බොදුබලය සහ ෆාතිමා – සිරිසේන රාජපක්ෂ

සිංහල  තරුණයකු සමග විවාහ වීම හේතුවෙන් ගමේ මුස්ලිම් පල්ලියෙන් සහ ගමේ අසල් වැසියන්ගෙන් තමාටත් තම සැමියාටත් දරුවන්ටත් තාඩන පීඩන එල්ල වන බව බණ්ඩාරගම අටලුගම අබ්දුල් හසන් ෆාතිමා  නැමැති  කාන්තාව මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියාය.

ඇගේ එම  ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම සමාජගත කරන්නට වේදිකාව සපයා තිබුණේ බොදු බල සේනා නායක ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව විසිනි.  ඥානසාර ඇතුළු බොහෝ බෞද්ධ මූලධර්මවාදීන් මුස්ලිම්වරුන්ට සහ ඉස්ලාම් ආගමට එරෙහිව කරුණු සොයමින් සිටින සහ එවැනි කරුණු ඔස්සේ සිංහල බෞද්ධ ජනතාව මුස්ලිම්වරුන්ට විරුද්ධව ක්‍රියාත්මක කරවීමට උත්සාහ දරමින් සිටින යුගයක වුවද ෆාතිමා පවසන කතාව  පිළිබඳ අවධානය යොමු විය යුතුව තිබේ.

ෆාතිමා  හෙළිදරව් කරන කරුණු සත්‍යය නම් ඒ පිටුපස  සැඟවුණු තවත් කාරණා දාමයක් තිබේ.  මූලිකව වශයෙන් එතැනදී  දී පැන නැගෙන්නේ මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නයකි.  මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කවර ස්ත්‍රීයකට පුරුෂයෙකුට වුවද තමන් කැමති අයෙකු සමග විවාහ වී කැමති ආකාරයට කැමති තැනක ජීවත්වීමට අයිතිය තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  අනුව විවාහ වීම සඳහා සපුරා තිබිය යුතු එකම කොන්දේසිය වන්නේ නියමිත වයස සපුරා තිබීම පමණි.

ෆාතිමා කියන ආකාරයට මුස්ලිම් පිරිසක් ඇගේ නිවෙසට කඩා පැන පිහියක් ගෙලට තබා සිංහල කොල්ලෙක් බැන්දේ ඇයි කියා අසා තිබේ. එපමණක් නොව දෙදෙනාට ගමෙන් පිට වන ලෙස තර්ජනය කර තිබේ.  ගමේ ජීවත්වන්නට නම්  මුස්ලිම් පිරිස ඉදිරිපත් කර ඇති කොන්දේසිය වන්නේ ස්වාමිපුරුෂයා ඉස්ලාම් ආගමට හරවා ගන්න යන්නය.   සිය සැමියා ඉස්ලාම් ආගමට හැරීමට අකමැති වූ බවත්  ඔහුගේ කැමැත්තෙන් තොරව ඔහු ඉස්ලාම් ආගමට හරවා ගැනීමට තමන් ද අකමැති  වූ බවත් ඇය කියයි.  දරුවා ලැබුණු පසුව ඇය හෝ දරුවා බැලීමට සැමියාට නිවසට ඒමට මුස්ලිම් ජාතිකයන් ඉඩ නොදුන් බවද ඇය කියන්නීය.  මුස්ලිම් ජාතිකයන් තම සැමියා මරන්නට උත්සාහ කළ බවද තමා පල්ලියට රැගෙන ගොස් කණුවක  ගැට ගසා මරන්නට උත්සාහයක් තිබූ බව තමා දැන ගත් බව ද ඇය කියයි.
ඇය වැඩිදුරටත් කියන්නේ තමාගේ නිවසේ දොර කඩා ඇතුළු වී මුස්ලිම් ජාතිකයන් තමාට පහර දුන් බවය.  ඇදුම් ඉරා  දැමූ බවය.  අඬමින් වඳිත්දී  නිවසින් එළියට ඇද ගත් බව ය.  ගල් ගසමින් පාර දිගේ ඇදගෙන ගිය බවය.  පොලිසියද ක්‍රියාමාර්ගයක් නොගත් බවය.  පොලිසිය ඇය බේරා ගැනීමට ක්‍රියා කළේ බිම  ඇදගෙන යද්දී පමණක් බවය. එතෙක්  පොලීසිය නිහඬව සිටි බවය.  අදාල තැනැත්තන්ට නීතිය ක්‍රියාත්මක කරනු වෙනුවට කරදරවලින් බේරී ඉන්න ට අවශ්‍ය නම් වෙන ගමකට ගොස් ජීවත් වන ලෙස පොලීසිය උපදෙස් දුන් බව ය.

මෙයට අවුරුදු 10 – 15 කට පමණ පෙර බේරුවල ප්‍රදේශයේ මුස්ලිම් තරුණියක සිංහල තරුණයකු සමග විවාහ වූ බැවින් පල්ලිය අසල සුසාන භූමියේ වළක් කපා ඇය ඒ වලෙහි සිටුවා තරමක පස් දමා  පොල් පිත්තකින් ඇගේ හිසට වාර 80 ක්  හිසට ගැසූ බවද ඇය වැඩිදුරටත් කියන්නීය.

ඉහත කරුණු අනුව ඇය පවසන්නේ සත්‍යයක් නම් ඉස්ලාම් ආගමික මුස්ලිම් ජනතාව ද සමස්ත ලාංකික ජනතාවද  ඒ පිළිබඳ වහා අවධානය යොමු කළ යුතුව ඇත.  විශේෂයෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීම භාරව කටයුතු කරන පොලීසිය ආදී ආයතනත්  මානව හිමිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වන මානව හිමිකම් කොමිසම සහ මානව හිමිකම් සංවිධාන ඇගේ ප්‍රකාශය පිළිබඳ කඩිනමින් ක්‍රියාත්මක විය යුතුය.  එසේම අදාළ වරදට සම්බන්ධ අයවලුන් පිළිබඳ සොයා බලා ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.
මෙරට මුස්ලිම් සමාජයේ වැසුණු කොටසක් පවතින බව පිළිගත් යුතු සත්‍යයකි.  ඉන් එක් බරපතලම කරුණක් වන්නේ ස්ත්‍රී සුන්නත හෙවත් කාන්තා ලිංග ඡේදනය මෙරට මුස්ලිම් සමාජය තුළ රහසිගතව  ක්‍රියාත්මක වන බවයි. බෝරා  මරක්කල සහ මැලේ ජාතික ජන කොටස් අතර ස්ත්‍රී ලිංග ඡේදනය  ක්‍රියාත්මක වන නමුත් ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ සාකච්ඡාවක් මෙතෙක් සමාජයේ ඇතිවී නැත.  ලිංග ඡේදනය ට විරුද්ධව ප්‍රසිද්ධියේ අදහස් දක්වන කාන්තාවන් සහ පිරිමින් ද සිටින නමුත් ඔවුන්ගේ අදහස් වලට  ලැබිය යුතු වටිනාකම මුස්ලිම් සහ අනෙකුත් ජන කොටස්වලින් ලැබී නැත. ඇතැම් කාන්තාවන් තමන්ට සිදුවූ අසාධාරණය ක්‍රියාව ගැන නමින් පෙනිහිද  කතාකරන්නටවත්  ඉදිරිපත් නොවීම මගින් පෙනෙන්නේ මුස්ලිම් සමාජයේ පුරුෂ මූලික පීඩනය කොතරම් ද යන්න ය.

බණ්ඩාරගම අටලුගම අබ්දු හසන් ෆාතිමා  හෙළිදරව් කරන තවත් කරුණක් වන්නේ තම එකොළොස් හැවිරිදි බාල වයස්කාර දියණිය මුස්ලිම්  ජාතිකයෙකුට විවාහ කර දෙන ලෙස තමාට බලපෑම් වන බවය. ළදරියන්  විවාහ මුස්ලිම් ප්‍රජාව අතර බහුලව සිදුවන බව ඔවුන්ටම වෙන්වූ රහසකි.  නැගෙනහිර පළාත තුළ කොළඹ, මන්නාරම, මුලතිව් දිස්ත්‍රික්ක වලත් අඩු වයස් දැරියන් විවාහ කර දීම  මුස්ලිම් ජනතාව අතර බහුල බව හෙළි වී තිබේ.  මෙකී ළමා දැරියන් විවාහ කර දීමට බලපාන මූලික කරුණ වන්නේ දිළිඳුකම ය.
මුස්ලිම් කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන ඊළඟ කාරණය මුස්ලිම් කසාද සහ දික්කසාද නීතියයි .  ශාෆි මුස්ලිම්  කාන්තාවන්ට තමන්ගේ විවාහ පත්‍රිකාවට අත්සන් කිරීමේ  අයිතිය පවා ඇත්තේ නැත. ෂාෆි මුස්ලිම් තරුණියන්  විවාහ කර දීමේදී ඔවුන්ගේ කැමැත්ත අකමැත්ත  විමසීමක් පවා සිදු නොවේ. ෂාෆි  කතුන්ගේ විවාහයේදී අවශ්‍ය වන්නේ පිරිමි භාරකරුවකුගේ  අත්සන පමණි.

මුස්ලිම් කාන්තාවන් පිඩාවට පත්වන ඊලග කරුණ වන්නේ මුස්ලිම්  පිරිමින් අතර පවතින බහුවිවාහ සිරිතයි.   විවාහක සැමියා වෙනත්  කතුන්සමඟ ජීවත් වන අවස්ථාවට මුහුණ දුන් මුස්ලිම් කතුන්කොතෙකුත් ලංකාවේ සිටිති.  එවැනි ඇතැම් විවාහයක  දරුවන් අසරණ බවට පත්ව ඇත්තේ නීත්‍යානුකූල විවාහයක් නොමැති බැවින් දරුවනට උප්පැන්න සහතිකයක් ද අහිමි බැවිනි. අවම වශයෙන්   දරුවන් පාසලට ඇතුළත් කිරීමට පවා හැකි වන්නේ නැත.

ඊලග කාරණය දික්කසාදයයි . ගෘහස්ථ හිංසනය හෝ වෙනත් කරදරකාරී හැසිරීම් හේතුකොටගෙන දික්කසාදය ඉල්ලා සිටින්නට ෂාෆි මුස්ලිම් කතුනට අයිතිය තිබේ. එහෙත් ඔවුන්ගේ  එම ඉල්ලීම ඉටුකරගැනීමට මුස්ලිම් ප්‍රජාව අතර පවතින පුරුෂ මූලික පීඩනය හේතුවෙන් ලැබෙන අවකාශය අවමය.

හනාෆි  කතුන්ට ගෘහස්ථ හිංසනය නිසා දික්කසාදය ඉල්ලීමට  අයිතියක් ලැබෙන්නෙ නැත. බෝරා කතුනට  කවර හේතුවක් නිසා වත් දික්කසාදය ඉල්ලීමට අවසර ඇත්තේ නැත.  මුස්ලිම් විවාහ හා දික්කසාද පනත යටතේ ඕනෑම වයසක දැරියක් විවාහ කර දීමට හැකියාව තිබීම හේතුවෙන් ඉහත දික්කසාද නීති කාන්තාවන් කෙරෙහි අතිශය අමානුෂික ආකාරයෙන් බලපැවැත්වෙනු ලැබේ.

ඉහත සාකච්ඡා  කරන්නට යෙදුනේ මුස්ලිම් සමාජය තුළ ඇත්ත වශයෙන්ම පවතින එහෙත් බෞද්ධ සමාජයට හෙළිදරව් වී නොමැති මානව හිමිකම් සහ කාන්තා අයිතිය පිළිබද ගැටළු සමුහයකි.   මුස්ලිම් පිරිමියෙකු වෙනත් ආගමික  කතක සමග විවාහ වූ විට බිරිය මුස්ලිම් ආගමට හරවා ගැනීමට බල කෙරෙන බවද මෙහිදී මතකයට ගත යුතුය.

ඉහත ගැටළු සමූහය ඒ ආකාරයෙන්ම සහ ඒ තරමටම බරපතළ ලෙස නොවුණත් බෞද්ධ සහ සිංහල ජනතාව අතරද  පවතින බව මොහොතකට මතක් කරගත යුතුය.  සිංහල දෙමළ ජනතාව අතර විවාහ වලදී  කුලය නමැති සාධකය බලපානු ලබන බව කවුරුත් දන්නා කරුණකි.  එසේම මුස්ලිම් හෝ දෙමළ විවාහයක් කර ගනු ලබන සිංහලයකු කෙරෙහි අවශශේෂ සිංහලයන දක්වනු  ලබන්නේ මිතුරු ආකල්පයක් නොවේ.  ඇතැම් විට එවැනි තැනැත්තෙකු සිංහලයන් අතර කොන්කර සැලකීමට බඳුන් වන්නට සිදු වන අවස්ථාද තිබේ.

බණ්ඩාරගම අටලුගම අබ්දුල් හසන් ෆාතිමා හයිෆා  කියන්නේ තම අසල්වැසියන්  වැඩි පිරිස 5  ශ්‍රේණිය දක්වා වත් අධ්‍යාපනය ලබා නැති අය බවය.  පහත් අධ්‍යාපන මට්ටමද මිනිස්සුන්ගේ ආවේග බහුල බවටත් පහත් හැසිරීමටත් හේතුවක් වේ.

බාලවයස්කාර මුස්ලිම් දැරියන් විවාහ කරදීමට බලපාන හේතුව වන්නේ දරිද්‍රතාව නම් දරිද්‍රතාව  නැති කිරීමට කටයුතු කිරීමෙන් මුස්ලිම් ළදැරියන් විවාහ කර දීමට හේතුවක් නැති කළ හැකිය.  හේතුව නැති කළ විට ඵලය ඉබේම අහෝසි  වේ.

ඊළඟ කාරණය මුස්ලිම් සමාජයේ පවතින පසුගාමී ගතානුගතික ලක්ෂණ අකා මකා දැමීම සඳහා දැනුවත්ව  කටයුතු කිරීම්ය. ISIS  වැනි අන්තවාදී කණ්ඩායම්  හැඳින්වීම්ට බටහිර  යොදාගනු ලබන වචනය වන්නේ රැඩිකල්කරණය වූ ඉස්ලාම් භක්තිකයන් යන්නය.   ඇත්ත වශයෙන්ම ISIS වැන්නන් යනු කෙසේ වෙතත් රැඩිකල් මත දරන්නන් නොවේ.  ඔවුන් වනාහි කුරානයෙනුත්  එපිට පසුගාමී ගතානුගතික මතයක් හිසින් ගත් ගෝත්‍රවාදී  නොදියුණු මිනිසුන් කොටසකි. බණ්ඩාරගම අටලුගම අබ්දුල් හසන් ෆාතිමා හයිෆාට  ගොදුරු වන්නට සිදුව ඇත්තේ එවැනිම පසුගාමී ගෝත්‍රික පිරිසකගේ පීඩනයකට ය.

වෙනත් ජාතිකයෙකු සමග විවාහ වූ ලංකාවේ එකම කතා අටලුගම ෆාතිමා  හයිෆා නොවේ.  එසේ විවාහ වී ගැටලුවකින් තොරව ජීවත්වන ස්ත්‍රී පුරුෂයන් ද සිටින බව මෙහිදී අමතක කළයුතු නැත.  කෙසේ වෙතත් මෙරට මුස්ලිම් සමාජය පවතිනවාට වඩා ඉදිරිගාමී සහ නූතන කරණයට ලක් විය යුතුය.  එහිදී ඔවුනට සුන්නත් කිරිම් විවාහ දික්කසාද නීති, ළමා විවාහ පිළිබඳ ආදී කරුණු ගැන අලුතින් සිතන්නට සිදු වනු ඇත.

එම කටයුත්තේ දී පෙරමුණ ගත යුතුය වන්නේ ආණ්ඩුවය . ඉහත කරුණු   පිළිබඳව අවධානය යොමුකර එම තත්ත්වය මග හැරවීමට ප්‍රතිපත්ති  සම්පාදනය  ආණ්ඩුවේ  විශේෂයෙන්ම රජයේ වගකීමකි.  ඒ සඳහා මුස්ලිම් බුද්ධිමතුන් සමාජ ක්‍රියාකාරිකයන් දේශපාලනඥයන් පියවර ගතයුතුව තිබේ.

වෙනත් ආගමක  අයෙකු සමග විවාහ වූ විට වෙනස්කොට සැලකීම හින්දුන් ද කිතුනුවන් ද බෞද්ධයන් ද කරන්නක්  බව තේරුම් ගැනීම බෞද්ධයාගේ යුතුකමය.  එවිට මුස්ලිම් සමාජයේ අඩුපාඩු දඩමීමා කරගෙන සිංහලයා  මුස්ලිමානයාට  එරෙහිව ක්‍රියාත්මක වීමට ඉඩ නොලැබෙනු ඇත.  ගලගොඩඅත්තේ එවැන්නන්ගේ වැඩි කැමැත්ත වනු ඇත්තේ මුස්ලිම් සමාජයේ අඩුපාඩු මත මුස්ලිම් විරෝධයක් අවුලුවා ලීම  විය හැකිය.  ඊට ඉඩ දීම යනු  සිංහල දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී වශයෙන්  වන සියලු ශ්‍රී ලාංකිකයන්ගේම විනාශය වනු ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *