වගකීම් විරහිත දයාසිරි ජයසේකර – අනුර සූරියබණ්ඩාර

කුරුණෑගල දිස්ත්‍රික් ඒජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ජුලි මස 10 දින පාස්කු දින ප්‍රහාරය ගැන කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටිමින් සාක්ෂි ලබා දුන්නේය. කමිටුවේ සභාපති වරයා එහිදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගෙන් මෙසේ ප්‍රශ්න කළේය.

“පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා.ටාජ් සමුද්‍රා හෝටලයේ පමණක් බෝම්බයක් පිපුරුවේ නැත්තේ ඇයිද කියන කරණය සැකයක් බව ප්‍රකාශ කළා.

ඊට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා දුන් ප්‍රකාශය මෙසේය.

“ටාජ් සමුද්‍රා හෝටලයේ පමණක් පිපුරුවේ නැත්තේ ඇයි ද කියලා අපට සැකයක් මතු වුණා.ඒ නිසා ඒ ගැන සොයන්න කියලා මම ඉල්ලීමක් කළා තවමත් මේ ගැන සොයා බැලීමක් නැ.ඒ ස්ථානයේ විශේෂයෙන් ප්‍රභූවරුන් හිටියද කියලත් සැකයක් මතු වුණා.අපිටත් විවිධ තොරතුරු ලැබෙනවා.ඒකයි මම එතැනදී ප්‍රකාශ කලේ”

ඒ කතාබහ අතරතුර අශු මාරසිංහ මහතා දයාසිරි ජයසේකර මහතාගෙන් “ ඔබතුමා ආරක්ෂක මණ්ඩලයට සහභාගී වනවාදැයි ඇසු  විට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පිළිතුරු දුන්නේ “ඔව්” යනුවෙනි. එවිට නැවත අශු මාරසිංහ මහතා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගෙන් නැවත ප්‍රශ්න කලේ එතකොට එහිදී (ආරක්ෂක මණ්ඩලයේදී)ඒ ගැන (ටාජ් සමුද්‍රා හෝටලයේ පමණක් බෝම්බ නොපිපිරිම ගැන කතා කලාද යනුවෙනි.දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඊට පිළිතුරු දුන්නේ “නැහැ”කියාය.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ජුලි 15 වැනිදා පොලිස් අපරාධ විමර්ශන අංශය හමුවේ පැය නමයක ප්‍රකාශයක් ලබා දුන්නේය ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනීමට ඒ මහතා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයා වශයෙන් කටයුතු කරමින් අසමත් වීම හේතුවෙනි.

දයාසිරි ජයසේකර මහතා ජනමාධ්‍ය හමුවේ මුලින්ම කීවෙත් දෙවනුව පාර්ලිමේන්තු කමිටුව හමුවේ ප්‍රකාශ කලෙත් පාස්කු ඉරිදා ටාජ් සමුද්‍රා හෝටලයට පමණක් ප්‍රහාරය එල්ල නොවුයේ මන්ද යන්න පිළිබද සොයා බැලිය යුතු බවයි. ඇත්තෙන්ම එවැන්නක් සිදු වීමට හේතුව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සැක කරන ආකාරයට එම හෝටලයේ එදින යම්කිසි ප්‍රභූවරුන් පිරිසක් සිටි නිසා නම් ඒ පිළිබද ආරක්ෂක අංශවල විශේෂ අවධානය යොමුවිය යුතු බවට කිසිදු තර්කයක් නැත.

ඒ අනුව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් බෝම්බ පිපිරිම සිදු වූ පාස්කු ඉරුදින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ  සිටි පුද්ගලයින් ගැන විමර්ශනයක් පැවැත්වීමට තීරණය කළේය.

එම හෝටලයේ එදින ලැගුම්ගෙන සිටි පුද්ගලයන් ගැන වාර්තාවක් ලබා ගැනීමටද ඒ අනුව කටයුතු කලයුතු බව කමිටුවේ සාමාජික රවී කරුණානායක මහතා පැවසුවේය. කමිටුවේ සෙසු සාමාජිකයන්ගේ ද අනුමැතිය ඊට ලැබුණි.ඒ අනුව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඒ පිළිබද සොයා බැලීමට කටයුතු කරනු ඇත.ඉන් පෙනී යන්නේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාස්කු ඉරු දින පරහාරය සම්බන්ධයෙන් තම වගකීම නොපිරිහෙලා ඉටු කරන්නට සුදානමින් කටයුතු කරන බවය.

ගැටලුව වන්නේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සහ ඔහුද සහභාගී වනබව ඔහුම පවසන ආරක්ෂක මණ්ඩලය තමන්ගේ වගකීම් ඒ ආකාරයෙන් නිවැරදිව සහ වගකීම් සහගතව ඉටු කරන්නේද යන්නය.නිදසුනක් වශයෙන් දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ප්‍රකාශ කරන්නේ තමා ආරක්ෂක මණ්ඩලයට සහභාගී වන නමුත් පාස්කු දින ප්‍රහාරයත් ටාජ් සමුද්‍රා හෝටලයට එල්ල නොවුයේ මන්ද යන්න පිළිබද සකච්ඡා නොකළ බවයි.

මෙහිදී මතුවන ගැටලුව වන්නේ පාස්කු ප්‍රහාරය යම් යම් ස්ථාන වලට එල්ල කෙරුණු අතර තවත් තැන් වලට එසේ ප්‍රහාර එල්ල කිරීම ප්‍රහාරකයන් විසින් හිතාමතාම හෝ සැලසුම් සහගතව මගහැර ඇත්නම් ඒ පිලිබදව සොයා බැලීම සහ ඒ පිළිබද සාකච්ඡා කිරීම ආරක්ෂක මණ්ඩලයේ වගකීමක් නොවන්නේද යන්නය.විශේෂයෙන්ම ආරක්ෂක මණ්ඩලයේ වාඩිවන තැනැත්තෙකුටම පවතින සැකයක් ආරක්ෂක මණ්ඩලයට දැනුම් නොදී සිටීම සහ සාකච්ඡා නොකිරීම බරපතල වරදක් වන්නේය.

පාස්කු දින ප්‍රහාරය පිළිබද සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව යනු අමතර විමර්ශන යාන්ත්‍රණයකි.එම ප්‍රහාරය රටේ සිදුවන වෙනත් ආකාරයක ආරක්ෂාව බිඳවැටීමක් හෝ සම්බන්ධයෙන් සොයා බැලීම සහ සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ආරක්ෂක මණ්ඩලයටත් ආරක්ෂක අමාත්‍යංශයටත් පැවරෙන සෘජු වගකීමකි.පොලිසිය සහ ආරක්ෂක අංශ භාරව කටයුතු කරන අමාත්‍යවරයාද සම්බන්ධ වී සිටින්නේ ආරක්ෂක මණ්ඩලය තුලය.

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පොලිස්පති පුජිත ජයසින්දර මහතාට සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට ඇප ලබාදෙමින් මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කලේ ආරක්ෂක අමාත්‍යවරයාගේ වගකීම් සහ යුතුකම් පිලිබදව චක්‍රලේඛ මගින් සදහන් කර ඇති ආකාරයට රටේ අභ්‍යන්තර ආරක්ෂාව පිළිබද වගකීම පැවරෙන්නේ ආරක්ෂක අමාත්‍යවරයාට බවය. ඒ අනුව ආරක්ෂක මණ්ඩලය නියෝජනය කරමින්ම පාස්කු ප්‍රහාරය පිළිබද තමා තුල පවතින සැකය ආරක්ෂක අමාත්‍යවරයාට දැනුම් නොදීම නිතිය අනුව වරදක්ද යන්න එක හෙලා කීමට ප්‍රමාණික නීති දැනුමක් අපට නොමැති වුවද එය සදාචාරයට පටහැනි බව නිසැකවම කියන්නට පුළුවන.

පොලිස්පති පුජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට ඇප ලබා දෙමින් මහේස්ත්‍රාත්වරිය පැවසුවේ, එම කරුණ එනම් පාස්කු දින ප්‍රහාරය සාකච්ඡා කිරීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා සියලු ආරක්ෂක අංශ ප්‍රධානින්ට දැනුම් දී තිබුනද 2019-04-09 වනදින ජාතික බුද්ධි රැස්වීමේදී එම නිලධාරීන් එම තොරතුර පිළිබද සාකච්ඡා කර නැති බවය.ජනතාවගේ පොදු පිළිගැනීම වන්නේ එදින එම කරුණ ජාතික බුද්ධි අංශ රැස්වීමේදී සාකච්ඡාවට ගැනුනේ නම් පාස්කු දින ප්‍රහාරය වලක්වාගත හැකිව තිබුනේය යන්නයි. එහෙයින්ම ආරක්ෂක අමාත්‍යවරයා සහ ආරක්ෂක මණ්ඩලය කාර්යක්‍ෂමව කටයුතු නොකිරීම පාස්කු ප්‍රහාරයට හේතු වූ බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී කමිටු සාමාජික අශු මාරසිංහ මහතා ආරක්ෂක මණ්ඩලයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කි දෙනෙක් ඉන්නවාදැයි ප්‍රශ්න කල විට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පිළිතුරු දෙමින් කිවේ ඒකට සීමාවක් නැහැ ඒක ජනාධිපතිතුමාගේ තීරණයක් කියාය.

ජනාධිපතිතුමාට වුවත් හිතෙන හිතෙන අය ආරක්ෂක මණ්ඩලයට කැඳවන්න බැහැ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කැඳවන්නේ නැහැ යනුවෙන් සරත් ෆොන්සේකා මහතා සදහන් කලවිට දයාසිරි ජයසේකර මහතා පිළිතුරු දුන්නේ දැන් රටේ තත්ත්වය ඔබ තුමා දන්නවනේ එතුමා විශ්වාසවන්ත අය කැඳවන්න ඇති.අප ඉන්නේ එතුමා සමගයි.කොහේ හරි පොතක ලියලා තියෙනවද ආරක්ෂක කවුන්සිලයට සහභාගී විය යුත්තේ කවුරුන්ද කියලා.රටේ ජනාධිපතිතුමා සහ ඔබතුමාලා හදපු ආණ්ඩුව වෙනස් වෙලා, අපි ශ්‍රී.ල.නි.පය වෙනම කටයුතු කරනවා.

ඔබතුමාට විශ්වාසයක් ඇති. අපි කිසිදාක ආරක්ෂක ණ්ඩලයේ කවුන්සිලයේ සාකච්ඡා කළ දේ එළියට ඇවිත් කියා නැහැ. ආදි වශයෙනි.

ආරක්ෂක මණ්ඩලයේ පැවැති තත්ත්වය පාස්කු දින ප්‍රහාරයත් සමඟ රටට හෙළි වු අතර එම මණ්ඩලයේ වත්මන් තත්ත්වය ද දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තු කමිටුව හමුවේ  පිළිතුරු දුන් ආකාරය අනුව පැහැදිලි වේ.

කෙසේ වෙතත් ටාජ් සමුද්‍රා හෝටලය සම්බන්ධ දයාසිරි ජයසේකර මහතා පවසන කරුණ රටේ ආරක්ෂාව සම්බන්ධ දෙයක් වන බැවින් ඒ ගැන සොයා බැලීමේ මූලික වගකීම ඇත්තේ ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයාටය. එහෙත් දයාසිරි ජයසේකර වැන්නන් නිතර උත්සාහ කරන්නේ එය ආණ්ඩුවේ හෙවත් එක්සත් ජාතික පක්ෂයේ වගකීමක් යැයි මවා පෙන්වන්නටය. රටේ ආරක්ෂාව පටදුවට තබා ඔවුන් කරමින් සිටින මේ දේශපාලන සූදුව ජනතාව බිල්ලට දී බලයට ඉව ඇල්ලීමක් බව ජනතාව තේරුම් ගත යුතුය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *