බුද්ධි ප්‍රධානීන් පත්තරවල පින්තූර දාන්න හොඳ නම් ජනතාව දැක්කම මොකද?-ෆොන්සේකා

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ තේරීම්කාරක සභාවේ පරීක්ෂණ කටයුතු තවත් මසකින් පමණ අවසන් කිරීමට බලාපොරෙත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

කැලණිය හිඹුටුවැල්ගොඩ ප්‍රෙද්ශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

බුද්ධි නිලධාරීන්ගේ පින්තූර නොපෙන්වා සිටීමට අවශ්‍ය කටයුතු ගන්නා බවත්, නමුත් පාස්කු ප්‍රහාරයට යම් අවස්ථාවක බුද්ධි නිලධාරීන් වගකිව යුතු නම් ඒ ගැන ජනතාව දැන ගත යුතු බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
 
ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට ඇති දේ ප්‍රශ්න කිරීමට සිදුවන බවත්, ජාතික බුද්ධි නිලධාරියා පසුගිය දා පත් කල අතර ඔහුගේ පින්තූරය පසුදා පුවත්පත්වල පළ වු බවත් පැවසු සරත් ෆොන්සේකා මහතා, බුද්ධි අංශ ප්‍රධානීන් පත්තරවල පින්තූර දාගන්න හොඳ නම් ජනතාව දැක්කහම සිදුවන්නේ කුමක් ද යනුවෙන් ප්‍රශ්න කර සිටියේය.

තවදුරටත් තේරීම් කාරක සභාවේ කටයුතු සිදුවන අතර, එයට අගමැති, ජනපති හා හිටපු නීතිය හා සාමය ඇමතිවරු ගෙන්වා ගැනීමට ආරාධනා කර ඇති බව ද එම සාක්ෂි වැදගත් වන බවත් ෆොන්සේකා මහතා පැවසීය.

සාක්ෂි ලබා දීමෙන් අනතුරුව නැවත කැඳවීමට අවශ්‍ය අය සිටින බවත්, කෙසේ හෝ ජනතාවට ඇත්ත දැන ගැනීමේ අවශ්‍යතාව ඇති බවත්, වගකිව යුත්තන් කවුරුන්ද යන්න පිළිබඳ හෙළි කල හැකි බවත් මන්ත්‍රිවරයා මෙහිදී පැවසීය.

ගැටළු රැසක් තිබුණත් ලබන මාසයේ දී හෝ මෙය අවසන් කල යුතු බවත් පැවසු මන්ත්‍රීවරයා, සමහරු ත්‍රස්තවාදය අවසන් බව සිතා සිටින බවත්, ත්‍රස්තවාදය එහෙම අවසන් කරන්න බැරි බවත්, ප්‍රහාර නැවැත්වීමට වසර 2 ක් හෝ 3 ක් ගත විය හැකි බවත්, ත්‍රස්තවාදී විෂබීජ තුරන් කිරීමට නම් වසර 8 ක් – 10 ක් අතර කාලයක් ගත විය හැකි බවත් ෆොන්සේකා මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *