ගාමීණී සෙනරත් ඇතුළු තිදෙනෙකුට එරෙහි ලිට්‍රෝ ගෑස් නඩුවේ තීන්දුව අගෝස්තු 8

පසුගිය රජය සමයේ හිටපු ජනාධිපති කාර්ය  මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු විසින් ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට එල්ල වී ඇති චෝදනාවලට අදාල නඩුවේ තීන්දුව ලබන අගෝස්තු මස 8 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද(09) දන්වා තිබේ.

සිද්ධියට අදාල නඩුව අද කැඳවූ අවස්ථාවේ දෙපාර්ශ්වයේ නීතීඥවරුන් විසින් නඩුවට අදාල ලිඛිත දේශන භාරදී ඇති අතර වැඩිදුරටත් ලිඛිත දේශන තිබේනම් ඒවා ලබන 12 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා තිබේ.

නඩුව සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කැඳවා තිබිණි.

2014 වසරේ පෙබරවාරි මස 01 වනදා 2015 වසරේ ජනවාරි මස 19 දක්වා කාලසීමාව තුළ ලිට්රෝ ගෑස් සමාගමට රුපියල් මිලියන 500ක මුදලක් කැන්විල් හෝල්ඩිං සමාගම හරහා හෙලන්කෝ හොටෙල් ඇන්ඩ් ස්පා  සමාගමේ ආයෝජනය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිවු දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබිණි.

සිද්ධියට අදාල නඩු විභාගය අවසන්වීමෙන් පසු නීල් බණ්ඩාර හපුහින්න නැමති විත්තිකරු විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය පසුගිය දා නියෝග කළේය.

අනතුරුව ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගේ සහ ලසන්ත බණ්ඩාර යන විත්තිකරුවන් තිදෙනාට එරෙහිව මෙම නඩු විභාගය පැවැත්වේ.

Lanka truth

Leave a Reply

Your email address will not be published. Required fields are marked *