තේරීම් කාරක සභාව හමුවේ මම පෙනී සිටිනවා – අගමැති රනිල් වික්‍රමසිංහ

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයාබැලීමට පත් කළ තේරීම් කමිටුව ඉදිරියේ තමන් පෙනී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා එසේ ප්‍රකාශ කළේ විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව  පරාජය කිරීමෙන් පසුව අරලියගහ මන්දිරයේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි. අග්‍රාමාත්‍යතුමා කළ ප්‍රකාශය මෙසේය.

මටත් අමාත්‍යවරුන්ටත් එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව බහුතර ඡන්දයෙන් පරාජයට පත් වුණා. පාර්ලිමේන්තුව තීන්දු කළේ ඒ යෝජනාවේ සඳහන් චෝදනා පදනම් විරහිත බවයි. මේ පාස්කු ප්‍රහාරය සැලවූ වහාම මම ආරක්ෂක ප්‍රධානින් හමුවුණා. වහාම ක්‍රියාත්මක වීමට උපදෙස් දුන්නා. අප ගත් ක්‍රියාමාර්ග නිසා මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ ප්‍රහාරයට සම්බන්ධ සියලුදෙනා නීතියේ රැහැනට හසු කර ගැනීමට පුළුවන් වුණා. විපතට පත් අයට සහන සැලසීමටත් විනාශ වූ දේපල යළි ගොඩනැංවීමටත් අපේ ඇමතිවරු කැප වී කටයුතු කරනවා. මේ කටයුතු නිසියාකාරව සිදු වූ බව දැන් පාර්ලිමේන්තුවත් පිළිගෙන තිබෙනව. මේ අතර තවත් ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ තොරතුරු නිසි ආකාරයට නිසි තැන්වලට සංනිවේදනය නොවීමයි. බුද්ධි මණ්ඩලයේ අවදානය මේ ගැන කිසි අයුරින් යොමු නොවීමයි.

අප මුලින් කළේ ත්‍රස්ත කළේ ත්‍රස්තවාදින් සොයාගැනීමේ මෙහෙයුම. අපට එය සාර්ථක කරගන්න පුළුවන් වුණා. ඊට පසු අපි බුද්ධි තොරතුරු නිසියාකාරව සන්නිවේදනය සිදු නොවීම ගැන සොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළා. මේ තේරීම් කාරක සභාව ගැන සමහරුන් විවිධ දේ කිව්වත්, එහි නීතියානුකූල භාවය අධිකරණය පිළිඅරගෙන තියෙනව. අපට හංගන්න දෙයක් නෑ. ඒ නිසා තේරීම් කාරක සභාවට යන්න බයක් නෑ. මාවත් තේරීම් කාරක සභාව විසින් කැඳවා තිබෙනවා. මා ඒ හමුවට ගොස් මා දන්නා තොරතුරු කියනව.

විශ්වාසභංග යෝජනාව විවාද කරද්දි වැදගත් කරුණු ගණනාවක් රටට හළිකරන්න අවස්ථාව ලැබුණා. අපට අව‍ශ්‍ය මෙවන් ත්‍රස්ත කටයුතු යළි සිදු නොවන ආකාරයට පදනම දමන්ටයි. රටේත් ජාතියේත් අනාගතය වෙනුවෙන් එසේ කළ යුතුයි. නැතිනම් එය දේශ ද්‍රෝහි ක්‍රියාවක්. ඒ නිසා තේරීම් කාරක සභාව මඟින් අපි සත්‍ය සොයාගන්නවා. ඒ වගේම අධිකරණය හමුවේ ද  මේ සිද්ධිය සම්බන්ධ නඩුවක් තියෙනවා. එතැනදිත් සත්‍ය හෙළිවේවි. මේ සත්‍ය අපි හෙළිදරව් කරගන්නෙ පුද්ගලයන් හෝ දේශපාලන පක්ෂ ඉලක්ක කරගෙන නොවෙයි. සත්‍ය  අඩුපාඩු සිදුවී ඇත්නම් අනාගතයේ සිදු නොවීමට අවශ්‍ය පියවර ගැනීමටයි.  ත්‍රස්තවාදය මැඩලීමට අවශ්‍ය නව නීති රීති කීහිපයක් ද සම්මත කරගැනීමට අප බලාපොරොත්තු වෙනව. ජාත්‍යන්තර බුද්ධි අංශ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමත් බලාපොරොත්තු වෙනවා.

තවත් කරුණක් පිළිබඳව මම ඔබේ අවධානය යොමු කරන්න කැමතියි. මෙවැනි අනපේක්ෂිත කරුණක් නිසා රටේ සියලු කටයුතු එකතැනක හිරවෙනු ඇතැයි බොහෝදෙනා සිතුවා. නමුත් අපි ඊට ඉඩ දුන්නේ නෑ. අපේ ආණ්ඩුව ආර්ථික සමාජීය සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන ගියා. සමෘද්ධිය ලබා දුන්නා, ඉඩම් ඔප්පු ලබාදුන්නා, රැකියා ලබාදුන්නා, නිවාස ලබාදුන්නා, අඩපණ වුණු සංචාරක ව්‍යාපාරය යළිත් ගොඩනැගීමේ කටයුතු ආරම්භ කළා. ආණ්ඩුවේ ඉදිරි ගමනට කිසිදු බාදාවක් වෙන්න අපි ඉඩ දුන්නේ නෑ. මේ සාර්ථකත්වය ලබාගැනීමට හැකි වුණේ අපේ සියල්ලම එකට එක් වී රට ගැන සිතමින් කටයුතු කළ නිසයි.

ජය ගැනීමට තවත් අභියෝග අප ඉදිරියේ තියෙනවා. කඩිනම් කළයුතු කාර්යන් තවත් තියෙනවා. රට වෙනුවෙන් එකතු වී අපි ඒ සියල්ල සාර්ථක කරගනිමු.

මනෝජ් රූපසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *