේ උන්වහන්සේලාට ප්‍රහාර එල්ල කිරීම අනුමත කරන්න බෑ. ඔබ මෙ සිද්ධිය ගැන නිදහසට කරුණු කියන්න ඕනෑ” අගමැතිවරයා තදින් කීවේය.

“මම කියපු දේ විකෘති කරලා ගෝඨාභයගෙ මීඩියා ටීම් එක නැති අවුලක් ඇති කළා” යයි කී රංජන් සිය සම්පූර්ණ කතාවේ පටිගත දර්ශන මාලාව අගමැතිවරයාට පෙන්විය. එපමණක්ද නොව ඇතැම් පන්සල් වල කුඩා හිමිවරු හා ආවතේව කරුවන් ලෙස සිටින දරුවන් විසින් තමන්ට සිදුවන අතවර ගැන ලිඛිතව සිදුකල පැමිණිලි තොගයක්ද අගමැතිවරයාට පෙන්වීය.

“ඒව කොහොම වුණත් පොදුවේ මහා සංඝරත්නය අපහසුතාවයට පත් කරන්න ඔබට අයිතියක් නෑ. විවිධ සංඝයා වහන්සේලාගේ ක්‍රියාකාරකම් ගැන පෞද්ගලිකව විවේචනය කිරීමේ යම් අයිතියක් තියනවා. උන්වහන්සේලා නීති විරෝධී වැඩ කරයි නම් ඒ ගැන මහනාහිමිවරු, ලේඛකාධිකාරීවරුන්ට පමණක් නොවෙයි පොලීසියට වුණත් පැමිණිලි කරන්න පුළුවන්. ඒත් පොදුවේ භික්ෂූන්ට මෙවැනි ප්‍රහාර දියත් කිරීම අපි අනුමත කරන්නේ නෑ.” අගමැතිවරයා ප්‍රතිචාර දැක්වූයේ එසේය.

“99% ක් වූ සිල් රකින, ජනතාව නිසි මගට ගැනීමට මග පෙන්වන සැබෑ ස්වාමීන් වහන්සේලා ගැන මම කතා කළේ නෑ. ජනතාව ප්‍රතිකේෂ්ප කරපු පවුල්වාදී හොර නඩයට කඩේ යමින් වරප්‍රසාද, යාන වාහන, විදෙස් සල්ලි මළු, කෝටි ගණන් දේපළ ගත්ත අද පන්සල් වෙනුවට ආණ්ඩුවට මඩ ගහන්න CID එකේ, අල්ලස් එකේ නැත්නම් මහපාරේ හෝ TV මයික් ඉදිරියේ වැඩ ඉන්න සිවුරුධාරීන් සුළුතරය ගැනයි මම ඒ විග්‍රහය කළේ. ඔවුන්ගෙන් මට සමාව ගන්න බෑ. ඔබතුමා කියනවනම් අනිත් සියළුම ගෞරවනීය හිමිවරුන්ගෙන් මට සමාව ගන්න පුළුවන්” රන්ජන් රාමනායක කීවේය.

“සුදුසු දේ කරන්න. මින් පසුවවත් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා. එහෙම වුණොත් පක්ෂයක් ලෙස දැඩි තීන්දු වලට යන්න වේවි.” අගමැතිවරයා දැඩි අවවාදයක් කළේය.

බ්‍රහස්පතින්දා අරලියගහ මැදුරේදී සුපුරුදු මැති ඇමති හමුවක් පැවතියේ ගෙවුණු සතියේ කටයුතු සමාලෝචනය කිරීමටය.

“විශ්වාසභංගෙදී එළුවගෙ මොකක්ද වැටෙනකන් හිටිය වගේ සමහරු මේ පාරත් ආණ්ඩුව වැටෙනකන් බලන් හිටිය. ඒත් මේ පාරත් ඡන්ද 119 ඒ විදියටම ලැබුණා. විපක්ෂයේ ඡන්ද අඩුවුණා. විපක්ෂයේ 11 දෙනෙක් ඡන්දෙට ගෙන්න ගන්නත් එයාලට බැරිවුණා. ඒ බොහෝ අය සහ අපි අතර සංවාදය ඉතා හොදින් යනවා.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.

“දින 52 හොර ආණ්ඩුවට් විරුද්ධ ගේම දුන්නු විදියටම විශ්වාසභංගෙත් බැලන්ස් කරගන්න අගමැතිතුමා පාර්ලිමේන්තු කාමරෙන් පිට නොවී දීපු ගේම් එක අති විශිෂ්ඨයි” නවීන් දිසානායක කීවේ ජයග්‍රාහී මානසිකත්වයෙනි.

“මරණ දඬුවමට එජාපෙ විතරක් නෙවෙයි මහින්දලත් විරුද්ධයි. ඒත් අපේ සමහරු ඒකට පක්ෂ වීම ටිකක් අවුල්” චමින්ද විජේසිරි කීවේය.

“මරණ දඬුවම ආවොත් ජී.එස්.පී. ප්ලස් නැතිවෙලා මත්ස්‍ය තහනම ආපහු ඇවිත් සංචාරකයොත් අඩුවේවි කියන එක තානාපති අංශ වල මතයයි. මේක තේරුම් ගත්ත නිසයි මහින්ද රාජපක්ෂත් මරණ දඬුවමට විරුද්ධයි කියල කියනව ඇත්තේ.” නවීන් දිසානායකගේ විග්‍රහයට අගමැති ඇතුළු කාගේත් එකඟත්වය පලවිය.

“පිටරට වල මරණ දඩුවම දීමෙන් මත් උවදුර මැඩලන්න බැරි වූ නිසයි ඔවුන් විකල්ප වලට ගියේ. හිරගෙවල් වෙනුවට උද්‍යාන සිර කඳවුරු ඇතිකරලා මනස හදනවා වගේම ඔවුන්ගේ කුසලතාවයන් පෝෂණය කරන වෘත්තීය පුහුණු දීම වගේ දේවලුයි ලෝකයේ දැන් කෙරෙන්නෙ.” ලක්ෂ්මන් කිරිඇල්ලගේ විග්‍රහයටද කාගේත් එකඟත්වය පලවිය.

“කිරිඇල්ල ඇමතිතුමා නාවලපිටියෙදි ඉතිහාසයට අදාල වැදගත් ප්‍රකාශයක් අගමැතිතුමා ඉදිරිපිටදී කරලා තිබුණා. ඉතිහාස පාඩම අපේ විෂය පථයෙන් ඉවත් කිරීම නොසුදුසු බව මගේත් මතයයි” හේෂා විතානගේ කීවේය.

“සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම ඉන්දියාවෙ ඉදලයි ආවෙ. සිංහල අය ටිකක් කලින් ආව. එහෙම කියල අනිත් මිනිස්සු යටපත් කරන එක නරකයි. මුස්ලිම්වරු කුළුබඩු වෙළඳාමට ආවත් ගෑනු ගෙනාවෙ නෑ. මෙහේ ගෑනුයි ගත්තෙ. වෙරළ තීරයේ හිටපු මුස්ලිම්වරු ඕලන්ද කාරයො එළෙව්වාම මහනුවර හිටපු සෙනරත් රජුයි ඔවුන් නැගෙනහිර පලාතෙ පදිංචි කෙරෙව්වේ.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.

“විවිධ බලවේග ආණ්ඩුව ජනතාවට සහන දෙනවාට විරුද්ධව උසාවි යනවා කකුලෙන් අදිනවා. ඒත් ඉඩම් ඔප්පු බෙදා දීම නාවලපිටියෙ වගේම රට පුරාම අපි කරනවා. ඉඩම් අයිතිය ඉල්ලලා දැන් මිනිස්සු පාරටත් බහින්න පටන් අරන්” අගමැතිවරයා කීවේ මද සිනහවක්ද සමගිනි.

“මල්වතු අස්ගිරි පාර්ශව රජ කාලෙ ඉඳලම සුළු ජාතීන්ට සලකන හැටි පෙන්නල තියනවා. නරේන්ද්‍රසිංහ කියන මහනුවර රජු මැරුණම රජකමට පුතෙක් හිටියේ නෑ. ඒත් ඔහුට දාව උනහමුවේ කුමාරිහාමිට උනහමුවේ බණ්ඩාර කියලා පුතෙක් හිටියා. ඒ වගේම විජයරාජසිංහ කියලා නරේන්ද්‍රසිංහ රජුගේ දෙමළ බිරිඳගේ සහෝදරයෙක් මල්වතු විහාරයේ හැදී වැඩුණා. ඇමති මණ්ඩලය කිව්වෙ උනහමුවේ බණ්ඩාරට රජකම දෙන්න කියල වුණත් මල්වතු අස්ගිරි පාර්ශව රජකම ලබාදුන්නේ බුදුදහමට වඩාත් ආදරය කරන විජයරාජසිංහ කියන දෙමළ කුමාරයාටයි.” ලක්ෂ්මන් කිරිඇල්ල යලිත් ඉතිහාසය සිහිපත් කළේ කාගේත් ආකර්ශනය මැදය.

“මුස්ලිම්වරු එපා කියලා රතන හිමි උපවාස කරනකොට මුස්ලිම්වරු යලිත් ඇමතිකම් භාරගන්න කියල මල්වතු අස්ගිරි පාර්ශව කියන්න ඇත්තේ අතීත සම්ප්‍රදාය අනුව වෙන්න ඕන.” මහාචාර්ය ආශු මාරසිංහ කී දේ සියළුදෙනා අනුමත කළහ.

“එක පාරටම් රු:8 ක් වගේ වැඩි මුදලකින් පිටි මිල ඉහල දාන්න කොම්පැනි තීන්දු කිරීම ජනතාවට එක පාරට පටවපු බරක්. ඒකට ඉඩ දෙන්න බෑ.” පසුපෙළ නියෝජනය කරන චමින්ද, හේෂා හා ආශු එක්වරම අගමැතිවරයාට කීවේ යම් දෝෂාරෝපණ ස්වරූපයෙනි.

“ඒක හරි. ඒත් මෙතන පැහැදිලි කරගත යුතු යථාර්ථයකුත් තියනවා. ලෝක මිල අනුව කාලයක් තිස්සේ මේ සමාගම් සුළු මිල වැඩිවීම් ඉල්ලුවත් ආණ්ඩුව ඒකට ඉඩ දුන්නේ නෑ. ජීවන වියදම් අනු කමිටුව මේක බ්ලොක් කරගෙන හිටියෙ ජනතාව ගැන හිතලයි. ඒත් කොම්පැනි වලටත් මේක දරාගන්න බැරි යම් සීමාවකට ඇවිත් කියලයි ඔවුන් පෙන්වා දෙන්නේ. එත් ආණ්ඩුවේ අනුමැතිය නැතුව කොම්පැනි වලට තීන්දු ගන්න බෑ. සමබරව මේ දෙපැත්තම බලලා තීන්දුවකට එන්න වෙනවා.” අගමැතිවරයා පැහැදිලි කළේය.

“මරණ දඬුවමට එරෙහි යෝජනාව බන්දුලාල් බණ්ඩාරිගොඩ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ස්ථාවර නියෝග 2ක් අත්හිටුවලයි. එහෙම වුණාම කෙලින්ම ඊට අදාල ගැසට් එක ගහන්න පුළුවන්. මේක රටේ අනාගත සුරක්ෂිතභාවය ගැන හිතලා කරපු වැඩක්. එහෙම නොවුණොත් යළිත් ජී.එස්.පී, මත්ස්‍ය ප්‍රශ්න හා ත්‍රස්ත විරෝධී ජාත්‍යන්තර තාක්ෂණික සහයත් අපට නොලැබී යන්න පුළුවන්.” නවීන් දිසානායක කීවේ ජාත්‍යන්තර පසුබිම උලුප්පා දක්වමිනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *