19වන සංශෝධනයට අභියෝග කරන්න කිසිම ක්‍රමයක් නෑ – නීතිඥයන්ගෙන් ජනපතිට උපදෙස්

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත වන යෝජනාවකින් හැර වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනයට අභියෝග කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඔහුගේ නීතිඥයන්ගෙන් උපදෙස් ලැබී ඇති බව වාර්ථාවෙයි.

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය සම්මත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව සිදු වී ඇතැයි කියමින් ශ්‍රේෂාඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට තීන්දුවක් ලබාගැනීමේ අදහසක් පිළිබඳව නීතිඥ මත විමසීමේ දී මෙම උපදෙස් ලැබී ඇතැයි කියති. නීතියක් පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පසුව එය ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක්කළ නොහැකිය යන්න නීතිමය තත්ත්වය බවත් ජනාධිපතිවරයාගේ ධුරකාලය වසර පහක් බවට තීන්දු කරමින් ‍‍ශ්‍රේෂ්ඨාධිකරණය 2018 ජනවාරි 11 දා දුන් තීන්දුවෙන් ද මේ බව යළි තහවුරු කොට ඇති බව ද නීතිඥයන් විසින් පෙන්වා දෙනු ලැබ ඇත. ඉහත කී නඩු තීන්දුවේ දී පස් දෙනෙකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය ඒකමතිකව ප්‍රකාශ කොට ඇත්තේ 19 වන සංශෝධනය පාර්ලිමේන්තුවෙන් සම්මත වී නීතිගත වී ඇති බැවින් එය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කළ නොහැකි බවයි.

ජනාධිපතිගේ නිල කාලය ආරම්භ වනේනේ 19 වන සංශෝධනයට කතානායකතුමා අත්සන් කළ දින සිටය යන අර්ථ නිරූපණය ගැනීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යා නොහැකි වී ඇත්තේ ධුර කාලය ආරම්භ වන්නේ 2018 ජනවාරි 9දා සිට බව ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිශ්චය මඬුල්ලක් විසින් ඒකමතිකව තීන්දු කොට ඇති බැවිනි.

මේ අනුව ජනාධිපතිතුමාගේ නීති උපදේශකයන් පෙන්වා දී තිබෙන්නේ 19වන සංශෝධනයට අභියෝග කිරීමට කිසිදු ඉඩකඩක් දැන් ජනාධිපතිතුමාට විවෘත වී නැති බවයි. එය කළ හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් පමණකි. තුනෙන් දෙකක් ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂයේ සහය අනිවාර්යෙන් ලබාගතයුතුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *