මහාචාර්ය සරත් විජේසූරිය දැන් නහයෙන් අඬන්නේ ඇයි? – සී.ජේ. අමරතුංග

සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාහාචාර්ය සරත් විජේසූරිය මහතා පසුගිය දිනක තමන්ට ම සාප කරගත්තේය. ඒ යහපාලන ආණ්ඩුව පත්කරගැනීමට දායක වීම ගැනය. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති කිරීමටත්, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමටත් දායක වීම ගැනය. දරදිය ඇදීම ගැනය.

මහාචාර්ය වරයාට අනුව මෙම නායකයින් දෙදෙනා විසින් යහපාලන බලාපොරොත්තු බිඳ දමා ඇත. සුනු විසුණුකොට දමා ඇත. එයට මේ දෙදෙනාම එක සේ වගකිව යුතුය. යහපාලනය ගෙන එන්න දායක වූ ඔහුට හා අපට සාප වන්නේ මේ  දෙදෙනා බලයට පත්කිරීම ගැන ය. සමහරු කියා තිබුණේ; මෙය ඉතා සමතුලිත (බැලන්ස්) විවේචනයක් බවය. එම විවේචනය සමතුලිත යැයි කියන්නට ඇත්තේ නායකයින් දෙදෙනා එක ගණනට දැමූ නිසා විය හැකිය. එක් අයෙකුට දුන් බරම අනෙක් තැනැත්තාටත් දුන් නිසා විය හැකිය. එය ද එක ආකාරයක සමතුලිත කමකි.

එසේ වුවද දේශපාලනයේ දී සමතුලිත විග්‍රහයන් කිව හැක්කේ කරුණු මත පදනම්ව කරන විග්‍රහයකටය. තමන් තුළ එකිනෙකා කෙරෙහි ඇති මනාපය, අමනාපය මත නොව ඔවුනොවුන්ගේ ක්‍රියා සැලකිල්ලට ගෙන කරන විග්‍රහයකටය. දේශපාලන මතවාද කුමක් වුවද සැබෑ සිදුවීම්  පෙළගැසීම සැලකිල්ලට ගෙන කරන විග්‍රහයකටය. එලෙස සලකා බැලුවහොත් මහාචාර්ය විජේසූරියගේ විග්‍රහයට සිදුවන්නේ කුමක්ද? යන්න තීරණය කිරීමේ වගකීම පාඨකයා සතුය.

මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ යන නායකයන් දෙදෙනා විසින් යහපාලන බලාපොරොත්තු සුනු විසුනුකොට ඇති බව මහාචාර්ය විජේසූරිය කියයි. එසේ වුවද වෙනත් තැනකදී ඔහු යහපාලන ජයග්‍රහණ ගැන කතා කරයි. ස්වාධීන කොමිෂන් සභා ගැන කතා කරයි. එමගින් විධායක බලය සීමා කොට ඇති ආකාරය ගැන කතා කරයි. අධිකරණයට, පොලීසියට, රාජ්‍ය සේවයට ලැබී ඇති නිදහස ගැන කතා කරයි.

එමෙන්ම රජය විවේචනය කරන මාධ්‍යවේදීන්ට නිදහසේ ජීවත් වීමට, අදහස් පළ කිරීමට තිබෙන අයිතිය හා අවස්ථාව ගැන මහාචාර්ය තුමා කියයි.

දැන් ප්‍රශ්නය මතුවෙන්නේ නායකයින් දෙදෙනා යහපාලන බලාපොරොත්තු විනාශ කළේ නම්, මේ සිදුව  ඇත්තේ කුමක්ද? යන්නයි. මෙහිදී මහාචාර්තුමාගේ විග්‍රහයේ ඇත්තේ බරපතළ ප්‍රතිවිරෝධී තත්ත්වයකි.

මහාචාර්යතුමා කීවත් නොකීවත් හයපාලනය තුළ ලැබු ජයග්‍රහණ රාශියකි. 19 වන සංශෝධනයෙන් විධායක ජනාධිපති බලය සීමාකිරීම ඉන් පළමුවැන්නයි. මාදුළුවාවේ සෝභිත හිමියන් පෙනී සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නටය. එසේ වුවද ඒ සඳහා පත්කරගත් නායකයා, පරාජය කළ බලවේගයේ නායකයා බවට පත්වීමත් සමඟ එම බලවේගය ක්‍රියාත්මක වූයේ විධායක බලය හැකිතාක් දුරට රැකගන්නටය. ඒ නිසා ද්විත්ව බලයක් ඇතිවූ බව  යම් පමණකට පෙනී ගියත් ජනාධිපතිගේ බලයේ තටු කපා ඇති බව පැහැදිලිය. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට ඌරු ජුවල් නැග ඇත්තේ ඒකටය. 19 වැනි සංශෝධනයට එරෙහිව අවි අමෝරාගෙන ඇත්තේ ඒකය. ඌරු ජුවල් නැග ඇත්තේ මේක කරපු අය සම්බන්ධයෙනි. එනම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමගය. මහාචාර්ය විජේසූරියට මේ දෙදෙනාම එකය.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ පළමු හා ප්‍රමුඛ සටන්පාඨය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. දැන් දේශපාලන විචාරකයින් කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ19 වන සංශෝධනය මෙම ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් පසුව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන බවයි. එවිට බිහි වන්නේ නාමමාත්‍ර විධායකයකු බවයි. මේ බව ජ්‍යේෂ්ඨ නීතිඥ නිහාල් ජයවික්‍රම ද මාධ්‍යවේදි වික්ටර් අයිවන් මෙන්ම නීතිඥ ජෙහාන් පෙරේරා මහතා ද ප්‍රකාශ කොට තිබිණි. ඒ කියන්නේ ලබන නොවැම්බරයෙන් පසුව මේ රටේ විධායක ජනාධිපතිවරයකු නැති බවයි. මෙය කළේ කවුද? යන්න මහාචාර්යතුමා සොයා බැලිය යුතු කාරණයකි. 

නිදහස් ස්වාධීන කොමිෂන් සභා දහනව වන සංශෝධනයේ ප්‍රබල අංගයකි. ඒ ගැන ද ජනාධිපති මෛත්‍රි ට බරපතල කේන්තියක් ඇති බව ප්‍රකට විය. ඒ අතර තවත් යමක් මතක් කළ යුතුය. ස්වාධීන කොමිෂන් සභා පළමුවෙන් හඳුන්වා දුන්නේ 19න් නොව 17වන ව්‍යවස්ථා සංශෝධනයෙන් බවයි. එය කළේ කවුද? යන්න මතක් කර ගැනීම වැදගත්ය.

පසුගිය කාලයේ යහපාලන අරමුණු රාශියක් ජයගෙන ඇත. තොරතුරු දැනගැනීමේ අයතිය නීතියෙන් තරහවුරුකොට මූලික මානව හිමිකමක් ලෙස පිළිගෙන ඇත. තොරතුරු දැනගැනීමේ පනත සම්මත කොට ක්‍රියාවට නංවා ඇත. මහජනයාට තවමත් එය නුහුරුය. එසේ වුවද එය ප්‍රජාතන්ත්‍රවාදයේ බලගතු අවියකි.

දැන් අගමැතිගේ වත්කම් ඉල්ලා නඩු මගට බැස ඇත්තේ මේ නීතිය යටතේය. අගමැති දෙන්න කීවත් ජනාධිපති එය දෙන්නේ නැත. මේ පිටුපස්සේ එන්න ඉඩ තිබෙන ඉල්ලීම් පෝලිම ගැන ඉව වැටීම එයට හේතුව වන්න බැරි නැත.

විගණන පනත දියාරු කළ බවට චෝදනා ඇත. එසේ වුවද යම් පමණකට එය ක්‍රියාවට නගාගැනීම ජයග්‍රහණයයකි. අඩුපාඩු ඇත්නම් අනාගතයේ හදාගත හැකිය.

අධිකරණය දැන් තම ශක්තිය පෙන්වන්නට පටන් ගෙන ඇත. ජනාධිපතිගේ බලය කුමක්දැයි එයින් තීන්දු දී ඇත. බැරි දේවල් කරන්නට ගොස් පස්ස බිම ඇන ගන්නට ජනාධිපතිවරයාට සිදු වී ඇත.

නීතිය ක්‍රියාත්මකය. ජනාධිපතිගේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනකුට ද එය ක්‍රියාත්මක වූයේ නවන්නේ නැතිවය. බැදුම්කර මගඩිය ගැනද නීතිය ක්‍රියාත්මකය . තවමත් නීතිය නවන තැන් නැතුවා නොවේ. එසේ වුවද නීතිය දැන් බොහෝදුරට ක්‍රියාත්මක වන්නේ තරාතිරම නොබලාය. මේ යන විදිහට ඇතැම්විට ප්‍රශ්න මතුවන්නට ඉඩ ඇත්තේ බන්ධනාගාර රෝහලේ ඉඩ මදී වූ විට දී ය.

මෙරට ට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කොට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල එකඟතාවයෙන් ව්‍යවස්ථා සභාවක් ලෙස ගෙන ගිය ක්‍රියාමාර්ගය ද සුළුවෙන් තැකිය යුතු නැත. එය අවසානයට ළඟා නොවුනද එමඟින් බොහෝ එකඟතා ඇති කරගෙන තිබේ. එකඟ නොවන ප්‍රශ්න හඳුනාගෙන ඇත. අනාගත වැඩපිළිවෙලකට පදනමක් මින් සැකසී ඇත.

යහපාලනයේ ජයග්‍රහණ තවත් බොහොමයකි. ඒවා ගැන දිගින් දිගට කීම අවශ්‍ය නැත. මහජනයාගේ ප්‍රතිචාරය තේරුම් ගැනීම සෑහේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතා අගමැති කොට කුමන්ත්‍රණ ආණ්ඩුව අටවන විට මෙරට මහජනයා සිටියේ ආණ්ඩුවට පස්පඩංගුවේ බනිමිනි. කුමන්ත්‍රණයෙන් පසුව මහජනයා පාරට ගත යුතු බව කියන විට එජාපයේම සමහරු කීවේ ආණ්ඩුවේ සහයට මහජනයා පෙරට ගැනීම දුෂ්කර බවයි. එසේ වුවද මහජනයා මෙන්ම යහපාලන බලවේගද පැමිණ සිටගත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමගය. ඒ වික්‍රමසිංහ මහතාට ඇති විශේෂ ආලයක් නිසා නොවේ. තමන්ගේ පැත්ත තෝරාගත් නිසාය. ජනතාව ලක්ෂ ගණනන් පාරට ආවේ සිරිසේන – රාජපක්ෂ කණ්ඩායම නන්නත්තාර කරමිනි.

මේ සිදුවීමෙන් වත් මහාචාර්ය විජේසූරිය මහතා පාඩම් ඉගෙන ගත යුතුය. එනම් මෛත්‍රිපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ දෙදෙනා එකට තබන්නට බැරි බවයි. එකෙක් අනෙකාගේ ප්‍රතිපක්ෂය බවයි. සිරිසේන යහපාලනයට පස්ස හරවා ඇති අතර  යහපාලනය සමග තවම සිටින්නේ රනිල් බවයි.

මහාරජා වරුන්ගෙන් හා ඒකාබද්ධයෙන් ණයට ගත් ඇතැම් විවේචන රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව යොදාගන්න මහාචාර්ය සරත් විජේසූරිය වැන්නකු ඉදිරිපත් වීම ලජ්ජා සහගතය. ඉන් එකක් නම් රනිල්ගේ ගජමිතුරු සංග්‍රහයයි .  මේ චෝදනාව කරන විපක්ෂය මහින්ද රාජපක්ෂ තම සහෝදරයන් හා පරම්පරාවම ඉහළ තනතුරුවලට පත්කරන විට කීවේ නායකයා පත්කරන්නේ තමන්ට විශ්වාස අය බවය. හැබැයි රනිල්ට එම අවස්ථාව දෙන්නට ඔවුන් සුදානම් නැත.

කෙසේ වෙතත් රනිල්ගේ ගජ මිතුරන් කී දෙනෙකු බලවතුන් ලෙස සිටිනවා ද කියා සොයා බැලීම වැදගත්ය. මලික් සමරවික්‍රම, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම් ආදීන් ඒ ගොඩට දැමිය හැකිය. කැබිනට්ටුවේ වෙනත් ප්‍රබල ඇමතිවරුන් ගැන බැලීම වැදගත්ය. මංගල සමරවීර, චම්පික රණවක, ලක්ෂ්මන් කිරිඇල්ල, සජිත් ප්‍රේමදාස, තලතා අතුකෝරල, වජිර අබේවර්ධන, කබීර් හෂීම්, රාජිත සේනාරත්න ආදී මෙකී නොකී තව බොහෝ දෙනෙකුන් බලගතු ඇමැති තනතුරු හොබවති. ඒ සියල්ල නොදැක ගජ මිතුරු බලයක් ගැන පමණක් කතා කිරීම විපක්ෂයේ කුහකත්වයයි. මහාචාර්ය සරත් විජේසූරිය මහතා එයින් ඉක්මනින් ගැලවෙනු ඇතැයි අපි විශ්වාස කරමු.

විපක්ෂයෙන් විජේසූරිය මහතා ණයට ගත් අනෙක් ප්‍රශ්නය මහ බැංකු බැඳුම්කර මගඩියයි. එහිදී විජේසූරිය මහතාද කතා කරන්නේ අගමැති රනිල් වැරදිකරුවකු ලෙස ගනිමින් ය. එසේ වුවද රනිල් ගස් යවන්නට හිතා මෛත්‍රී පත්කළ ජනාධිපති කොමිසමේ තීන්දුව වී ඇත්තේ අගමැති රනිල් හෝ එක්සත් ජාතික පක්ෂය මෙයට සම්බන්ධ නැති බවයි. වාර්තාවේ 30 වන පරිච්ඡේදය ලියා ඇත්තේ ඒ වෙනුවෙනි. එසේ තිබියදී තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා නැගීම කුහක කමකි.

ජනාධිපති කොමිසම කියා ඇත්තේ කුමක්දැයි මහාචාර්ය සරත් විජේසූරිය මහතා හොඳින් දනී. එයින් කියා ඇත්තේ මහ බැංකුවේ මෙම මගඩි කාලයක් තිස්සේ සිදුව ඇති බවයි. විජේසූරිය මහතාගේ එක් චෝදනාවක් නම් මහින්ද යුගයේ සිදු වූ වංචා මෙම වංචාව මෙන් තිස්පස් ගුණයක් විශාල බව හා මේ ආණ්ඩුව ඒ ගැන පරීක්ෂා නොකළ බවයි. ඒ චෝදනාවට වලංගුභාවයක් ඇතැයි අපි සිතමු. එසේ වුවද එයින් කියැවෙන දේ තේරුම් ගැනීම වැදගත්ය.

මේ කියන්නේ මහබැංකුවේ මෙම වංචා අර්ජුන මහේන්ද්‍රන් පැමිණ පටන් ගත් දෙයක් නොවන බවයි. බැංකුවේ නිලධාරින්, බලධාරින් හා ජවාරම්කාරයන් මේ මගඩිවල දිගු කලක් තිස්සේ යෙදුන බවයි. පෙබරවාරි 28 සිදුවූයේ එම මගඩි එළියට ඒමයි. එයින් කියැවෙන අනෙක් කරුණු ගැන පුන පුනා කිව යුතු නැත.

රනිල්ගේ එජාප ආණ්ඩුව දූෂිත යැයි ජනාධිපති හා විපක්ෂය කියයි. ඒ ගැන තවමත් හරි තොරතුරු හෙළිදරව් වීමක් නැත. ජනාධිපති කොමිසමක් ක්‍රියාත්මකය. අපට තරමක් ඉවසිල්ලෙන් බලාසිටීමට සිදුවෙනු ඇත. දැනට කතාවන්නේ පෙළපොත්වල ඇමතිගේ චායාරූපය පළකර ගැනීම් වැනි සිල්ලර වැඩ ගැනය .

කෙසේ වෙතත් ආණ්ඩුවේ දූෂණ හා සටන් විදින අවි මේ වනවිට ජනතාව අතට ලැබී ඇත.එනම් තොරතුරු දැනගැනීමේ පනත හා මාධ්‍ය නිදහසයි. මේ අවි භාවිත කරමින් දූෂණ හා සටන් වැදීම මහජනයාගේ වගකීමකි.

මහාචාර්ය විජේසූරියට නොපෙනෙන දේශපාලනයේ ඇත්ත ස්වරූපය මෙලෙසය. 2015 අප සොයාගත් ගැලවුම්කරුවා මෛත්‍රිපාල සිරිසේන යහපාලනයට පස්ස හරවා අවසන්ය. ඔහු දැන් යහපාලනයේ සතුරෙකි. ඔහු හා කිසිදු සමාදානයක් තිබිය නොහැකි තරමේ සතුරෙකි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තවමත් සිටින්නේ අපේ පිලේය. යහපාලන බලවේග තවමත් ඉන්නේ ඔහු සමග ය. රාජිත සේනාරත්න, චම්පික රණවක, ජයම්පති වික්‍රමරත්න, අර්ජූන රණතුංග, ආෂු මාරසිංහ, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ආදී සියලු දෙනා ඉන්නේ එතැනය. යහපාලනයට එරෙහි බලවේග වලට මුහුණ දිය හැකි ශක්තිය ගොනුකළ හැක්කේ ඔහුටය. බලවේග බෙදී ඇත්තේ ඒ ආකාරයෙනි.

අගමැති රනිල්ට එරෙහි ප්‍රහාරයන්ද තේරුම් ගත යුත්තේ මේ සන්දර්භය තුළය. රනිල් ට ගහන්නේ යහපාලනයට ගහන්නටය. රනිල් වැටුණොත් වැටෙන්නේ යහපාලනයයි. පරදින්නේ යහපාලන බලවේගයි. කතාන්දරය ඒකය.

මහාචාර්ය සරත් විජේසූරිය මහතාගේ තුලාන්තමක යැකි කියන විග්‍රහය ගැන මගේ අදහස් දැක්වීම ඒ මහතා ද දන්නා සභාපති මාඕ සේතුංගේ පාඨයකින් අවසන් කරන්නට කැමැත්තෙමි. එය මෙසේය.

“බොරු සතුරෙකු මවා පාන්නේ සැබෑ සතුරා මඟ හැරීමටයි” – සභාපති මාඕ සේතුං

සී.ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *