හැටවෙනි සැමරුම

නරලොව සිට නරසිංහ වාර්තා කරයි.

හැට වසර සැමරුම අවසන් වී ගෙදරට ගිය විගස ඩිව් ගුණසේකර හිටපු ඇමතිවරයාගේ දුරකතනය නාදවෙන්නට පටන් ගත්තේය.

හලෝ! නාන කාමරයේ සිට තුවායත් කරේ දමාගෙන පැමිණි ඩියු දුරකතනයට පිළිතුරු දුන්නේය.

හලෝ, ඩියු මහත්තයද කතා කරන්නේ? දුරකතනයේ අනෙක් කෙළවරින් ඇසුවේය.

වැරදි නොම්බරයක් කියු ඩියු දුරකතනය තැබුවේය.

ඒ විගස නැවතත් දුරකතනය නාද විය.

ඩියු මහත්තයද කතා කරන්නේ? කියා නැවත ඇසුවේය.

වැරදි නොම්බරයක් කියු ඩියු නැවත දුරකතනය විසන්ධි කළේය.

මෙකී සිද්ධිය මේ ආකාරයෙන් කිහිප වතාවක්ම සිදු විය. ඩියු මහත්තයාද ඇසූ සැණින් දුරකතනය විසන්ධි කළේය.

ඔය කතා කරන කෙනා කවුද?

 ඇමතුම දෙන්නා අවසානයේ ඇසුවේය.

මම ඩියු ගුණසේකර කියල කෙනෙක් යැයි එවිට ඔහුට පිළිතුරු ලැබුණි.

එහෙනම් ඩියු මහත්තය ද කියල ඇහුවම වැරදි නොම්බරයක් කියල ෆෝන් එකතිබ්බෙ මොකද? කියා ඇමතුම දුන් තැනැත්තා ඇසුවේය.

ඩියු මහත්තයෙක් මෙහෙ නැහැ. ඉන්නෙ ඩියු සහෝදරයා. මහත්තුරු ඉන්නෙ ධනපති පංතියේ, සුළු ධනපති පංතියේ. මාක්ස්වාදින් අතරේ ඉන්නෙ සහෝදරවරු. කියු ඩියු වහාම උත්තර දුන්නේය.

ඇහුවට සමාවෙන්න. ඔබතුමා තවමත් මාක්ස්වාදි ද? කියා එවිට අනෙක් තැනැත්තා ඇසුවේය.

ඔබතුමා වගේ බුර්ෂවා වචනත් පාවිච්චි කරන්න ඕන නැහැ. සහෝදරයා කීවම හොඳටම ඇති. මම මම තාම මාක්ස්වාදී ද කියල අහන්නත් ඕනද? ම‍ගේ අල්මාරියේ ඇඳපු නැති රතු කමිස හත අටක්ම තියෙනවා. කියා ඩියු උත්තර දුන්නේය.

පසුගිය ජනාධිපති වරණය කාලෙ ඔබ තුමාගෙ පක්ෂෙන් කොටසක් කැඩිල ගියා නේද? එතකොට ඒ අය මාක්ස්වාදි ද නැද්ද? කියා අනෙක් තැනැත්තා ඇසුවේය.

ඒ අය සම්පූර්ණයෙන්ම මාක්ස් විරෝධියි කියා ඩියු උත්තර දුන්නේය.

එහෙම කියන්නේ කොහොමද? කියා අනෙක් තැනැත්තා ඇසුවේය.

මාක්ස්වාදයට අනුව අපි ගොඩනගන්න ඕන නිර්ධන පාංතික ආඥාදායකත්වය. වෙන්වෙලා ගිය අයට තිබුණේ වෙනම අරමුණක්. කියා ඩියු උත්තර දුන්නේය.

ඔබතුමා කියන්නෙ මහින්ද රාජපක්ෂ ළඟ නිර්ධන පංති ආඥාදායකත්වය තියනව කියලද? කියා අනෙක් තැනැත්තා ඇසුවේය.

සම්පූර්ණයෙන්ම නැති වුණත් කොටසක් තියෙනවා යැයි ඩියු උත්තර දුන්නේය.

නැත්තෙ මොකක්ද? කියා අනෙක් තැනැත්තා ඇසුවේය.

නිර්ධන පංති. කියා ඩියු උත්තර දුන්නේය.

තියෙන්නෙ මොකක්ද? කියා එවිට අනෙක් තැනැත්තා ඇසුවේය.

ආඥාදායකත්වය කියා ඩියු උත්තර දුන්නේය.

නිර්ධන පංති නැහැ කියලා ඔබතුමා කියන්නේ කොහොමද? කියා අනෙක් තැනැත්තා ඇසුවේය.

එදා මහින්දගෙ පක්ෂෙ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ය. අද මහින්ද ගෙ පක්ෂය පොහොට්ටු පක්ෂ ය. කියල අනුමාන කරන්න පුළුවන්. කොහොම ගත්තත් ඒ දෙකම නිර්ධන පක්ෂ නෙමෙයි. සුලු ධනේෂ්වර පක්ෂ. ඒ නිසා මහින්දට නිර්ධන පංති කොටස තියෙනව කියල පිළිගන්න අමාරුයි. කියා ඩිව් උත්තර දුන්නේය.

එතකොට ආඥදායකත්ව තියෙනව කියල ඔබතුමා කියන්නෙ කොහොම ද? යැයි අනෙක් තැනැත්තා ඇසුවේය.

ඇයි තමුන්නාන්සෙට 18 වැනි සංශෝධනය මතක නැද්ද? කියා ඩියු අනෙක් තැනැත්තාගෙන් ඇසුවේය.

ඔබතුමා මුලින්ම 18 වෙනි සංශෝධනයට විරුද්ධ වුණා නේද? කියා අනෙක් තැනැත්තා ඇසුවේය.

මම විතරක් නෙමෙයි. වාසු, තිස්ස අපි හැමෝම විරුද්ධ වුණා. කියා ඩියු උත්තර දුන්නේය.

ඔබතුමා දැන් කියන විදිහට ඒ විරුද්ධ වීම මාක්ස්වාදයට විරුද්ධයි නේද? කියා අනෙක් තැනැත්තා ඇසුවේය.

විරුද්ධ වීම මාක්ස්වාදයට එකඟ නැති බව තේරුණු නිසා මම, තිස්ස, වාසු අපි ඔක්කොම 18 වන සංශෝධනයට විරුද්ධ නැති වුණා. කියා ඩියු උත්තර දුන්නේය.

ඔබතුමා මහින්ද මහත්තයට දුන්න උපදෙස් වලින් පිළිගත්තෙ නැත්තෙ කලින් ජනාධිපතිවරණෙ තියන්න එපා කියල දුන්න උපදේසෙ විතරයි කියල මහින්ද රාජපක්ෂ මහත්තය උත්සවේ දි කීවා යැයි අනෙක් තැනැත්තා කීවේය.  

එයා එහෙම කීවද? මට එච්චරට මතක නැහැ. යැයි ඩියු කීවේය.

ජනාධිපතිවරණය කලින් කලින් තියන්න එපා කියල ඔබතුමා මහින්ද මහත්තයට උපදෙස් දුන්නෙ මොකක් නිසාද? කියා අනෙක් තැනැත්තා ඇසුවේය.

අද තියෙන තත්ත්වය ඇති වෙනව කියල මගේ මාක්ස්වාදි බුද්ධියට දැනුණු නිසා වෙන්න පුළුවන්. කියා ඩියු උත්තර දුන්නේය.

දැන් තියෙන තත්ත්වය කියල ඔබතුමා අදහස් කළේ මොකක්ද? කියා අනෙක් තැනැත්තා ඇසුවේය.

නිර්ධන පංතිත් නැහැ. ආඥාදායකත්වයත් නැහැ. ඒ කාලේ නිර්ධන පංති නැතත් ආඥාදායකත්වය තිබුණු නිසා අපි සතුටින් හිටියා. කියා ඩියු උත්තර දුන්නේය.

ඔබතුමා දීපු උත්තර වලින් මහින්ද රාජපක්ෂ මහත්තය පිළිගත්තු උපදෙස් මොනවද? කියා අනෙක් තැනැත්තා ඇසුවේය.

මොකුත් නැහැ. කියා ඩියු උත්තර දුන්නේය.

ඒ කියන්නෙ ඔබතුමා දුන්න උපදෙස් මහින්ද රාජපක්ෂ මහත්තයා පිලිගත්තේ නැද්ද? කියා අනෙක් තැනැත්තා ඇසුවේය.

එයාට පිළිගන්න මම උපදෙස් දුන්නේ නැහැ. කියා ඩියු කීවේය.

හේතුව මොකක්? කියා අනෙක් තැනැත්තා ඇසුවේය.

උපදෙස් දෙන්න ගියා නම් මට හැට වෙනි සංසත්සරය ගන්න ලැබෙන්නෙ නැහැ කියා ඩියු උත්තර දුන්නේය.  

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *