මිනීමැරුම් චෝදනා ප්‍රතික්ෂේපයි ; පොලිස්පති පුජිතට සහ හිටපු ආරක්ෂක ‌ලේකම් හේමසිරිට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්දනගර ගතකොට සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(09) නියෝග කර තිබේ. ඔවුන්ට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කොට තිබු මිනීමැරුම් චෝදනා සදහා ප්‍රමාණවත් සාක්ෂි නැතැයි කියූ මහේස්ත්‍රාත් තුමිය එම චෝදනා ප්‍රතික්ෂේප කළේය .

පාස්කු ප්‍රහාරය සම්බන්ධ සිදුවීම්වලදී සිය රාජකාරීමය වගකීම් සාපරාධී පැහැරහැරීමට ලක්කර ඇතැයි නීතිපතිවරයා විසින් සිදුකළ දැනුම්දීමකට අනුව හිටපු ආරක්ෂක ලේකම්ට හා පොලිස්පතිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි වැඩබලන පොලිස්පතිවරයා විසින් පසුගිය 2 වැනිදා දැනුම්දීමක් සිදුකළ අතර ඉන්පසු හදිසි අසනීප තත්ව බව පවසමින් ඔවුන් රෝහල් ගතව සිටියේය. පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව ඔවුන් ජූලි මස 3 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද(09) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අධිකරණය නියෝග කළේය.

සිද්ධියට අදාල නඩුව අද කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර ඇත්තේ රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත සැකකරුවන් මුදා හරින ලෙසය.

එම තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර ඔවුන්ට එරෙහි චෝදනා පිළිබඳ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දීර්ඝ පැහැදිලි කිරීමක් කළාය.

ඇය එහිදී ප්‍රකාශ කළේ, නීතිපතිවරයා විසින් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්ති ප්‍රකාරව ගොනු කර ඇති මිනීමැරීම් චෝදනා පදනම් විරහිත බවය.

“පොලිසිය ඉල්ලා සිටින නිසා ම හෝ වෙනත් පාර්ශවයක මන දොළ සපුරාලීමට යමෙකු බන්ධනාගාරගත කළ නොහැකි,” බව හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකගේ අධිකරණ වාර්තාවක් උපුටා දක්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නේ, අදාළ රජයේ නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන්ගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කර ගැනීමෙන් තොරව බවය.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද පරීක්ෂණ මණ්ඩලයක වාර්තාවක් පදනම් කරගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම පරීක්ෂණ මණ්ඩල වාර්තාව නීතිමය වාර්තාවක් නොවන බවත් ඇය පෙන්වා දුන්නාය.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම මේ දෙදෙනාට පවරා අත සෝදා ගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උත්සාහය බවට විවේචන එල්ල වී ඇත . මේ දෙදෙනා අධිකරණය මගින් මෙලෙස මුදාහැරිම ජනාධිපතිගේ උත්සාහයට වැදුණු මරු  පහරක් බව කියති . 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *