අයි.සී.සී.පී.ආර් මොවුන්ට නැද්ද ? – සම්පත් අමරසිංහ

මෑත  ලාංකේය ඉතිහාසයේ පැවැති ගෝත්‍රවාදීතම කල්ලි ගැසීම  පසුගියදා නුගේගොඩදී පැවැත්වුණු  බව කියන්නට පුළුවන. එම කල්ලි  ගැසීම  සංවිධානය කර තිබුණේ “වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය” නමින් පෙනී සිටින කණ්ඩායමක් විසිනි.මෙරට  මේ වන විට පවතින තත්ත්වය අනුව  ඕනෑම කෙනෙකුට හෝ පුද්ගලයන් කිහිප දෙනෙකුට මහා බලයක් මෙන් පෙනී සිටින්නට පුළුවන. ඒ සඳහා අවශ්‍ය වන්නේ අලෙවි කළ හැකි ආකාරයේ නමක් සහිත බැනර් කිහිපයක් පමණි. ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් වැඩකරන එළිය ආදී වශයෙන් වන රංචු ගැසීම් කිහිපයක් මේ වන විට පවතී. එම  රංචු ගැසීම් වල මූලික අභිමතාර්ථය වන්නේ ජනතාව අතර විවිධ භීතිකා මවා තමන්ගේ දේශපාලන ඉලක්ක සපුරා ගැනීමට උත්සාහ කිරීමය.

අප්‍රේල් 21 ප්‍රහාරය හේතුවෙන් ගෝඨාභය පිම්බීමේ යෙදී සිටින වර්ගවාදී ගෝත්‍රවාදී කල්ලි වලට යහපත් වටපිටාවක් ගොඩ නැගී ඇතැයි එම කල්ලි කල්පනා කරති. ඉස්ලාම් අන්තවාදී ක්‍රියාකාරකම් උපරිම ආකාරයෙන් මැඩ පවත්වා ඇතැයි හමුදා ප්‍රධානීන් බුද්ධි අංශ ප්‍රධානීන්, පොලිසිය, රහස් පොලීසිය පවා කියද්දි ඉහත කී වර්ගවාදීන් නැති භීතිකාවක් මවාපාමින් මුස්ලිම් විරෝධයක් රටතුළ ගොඩනඟා බලයට ඒමට උත්සාහ දරමින් සිටින්නේ පාස්කු ප්‍රහාරය උපයෝගී කර ගනිමිනි.

ඉහත සඳහන් කළ නුගේගොඩ කල්ලි ගැසීම (රැලිය  රැස්වීම් වැනි වචනවලින් එවැනි ක්‍රියා පිළිවෙත් හැඳින්විය නොහැක්කේ  ඒවා බාල  අරමුණ පෙරදැරි කරගත්  රංචු ගැසීම බැවිනි) සම්බන්ධ වී සිටි පිරිස අනුව බලන කල සැකයකින් තොරව ඔප්පු වන්නේ එය පොහොට්ටු වාදීන්ට වෙනත්  නමකින් කල ස්වයං  ‌‌භෞතිස්ම වීමක් බවයි. එයට එක්වී සිටි සරත් වීරසේකර ඉඳුරාගාරේ ධම්මරතන, මැදගොඩ අබේතිස්ස, විමල් වීරවංශ, මාදුරුඔය ධම්මිස්සර, චන්න ජයසුමන, මධුමාධව අරවින්ද, ආදීන්ගෙන් ම ඒ බව  පැහැදිලි වේ.

ගැටලුව  ඇත්තේ ඔවුන්ගේ රංචු ගැසීම තුළ නොවේ. ඒ රංචු ගැසීම  මගින් ඔවුන් රටට කරන්නට උත්සාහ කරන විනාශය පිළිබඳවය. එදා නුගේගොඩදී කළ කතා සියල්ල කිසිදු සැකයකින් තොරව වෛරී ප්‍රකාශන ලෙස හඳුනා ගත හැකිය. එහිදී කතා කළ සියලුම දෙනා උත්සාහ කර තිබුණේ මුස්ලිම් ජනතාවට විරුද්ධව සිංහල ජනතාව අවුස්සා තබන්නටය. නිදර්ශනයක් වශයෙන් මැදගොඩ අබේතිස්ස( ඔහු හඳුන්වන්නට යොදා ගනු ලබන මහාචාර්ය යන තනතුරු නාමය සහ හිමි යන ගෞරව නාම  මෙහිදී  භාවිතා නොකරන්නේ හිතාමතා ය. හේතුව මැදගොඩ අබේතිස්ස යනු මහාචාර්ය සරත් සරච්චන්ද්‍ර මහාචාර්ය සුචරිත ගම්ලත් පන්නයේ  බුද්ධිමතෙකු නොවේ. නාමධාරි මහාචාර්ය පමණක් බව ලේඛකයාගේ පිළිගැනීම් වන බැවිනි. හිමි යන යෙදුම ඔහුට අකැප වන්නේ හෙතෙම  ශික්ෂාකාමී භික්ෂු පරපුරට නිගා කරමින් හා මෙත් කරුණා මුදිතා පෙරදැරි කරගත් බෞද්ධ දර්ශනය වෙනුවට වෙනත් ආකාරයක බඩ වඩා ගැනීමේ සූත්‍රයක්  දෙසා වදාරමින්  සිටින බැවිනි. ඉහත කණ්ඩායමේ අනෙකුත් චීවරධාරීන් ට ද ඉහත මතය වලංගුය.) ඉහත රංචු ගැසීම් හමුවේ කතා කරමින් කියා තිබුණේ එක්තරා අන්තවාදී මුස්ලිම් පල්ලියක් ෂරීයා නීතිය  මෙරට දී ක්‍රියාත්මක කරමින් පුද්ගලයන් විසි දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති බවට කාත්තන්කුඩි ප්‍රදේශයේ  මුස්ලිම් පුද්ගලයෙකු මානව හිමිකම් කොමිසම්ට පැමිණිලි කර ඇති බව ය. මෙලෙස ශාරියා නීතිය  ක්‍රියාත්මක කර ඇත්තේ මෙරට අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් බව කියන ඔහු අදාළ  මුස්ලිම් කණ්ඩායම් පිළිබඳ තොරතුරු තමන් සතුව ඇති බවද කියා තිබුනි. අවශ්‍ය නම් අදාළ තොරතුරු විමර්ශන කටයුතු සඳහා බුද්ධි අංශ සහ අපරාධ විමර්ශන අංශයට ලබාදීමට සූදානම් බවද ඔහු කියා තිබුනි.

ඉහත ප්‍රකාශය අනුව මතුවන ගැටලුව වන්නේ පුද්ගලයන් විසි දෙනකු ඝාතනය කර ඇත්නම් පොලීසියේ අපරාධ විමර්ශන අංශය වැනි ආයතනවලට දැනුම් නොදී අදාළ තැනැත්තා එය  මානව හිමිකම් කොමිසමට පැමිණිලි කලේ  මන්ද යන්නය. ගැටලුව එතරම් බරපතළ තොරතුරක් මානව හිමිකම් කොමිසමට ලැබී තිබියදී එය ප්‍රචාරය නොවූයේ මන්ද යන්නය.

මැදගොඩ  අබේතිස්ස කියන්නේ ෂරියා නීතිය ක්‍රියාත්මක කළ අන්තවාදී මුස්ලිම් සංවිධාන ගැන තොරතුරු තමා සතුව ඇති බව හා අවශ්‍ය නම් එම තොරතුරු විමර්ශන කටයුතු සඳහා බුද්ධි අංශ සහ අපරාධ විමර්ශන අංශ වලට ලබාදිය හැකි බවය. ඉහත ප්‍රකාශ අනුව පෙනෙන්නේ  යම් අපරාධ කල්ලියක් පිළිබඳ තොරතුරු දැන සිටිය දී මැදගොඩ අබේතිස්ස එය අපරාධ විමර්ශන අංශ වලට නොදන්වා සිට ඇති බව ය. අපරාධ කල්ලියක් පිළිබඳ තොරතුරු වසන් කිරීම අනුමත කළ නොහැකි වරදකි.

බොරු බේගල් වලින් රැස්ව සිටි උන්ගේ  කන් පිරවූ   අවස්ථාවක් වශයෙන් ද ඉහත කී නුගේගොඩ කල්ලි ගැසීම සඳහන් කළ හැකිය.  නිදසුනක් වශයෙන් සරත් වීරසේකර එහිදී කියා තිබුණේ වත්මන්  රජය  බුද්ධි අංශ හමුදා නිලධාරීන් හිරේ දැම්මා,බුද්ධි අංශ අඩපන කළා ආදී වශයෙනි.

මුලින්ම කිව යුත්තේ වත්මන් ආණ්ඩුව යටතේ හිරේ දමා නොව අත්අඩංගුවට ගෙන ඇත්තේ බුද්ධි අංශයේ හමුදා නිලධාරීන් නොව නිල ඇඳුමට මුවා වී වංචා දූෂණ අපරාධ මිනීමැරුම් කළ අපරාධකාරයන් බවයි. ඔවුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව සරත් වීරසේකරලාට  ඇති රුදාවට  හේතුව ඔවුන් අපරාධ කර ඇත්තේ සරත් වීරසේකරගේ හාම්පුතුන් වෙනුවෙන් වීම නිසාය. ඒ හැරෙන්නට ඉහත අපරාධකාරයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රටේ යහපාලනය බලාපොරොත්තු වන පොදු ජනතාවට ගැටළුවක් නැත.  එම ජනතාවට ගැටලුව ඇත්තේ යහපාලනය විසින් අදාළ තැනැත්තාට නිසි නඩු විභාගයකින් පසුව නිසි දඬුවම් පැමිණවීමට කටයුතු නොකිරීම සම්බන්ධවය .

බුද්ධි අංශ අඩපන කලාය  යන්න  පොහොට්ටුකාරයන්  නිතර කියන  තවත් ගජබින්නාලංකාරයකි. ඔවුන්ගෙන් ඇසිය යුතු පළමු ප්‍රශ්නය වන්නේ බුද්ධි අංශ අඩපණ නම් පාස්කු ප්‍රහාරය පිළිබඳ කලින් වාර්තා වූයේ කෙසේ ද යන්න ය. පාස්කු ප්‍රහාරය වළක්වාගත නොහැකි වූයේ බුද්ධි අංශ, ආරක්ෂක අංශ දුර්වල වූ නිසා නොව මේ වන විට සරත්  වීරසේකරලාට  හිතවත්ව කටයුතු කරන ආරක්ෂක බලධාරියා  වන ජනාධිපතිවරයා බුද්ධි අංශ ලබාදුන් තොරතුරු වන ක්‍රියාත්මක නොවීම නිසාය.

ඔවුන්ගේ කාලයේ බුද්ධි අංශය පහ හත  දක්වා වැඩි කළ බව ද සරත් වීරසේකර කියා තිබුණ. ඔවුන්ගේ කාලයේ බුද්ධි අංශ ගැන සරත් වීරසේකර කොතෙක් කයිවාරු ගැසුව ද ඔවුන්ගේ ලොක්කා ගෝඨාභයගෙ  දෙපා ළඟ බෝම්බය පිපිරෙන තුරු  බුද්ධි අංශ නොදැන සිටි බවද මතක් කල යුතුය. එසේම යුද හමුදාපතිවරයා මෑතකදී ප්‍රකාශ කර තිබුණේ නිලධාරීන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් පමණින් බුද්ධි අංශ අඩපණ  වන බවක්  පිළිගත නොහැකි බවයි. ක්‍රියාන්විත රාජකාරියේ අත්දැකීම් බහුල නිලධාරියෙක් වන යුද හමුදාපතිවරයාට තේරෙන සත්‍ය සරත් වීරසේකර ලාට අවබෝධ නොවන්නේ නම් ඒ ඔවුන්ගේ බුද්ධිය පිළිබඳ ප්‍රශ්නයකි

ඉඳුරාගාරේ ධම්මරතන කියා තිබුණේ පාසල් පෙළපොත් වල  11 ශ්‍රේණිය පොතේ 2007 සංස්කරණයය ඉස්ලාම් ආගම අදහන්නේ නැති අය මරන්න උගන්වනවා. ඒ වගෙන්  තමයි සහරන්ලා  බිහිවෙන්නේ . එහෙම නොවෙනවා නම් ඒක නිවැරදි කළ යුත්තේ ඉස්ලාම් දහමේ අය කියායි.

පාසල් පෙළපොත් තුළ එවැනි දේ  ඇති බව මුලින් ම පෙන්වා දුන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ  පාර්ලිමේන්තු කමිටුව හමුවේ සාක්ෂි දුන්  මුස්ලිම් නියෝජිතයකු බව ඉඳුරාගාරේ  කියන්නේ  නැත. ඒ  එසේ කීම ඔවුන්ට අවාසිදායක බැවිනි.  අනෙක පාසල් පෙල පොතේ  2007 සංස්කරණයේ එවැන්නක් ඇත්නම් ස්ටේජ් වල කැගහනවට වඩා කළ යුත්තේ එකල හිටපු ලොක්කා සහ  ඉඳුරාගාරේලගෙ වහල් හිමියා වන මහින්ද රාජපක්ෂටත්, එකල අධ්‍යාපන ඇමතිලාටත් එම වරදේ  වගකීම පැවරීම ය.

මධුමාධව අරවින්ද එහිදී කළ ප්‍රකාශයක් මෙසේය “1817 හජ්ජි මරික්කාර් සිට මුස්ලිම්වරුන් අපි අත්හැරියා. සෙනරත් රජු නැගෙනහිර පදිංචි කල 4000 දැන්  ලක්ෂ පහ පැනලා.  ඒ සිංහලයෝ ඔවුන්  අතහැරියේ නැහැ. ඒත් දැන් සිංහලේ කකියන්න පටන් අරන්”  මධුමාධව අරවින්ද පමණක් නොව ඒ සියල්ල කර  තිබුණේ රත් වෙන කතාය.  2007 අංක 56 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ  කෙටිකතා කරුවන්ටත් නැව් සුක්කානම  මුද්‍රණය කර තිබූ ඇඳුම් ඇඳගත් කාන්තාවන්ටත්, තීරු ලිපි රචක යන්ටත් නඩු පවරන පොලිසිය ඉහත පුද්ගලයන්ගේ වෛරී  ප්‍රකාශන හමුවේ මුනිවත රැකීම පුදුමසහගතය.  එසේම මෙරට සාමකාමී සහජීවනය අගය  කරන යම් පිරිසක් වේ නම් ඔවුන් මෙකී කල්ලියට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරවීමට කඩිනම් විය යුතුය. කෙටිකතා කරුවන්ටත් තීරු ලිපි රචකයාටත්  ICCPR පනත යටතේ නඩු පැවරීම් පිටුපස ක්‍රියාත්මක වන්නේද පොහොට්ටු කල්ලියේ  අවතාර ම වන බැවිනි.

ඊළඟ කාරණය  මදුමාධවගේ ලේ රත් වී ඇත්තේ කුමක්  නිසාද යන්නය.  එක්නැලිගොඩලා ලසන්ත වික්‍රමතුංගලා වෙනුවෙන් රත් නොවූ  රතුපස්වලදී, කටුනායකදී, මීගමුවේ දී මිනිසුන් ඝාතනය වන විට  රත් නොවුණු  ඔවුන්ගේ ලේ දැන් රත් වී ඇත්තේ ජනතා දේපළ ගසා කමින් ගෙන ගිය රාජපක්ෂ රෙජිමය යටතේ ඔවුනට සුප්පන්නට  ලැබුන මස් කටු,  යහපාලනය  යටතේ නොලැබීයාම නිසා බව ජනතාව තේරුම් ගත යුතුය

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *