ඔන්න බබෝ බිල්ලා – සම්පත් අමරසිංහ

ශ්‍රීලංකාවේ විරුද්ධ පක්ෂය තරමට බලය වෙනුවෙන් බොරු ඇදබාන වෙනත් කණ්ඩායමක් ලොව නැත.විශේෂයෙන්ම ජාතික ආපදාවකදී වෙනත් රටවල සියලු දේශපාලන පක්ෂ රට  වෙනුවන් එකතුවී කටයුතු කරනු දක්නට ලැබෙන නමුත් මෙරට විරුද්ධ පක්ෂ බොහෝ විට කරනු ලබන්නේ කල දුටු කල වල වල ඉහ ගැනීමට කටයුතු කිරීමය.නිදරශ්නයක් වශයෙන් ඔවුන් පසුගිය අප්ස්කු ප්‍රහාරය හමුවේ හැසිරුණු ආකාරය දක්වන්නට පුළුවන.

පතින විෂය මුලික දේශපාලන තත්වයකින් ආණ්ඩුවේ සැබෑ දුර්වලතාවයකින් තම දේශපාලන බල ව්‍යාපෘතියට වැසි අත්කර ගැනීමට කවර රටකත් කවර කලකත් වන්නා වූ දෙයකි.නමුත් ශ්‍රීලංකාවේ විපක්ෂය විශේෂයෙන්ම පොහොට්ටු කණ්ඩායම නිතර කරන්නේ කොරහේ නොව තේ කෝප්පයේ පවා කිඹුලන් පෙන්වා ජනතාව අතර භීතියක් ඇතිකර බලය ලබාගැනීමට උතසහ කිරීමය. ඔවුන් කියන ආකාරය අනුව ඇමරිකාව ඉන්දියාව ජපානය ආදී ලොව සියලු රටවල් බලා සිටින්නේ ලංකාව යටත්කර ගිල ගන්නටය.කඩා පන ලංකාව ගිල ගන්නටය.ඔවුන්ගේ එම රාක්ෂයන්ගේ නාම ලේඛනයට චීනය තරමක් ආගන්තුක බව පෙනේ. එයට හේතුව මහින්ද රාජපක්ෂ තම පාලන කාලය තුලම කලේ චීනයේ කරට අත දා ගැනීමෙන් ගිනි පොලියට ණය ගැනීමත් දේශීය සම්පත් චීනයට ලියා දීමත් වන්නට පුළුවන.

මෙකි බිල්ලන් මැවීමේ කතා ප්‍රවෘත්තිය ගොඩ නැගුනේ පසුගියදා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබස්වනු ලැබ තිබුණු ගුවන් යානයක් පාදක කර ගනිමිනි.ඉහත ගුවන් යානය ගොඩ බැස්සවීම සම්බන්ධව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් කියා තිබුණු කතාව මෙසේය.

“රටේ අභ්‍යන්තරයේ සම්පත් පිළිබද සොයා බැලීමේ අධි තරංග සහිත ගුවන් යානයක් රටට ඇවිත් තිබෙනවා.මේක භයානක තත්වයක් භුමියේ අභ්‍යන්තරයක් සිතියම් ගතකර අවසන්. මේ ගුවන් යානය ගැන සැකයක් තිබෙනවා.රජය කුමක් කිව්වත් අධි තාක්ෂණ ගුවන් යානයක් තමයි මේ ඇවිත් තියෙන්නේ”

මුසම්මිල් මහතා මේ භීතිකාව වපුරන්නට උත්සහ කරන්නේ පසුගිය 07 වනදා කටුනායක ගුවන් තොටුපොළට ගොඩ බස්වනු ලැබූ එක්ට්‍රීම් නමැති ගුවන් යානය සම්බන්ධයෙනි. ඉහත ගුවන් යානය දකුණු අප්‍රිකාවේ ලියාපදිංචි කරනු ලැබුවකි.එය වනාහි ස්පෙක්ට්‍රම් එයාර් පොපර්ටි සමාගමට අයත් එම.සි. 47 වර්ගයේ ගුවන් යානයකි. ඉහත සමාගම සතුව මෙවැනි ගුවන් යානා රැසක් තිබේ.

පොහොට්ටු පක්ෂයේ කණක හේරත් මන්ත්‍රීවරයද කියා තිබුනේ ස්පෙක්ට්‍රම් යානය පැමිණ ඇත්තේ මෙරට ඛනිජ සම්පත් විදේශ රටවලට විකිනීමට සුදනමකට අනුව දැයි සැක සිතෙන බවයි.

මොහොමඩ් මුසම්මිල් කියන ආකාරයට ඇමරිකා අධි තාක්ෂණික ගුවන් යානයකින් එනම් ස්පෙක්ට්‍රම් යානයෙන් රටේ සියලුම සම්පත් සිතියම් ගත කර තිබේ. කනක හේරත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයාට ස්පෙක්ට්‍රම් යානය මෙරටට පැමිණ ඇත්තේ ඛනිජ සම්පත් විදේශ රටවලට විකිනීමට සුදානම් වීමටද යන සැකය තිබේ.

මොහොමඩ් මුසම්මිල් හෝ කනක හේරත් හෝ අත දරුවන් නොවේ. කනක හේරත් යනු ගුවන් නියමු ශාස්ත්‍රය ද හදාරා ඇති තැනැත්තෙකු බව මැතිවරණ කාලයක කියා තිබු බව කියවේ.එසේ හෙයින් ලෝකයේ ගුවන් යානා ගුවන් ගමන් ගුවන් යානා ගොඩ බැස්සවීම ගුවන් ගත කිරීම සම්බන්ධ අල්ප හෝ ඥානයක් කනක හේරත් මන්ත්‍රීවරයාට තිබිය යුතුය. මුසම්මිල් මහතා ටත් එවැන්නක් නොතිබේ යයි සිතන්නට හැකියාවක් නැත.

ඉහත ආකාරයේ බිල්ලන් මැවීමට මෙරට ජනමාධ්‍යද උඩගෙඩි සපයන බව නොකියා නොහැකිය.නිදසුනක් වශයෙන් ඉහත ගුවන් යානයේ පැමිණීම සම්බන්ධයෙන් සිරස නාලිකාව විමසනු ලැබුවේ පතල් කැනීම් කාර්යාංශයෙනි. ගුවන් ගමන් සම්බන්ධයෙන් විමසිය යුත්තේ පතල් කැනීම් කාර්යාංශයෙන් නොව සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයෙන් බව වත් නොදන්නා අයගේ මාධ්‍ය භාවිතාවේ තරම ජනතාව අවබෝධ කර ගත යුතුය. අනෙක පතල් කැනීම් කාර්යාංශයෙන් ප්‍රශ්න කරනු ලැබුවේද එම ගුවන් යානය මෙරටට පැමිණ දින කිහිපයක් කටුනායක ගුවන් තොටුපොළේ නවතා ඇත්තේ මෙරට භුමිය ස්කෑන් කිරීමටය යන පුර්ව නිගමනයේ පිහිටාය.

ස්පෙක්ට්‍රම් ගුවන් යානයක් මගින් පියාසර කරන අතර පොලව අභ්‍යන්තරය විමර්ශනය කිරීමේ හැකියාව පවතින බව සත්‍යකි. ස්පෙක්ට්‍රම් එයාර් පොපර්ටි සමාගම යනු එවැනි කටයුතු වල නියුතු ජාත්‍යන්තර සමගමකි. ඉහත සමාගමට අයත් එම ගුවන් යානය මෙරටට පැමිණ තිබුනේ ඉන්දුනීසියාවේ සිටය. එහි ඊළඟ ගමනාන්තය වන්නේ   ඉන්දියාවය. එකී කාරණය  අනුව ගත්  කල එම යානය ඉන්දුනීසියාවට ගියෙත් එරට භුමිය අධිතාක්ෂණයෙන් පරික්ෂ කරන්නටද? නැවත එම යානය ඉන්දියාවට යන්නෙත් ඉන්දියාවේ භුමිය අධිතක්ෂණයෙන් නිරීක්ෂණය කරන්නටද.?

ඇත්ත තත්වය වන්නේ එම ගුවන් යානය මෙරටට පැමිණ තිබුනේ ඉන්දුනීසියාවේ සිට ඉන්දියාව බලා යන ගමනේ ඉන්ධන ලබා ගැනීම වෙනත් සේවා ලබා ගැනීම සහ එහි කාර්ය මණ්ඩලයට විවේක ලබා ගැනීම සදහාය. එවැනි දේ ලොව කොතැනකත් සිදුවේ කවර ගුවන් යානයක් වුවත් දවසේ පය 24 ම වසරේ දින 365 ම අහසේ පියාසර කරන්නේ නැත.නොයෙක් ගමන් වලදී නොයෙක් ගුවන්තොටුපොළවල් වල නතර කිරීම සාමාන්‍ය දෙයකි. ගැටලුව වන්නේ මුසම්මිල් කනක වැන්නන් එවැනි දේත් තමන්ගේ දේශපාලන බඩගෝස්තරවාදය සදහා යොදා ගැනීම සහ එවැනි අවස්ථාවලදී ඔවුන්ට කන පිරෙන්නට පිළිතුරු ලබා දී ජනතාව භීතියෙන් මුදා ගන්නට සමතෙකු ආණ්ඩුවේ නොමැති වීමය.

ඊලග කාරණය ස්පෙක්ට්‍රම් ගුවන් යානය ඉන්දුනීසියාවට පියාසර කරන්නෙත් ඉන්දියාවට පියාසර කරන්නෙත් ස්පෙක්ට්‍රම් එයාර් පොපර්ටි සමාගම ජාත්‍යන්තර කීර්තිනාමයක් සහිත සමාගමක් වන නිසාය. හොර ගමන්වල යෙදෙන හොර රහසේ රට රටවල භුමිය නිරීක්ෂණය කරන සමාගමක් නම් එම යානා කිසිම ගුවන් තොටකට වද්දනොගන්නවා ඇත.

අනෙක එම  ගුවන් යානය කටුනායක ගුවන් තොටුපලෙහි දින දෙකක් නතර කර තිබුනා මිස රට අභ්‍යන්තරයට ගමන් නොකළ බව අතිශයින් පැහැදිලිය. කටුනායක ගුවන් තොටුපලේ දින දෙකක් නැවත තිබු යානයකින් රටේ සියලුම සම්පත් සිතියම් ගතකල හැකිනම් යානය නොව මුස්සමිල් ගේ ඥානය වහාම පරික්ෂා කල යුතුය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *