|

ජපුර රෝහල ළඟ තට්ටු නිවාසයක කුමන්ත්‍රණ කළේ කවුද ?

මේ සතියේ ආණ්ඩුවට තම ස්ථාවරත්වය යලිත් රටට පෙන්වීම සඳහා දැවැන්ත පිම්මක් පැනීමට සිදුවිය. ඒ ජවිපෙ විසින් ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට අදාල විවාදය සහ ඡන්ද විමසීම තුළිනි. බදාදා ඇරැඹූ එම විවාදය තුලින් වඩාත් කැපී පෙනුණේ ආණ්ඩු විරෝධයට වඩා විපක්ෂ කණ්ඩායම අතර ඇති දේශපාලනික සහ න්‍යායයාත්මක පරස්පරතාය. ඔවුනොවුන් තම තමන්ගේ ශක්තිය වාචිකව පෙන්වන ගමන් ආණ්ඩුවට වඩා විපක්ෂයේම සෙසු කණ්ඩායම් වලට ප්‍රහාර එල්ල කිරීම විශේෂත්වයක් විය. බ්‍රහස්පතින්දා උදයේම අගමැතිවරයා පාර්ලිමේන්තුවට ගියේ එදින සවස විශ්වාසභංගයට අදාලව පැවැත්වීමේ ඡන්ද විමසීමේ ගණන්හිලව් සමබර කරගැනීමේ මෙහෙයුම සඳහාය.

“ජවිපෙයි විපක්ෂයේ අනිත් කට්ටියයි ඊයෙ හොදට මරාගත්තා. අද ඒකෙ දෙවෙනි කොටසයි.” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කතාවට මුලපිරුවේ අගමැති කාර්යාලයට පැමිණ සිටි මැති ඇමතිවරුන් අතරින් මූලිකත්වය ගනිමිනි.

“පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ ආණ්ඩුවේ ශක්තිමත් බව රටට පෙන්නන්න විපක්ෂය අපිට හොඳ අවස්ථාවක් ලබාදුන්නා කියලයි හිතෙන්නෙ” අගමැතිවරයා කීවේ මද සිනහවක්ද සමගිනි.

“රිෂාඩ්ගෙ විශ්වාසභංගෙ ඉවත්වෙලා තියන වෙලාවේ මෙහෙම එකක් ආපු එක මෝඩ වැඩක්. අන්තිමට ගෙනාපු අයයි පච වෙන්නෙ” නවීන් දිසානායකගේ මතයට කාගේත් එකඟත්වය පලවිය.

“වසර 10ක් භුක්ති විඳපු රජයේ ඉඩම් ඒ අසරණ මිනිස්සුන්ටම පවරා දෙන ආණ්ඩුවේ ඉඩම් පනතට ජනාධිපති ඇතුළු විපක්ෂය හොඳටම බයවෙලා. පොහොට්ටුවේ කණ්ඩායම් 2ක් ජනතාවට ලැබෙන මේ ඉඩම් ප්‍රතිලාභයට විරුද්ධව උසාවිත් ගිහින්.” හේෂා විතානගේ කතාව වෙනතකට යොමු කළේය.

“පවුල් ලක්ෂ 10කට ඉඩම් බෙදනවට විරුද්ධ වෙලා තියෙන්නෙ ෂැන්ග්‍රිලා එකට හමුදා මූලස්ථාන ඉඩමයි, චීනෙට පෝට් සිටියෙන් භාගයයි, ඩෝල් සමාගමට කෙසෙල් හා වෙනත් ඒවා වගා කරන්න ඉඩම් අක්කර 15,000ක් සින්නකරවම ලියා දීපූ කට්ටිය වීමයි පුදුමෙ.” චමින්ද විජේසිරි දැවැන්ත බෝම්බයක් පත්තු කළේය.

“මේ ඉඩම් බෙදාදෙන වැඩේ වසර 2ක් කැබිනට් එකේ පල් වුණා. අමාරුවෙන් සම්මත කරගෙන ගැසට් කළාම පාර්ශව 2ක් උසාවිත් ගිහින්. මේ අයට විරුද්ධව ඉඩම් හිමි ජනතාවත් එක්ක පාරට බහිමු. ආණ්ඩුව ජනප්‍රිය වේවි කියලා හැම දෙනාම බය වෙලා මේ පහත් වැඩේ කරන්නෙ.” අගමැතිවරයා පැහැදිලි කළේය.

“මේ ඉඩම් වැඩේ සෝපා හා ඇක්සා වගේම මිලේනියම් ගිවිසුම් එක්ක බොරුවට පටලවන්න හදනවා. මේවා අතර කිසිම සම්බන්ධයක් නෑ. අගමැතිතුමා මේ ගිවිසුම් ගැන පාර්ලිමේන්තුවෙදි පැහැදිලි කරපු එක ඉතා වටිනවා. විපක්ෂය හා මාධ්‍ය තේ කෝප්පයේ කිඹුල්ලු පෙන්වනවා” නවීන් දිසානායක කීය.

“ඉඩම් අයිතිය ජනතාවට දෙනවට ජනාධිපතිතුමා විරුද්ධවිම ගැන පොළොන්නරුවේ මිනිස්සු අමුතු විග්‍රහයක් කරනවා කියල ආරංචියි. අඳ ගොවියාගෙන් වි කොල්ල කන මාෆියාවෙ ශක්තිය ඉඩම් අයිතිය ගොවීන්ට ලැබුණම නැති වේවි කියල මේ මාෆියා කාරයො බයවෙලා කියලයි ඒ මිනිස්සු කියන්නෙ. ඊට පස්සෙ වී කුණු කොල්ලෙට ගන්න බැරි වේවි” හේෂා විතානගේ බරපතල හෙලිදරවක් සිදුකළේය.

“සුදු ජූලිය පටන් ගත්ත දා ඉඳලා ජනතාවට වැඩි පඩි, වැඩි විශ්‍රාම වැටුප්, ඉන්ධන මිළ අඩුකිරීම්, සමෘද්ධි පවුල් ලක්ෂ 6කට ලබාදීම් විතරක් නෙවෙයි දේශපාලන පලිගැනීම් වලට ලක්වූ 30,000 කට ජීවිත දේපළ හා පළිගැනීම් වලට එරෙහි වන්දි ලබාදීමත් ඇරැඹිම ගැනත් ජනතාව විශාල ලෙස සතුටු වෙනවා.” මහාචාර්ය ආශු මාරසිංහ කීවේය.

“සෝෆා හා ඇක්සා ඇමරිකානු ගිවිසුම් 1995 දී චන්ද්‍රිකා ආණ්ඩුව හා 2007 දී මහින්දගෙ ආණ්ඩුවයි ගැහුවෙ. 2007 ඇක්සා එක ගෝඨාභය හා රොබට් ඕ බ්ලේක් කියන ඇමරිකානු පුරවැසියො දෙන්නයි අත්සන් කරල තියෙන්නෙ. රටට අහිතකර කොන්දේසි ඉවත් කරලා රටට වාසි විදියට ඒවා පවත්වාගෙන යන්න පුළුවන්ද කියලයි මේ ආණ්ඩුව බලන්නෙ. එදා පිටු 7 ක ගිවිසුමට කෑ ගහපු නැති මිනිස්සු දැන් පිටු 5ක ගිවිසුමකට කෑ ගැහීම විහිළුවක්.” දයා ගමගේ කීවේ එවැන්නකි.

“හිටපු පොලිස්පති පූජිත හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරිගෙ පිට ඔක්කොම කුණු පටවන්න සමහරු දැඟලුවත් මේ රටේ අධිකරණය එතනදීත් සත්‍යවාදීව ක්‍රියා කිරීම රටේ වාසනාවක්. උසාවිය නොකිය කියන්නෙ වැරදි කළේ ඒ දෙන්න නෙවෙයි ඊට ඉහලින් සිටි අය කියලයි. මේ දෙන්න වගකිවයුතු නැත්නම් ඊට ඉහළින් ඉන්න කෙනා කවුද කියල ජනතාවට අමුතුවෙන් කියන්න ඕනෑ නෑ. තේරීම් කාරක සභාවෙදිත් ඒක තහවුරු වුණා” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ කාගේත් සිනහ මැදය.

“ප්‍රහාරය ගැන සොයන තේරීම් කාරක සභාවට දයාසිරි නොගිහින් ඉන්නයි හැදුවේ. එතනදී කතානායකතුමාගෙ නිවැරැදි ස්ථාවරයත්, නොයන්නෙ හංගන්න දේවල් තියන නිසාද කියල කිරිඇල්ල ඇමතිතුමාත් අහපු නිසා එතනදි දයාසිරිට මගහරින්න බැරිවුණා.” චමින්ද විජේසිරි කීවේය.

“එක්තරා හෝටලයක එදා බෝම්බෙ පුපුරවන්න ත්‍රස්තවාදීන් ක්‍රියා නොකළේ ඒකෙ හිටපු ප්‍රභූන් නිසා කියල දයාසිරි මාධ්‍යට කිව්වා. ඒ ගැන අහන්න කාරක සභාව ඔහු ගෙන්නුවත් එයාට හරි පැහැදිලි කිරීමක් කරගන්න බැරිවුණා. මේ සමහර දේශපාලකයො එක්කො ඇත්ත හංගනවා. නැත්නම් ටී.වී මයික් එකක් දැක්කම කටට එන වල්පල් කියල රට නොමග යවනවාද කියලා අපට තේරෙන්නෙ නෑ.” මහාචාර්‍ය ආශු මාරසිහ කී දේ සියළු දෙනා අනුමත කළහ.

“ඊයෙ පෙරේදා දයාසිරි ඇතුළු ශ්‍රීලනිප කණ්ඩායමකුයි එජාපෙ ඇමතිවරු පිරිසකුයි රහස් සාකච්ඡා තියලා ජනාධිපතිගේ අනාගතය බේරාගැනීමේ උත්සාහයක් කරල කියලත් ආරංචියි. ඒ එක්කම ජපුර රෝහල ලග සුපිරි තට්ටු නිවාසයක තවත් රහස් සාකච්ඡා වගයක් ගිහින් තියෙනවා. ඒ ගැන විස්තර මම අගමැතිතුමාට පුද්ගලිකව කියන්නම්.” එජාප නීති නිළධාරියා කීය.

“සජිත් ඇමතිතුමා ඇතුළු මේ ආණ්ඩුව දාගැබ් 1126 ක් දහම් පාසැල් ගොඩනැගිලි 815 ක් හදද්දිත් හා පන්සල් දහස් ගාණක් වැඩිදියුණු කරද්දිත් බුදුදහම අනතුරේ කියලා සුළු පිරිසක් කෑ ගහනවා. රාජපක්ෂ ආණ්ඩුවෙන් නිවන් යන්න වාහන 7,8 ගත්ත, කෝටි ප්‍රකෝටි ගණන් බිස්නස් කරගත්ත, පිටරටින් ඩොලර් මළු පූජාවට ලබාගත්ත, පන්සිල් පද 5 වත් පේලියට කියන්න බැරි සිවුරුධාරීන් තමයි වරප්‍රසාද නැති කමට අද මේ කෑගහන්නේ” එජාප ඉහළ නිළධාරියෙක් කීය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *