බහුජාතික සමාගම්වල ඖෂධ මාෆියාව නිම කිරීමට හැකිවීම ජයග්‍රහණයක් – රාජිත

සමහරුන් වැඩ කළේ එම සමාගම්වලටයි

ජාතික ආර්ථිකය කාබාසිනියා කළ රෝගීන්ගේ මුදල් ගසා කෑ බහුජාතික සමාගම්වල ඖෂධ මාෆියාව නිමා කිරීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12) පැවැසීය.

අමෙරිකාව පවා පිළිගන්නා ප්‍රමිතියෙන් යුත් ඖෂධයක් රුපියල් දෙලක්ෂ අසූ දහසේ සිට හතළිස් අටදහස දක්වා අඩු කිරීමට රජයේ නව ඖෂධ ප්‍රතිපත්තිය අනුව හැකි වූ බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

වැඩි දුරටත් අදහස් දැක් වූ ඇමැති රාජිත සේනාරත්න මහතා මෙසේ ද පැවැසීය.

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයේ රෝහලක් ලෙස දිගටම ගෙන ගියා. මෙය ආණ්ඩුවේ රෝහල. මිනිස්සු නොමිලේ ප්‍රතිකාර ගන්නවා. අමූලික බොරු කියනවා. මේ ඖෂධ ගැන කතා කරන්නේ කා වෙනුවෙන් ද? පෞද්ගලික කොම්පැනි කාරයෝ ගැන. මේ කට්ටිය කතා කරන්නේ ප්‍රයිවෙට් හොස්පිටල් ගැන.

සමහර අය බහු ජාතික සමාගම්වලට වැඩ කළේ, ලෙඩ්ඩු බැලුවේ නෑ. ඖෂධ සමාගම් මා සමඟ ද්වන්ධ යුද්ධයක ඉන්නවා, මම මිල නියම කළ නිසා. ඒ අය බොරු නිෂ්පාදන මිල කිවුවා. එවැනි සමාගම්වලට තමයි මේ අය වැඩ කළේ. අදත් මේ අය ඡන්දවලට සල්ලි දෙන්නේ.

වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය වැඩකටයුතු දේශපාලන කෝණයෙන් බලන්න එපා. ගන්න තීන්දු දේශපාලන විදිහට තිබෙනවා. නමුත් මේවායේ ගන්නේ වෘත්තීමය තීන්දු. විශේෂඥ වෛද්‍යවරු ගන්න තීන්දු කෙළෙසෙන විදියට කටයුතු කරන්න එපා. මේක අවබෝධ කර ගන්න. වෘත්තීමය වැඩකටයුත්තක් ලෙස මේ දෙස බලන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන් කළේය.

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඖෂධ මිල අඩු කිරීමට කටයුතු කර ඇති බවත් එසේ ‍ඖෂධ මිල අඩු කිරීම යහපත් කටයුත්තක් බැවින් විවාදයකින් තොරව ඇගයීමට ලක් කරන බවත් දයාසිරි ජයසේකර මහතා මෙහි දී සඳහන් කළේය.

ස්වර්ණා විජේකෝන්

රෝෂන් තුෂාර

සන්ධ්‍යා කරුණාරත්න

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *