ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නැයි යළි වරෙන්තු

අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මෙන්ම ඔහුගේ බිරිඳ සහ ඇයගේ ඥාති සොහොයුරිය අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක අද යළිත් විවෘත වරෙන්තු නිකුත් කළේ ය.

අධිකරණයේ අවසරය පරිදි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වූ එම සැකකරු මෙන්ම ඔහුගේ ඇපකාරියන් වන ඔහුගේ බිරිඳ සහ ඥාති සොහොයුරිය ද විදෙස්ගත වී ඇති බවත් නැවත පැමිණ අධිකරණයට ඉදිරිපත් වන ලෙසට දන්වා අධිකරණය විසින් කළ නියෝගවලට පවා ඔවුන් අවනත වී නොමැති බව පෙන්වා දෙමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ දැනුම් දීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ ය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගනු ලැබුවේ, අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා රජයට අයත් අමෙරිකානු ඩොලර් 132,000ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමිනි.

ඒ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය නොවැම්බර් 05 වන දා අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට එහිදී නියෝග කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *