මේ ජනාධිපතිට තියෙන බලය ඉදිරියේ පත්වන ජනාධිපතිට නෑ – එතකොට 19යෙ පශ්නය ඉවරවේවි – ජාතික සාම මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙහාන් පෙරේරා

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුව මගින් ඊයේ (04) රාජගිරියේ දී පැවැත් වූ මාධ්‍ය හමුවකදීය.

ඇයි අපි 19 වන සංශෝධනය රටට ගෙනාවේ. සියලුදෙනාම ඒක රටට ගෙනාවා. ඒකට හේතුව වුණේ පෙර තිබුණු ආණ්ඩු කාලේ අපි දැක්කා, 18 වන සංශෝධනයේ තියෙන අඩුපාඩු. ඒකක් නම් ඒ සංශෝධනය යටතේ එක පුද්ගලයකුට, ජනාධිපතිතුමාට විශාල බලතල එක්රැස් වුණා. ඒකෙන් අපේ ආයතනවල ස්වාධීන්ත්වය අඩු වුණා. ඒකෙන් වැරැදි පැත්තට අපේ රට යනවා නම්, එක නවත්වන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා තමයි ඒ කාලෙදි මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ලොකු බයක් තිබුණෙ. අපි අපේ ජීවිත ගැන හුඟක් බය වුණා. හැම මට්ටමේම. ඉහළ මට්ටමේ විතරක් නෙමෙයි. පහළ මට්ටමට යනකොට එතනත් ඒකාධිපති වරුන් ඉන්නවා. උඩ මට්ටමේ තියෙන බලතල ඒ ගොල්ලන්ටත් තිබුණා. මුළු සමාජයම බයෙන් හිටියෙ. ඒ නිසා තමයි 19 වෙනි සංශෝධනයට ආවේ.

19 වන සංශෝධනය ජනාධිපතිතුමාගේ බලතල අඩු කළා, ඒ වගේම ස්වාධීන ආයතනවල බලය වැඩි කළා. ඒ නිසා යම් බලතුලනයක් අපේ රට තුළ අපි ගේන්න උත්සාහ දැරුවා. මේක හරි ගියේ නැහැ. දැන් අපි කියනවා 19 වන සංශෝධනය නිසා අපේ රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනව. ඇයි? ජනාධිපති ඉන්නවා. අගමැති හා ආණ්ඩුව ඉන්නවා. ඒ දෙන්නා අතර පරස්පර විරෝධකම් නිසා අපේ රටේ ආණ්ඩුවක් නෑ. ගෙනියන්න බෑ. ඇයි ආණ්ඩුවෙ කොටසක් කරන්න හදන දෙය අනෙක් කොටස නවත්වනව.

ඒකට හේතුවක් තියෙනව. මේක සංක්‍රාන්තිය සමයක්. 19 වන සංශෝධනයේ මේ ජනාධිපතිතුමාට විශේෂ බලතල දුන්නා. ඉදිරියේ එන ජනාධිපතිතුමාට ඒවා නැහැ. මේ කාලේයේ මේ ජනාධිපතිතුමාට ඒ බලතල දුන්නේ, 19 වන සංශෝධනයේ නිර්මාතෘවරු හිතුවා, ජනාධිපතිතුමා, අගමැතිතුමා හා එතුමාගේ ආණ්ඩුව අතර මිත්‍රකමක් තියෙයි කියලා. ඒගොල්ලන් එකට වැඩ කරයි කියලා අදහසින් තමයි මේ 19 වන සංශෝධනයේ මේ සංක්‍රාන්තීය සමය ජනාධිපතිතුමාට විශේෂ බලතල දුන්නෙ. නමුත් ඒ සිතුවිල්ල ක්‍රියාවට නැංවුණේ නෑ. අවුරුදු දෙකක් පමණක් ජනාධිපතියි, අගමැතියි එකට වැඩ කළා. දැන් ඒගොල්ලන් එකට වැඩ කරන්නේ නෑ. ඇත්ත, දැන් 19 වන සංශෝධනයේ ලොකු ප්‍රශ්නයක් තියෙනව. නමුත් ඒකට විසඳුම වෙන්නෙ යළිත් 18 ට යන එක නෙවෙයි. විසඳුම ඇති වෙන්නෙ ටික කාලයක් අපි ඉන්න ඕන. මාස හයක් ඉන්න ඕන. මාස හයක් හිටියොත් නව ජනාධිපතිවරයෙක් පත්වෙයි. ඒ ජනාධිපතිවරයට මේ ජනාධිපතිට තියෙන බලතල අහිමි වෙනවා. ඒක වෙනත් ක්‍රමයකට අපි යනව. ඒ ක්‍රමයෙදි පාර්ලිමේන්තුවට හා අගමැතිතුමාට තමයි බලය එන්නෙ. අද තියෙන ප්‍රශ්න ඉදිරියෙ ඇති වෙන්නෙ නැහැ. මම හිතනවා, අපේ අතීතය දිහා බල‍නකොට එක පුද්ගලයෙකුට සියලු බලතල දෙන එක ඉතාමත්ම භයානකයි. අයහපත් දෙයක්. මම හිතනවා, වැඩිය හොඳයි අගමැතිතුමා ඇතුළු පාර්ලිමේන්තුවට බලතල ලැබීම වැඩිය හොඳයි කියල රටට.

ඒක තමයි පළවෙනි අදහස මගෙ. දෙවෙනි අදහස, අපි දැන් අපේ පොලිස්පති තුමා, සහ ආරක්ෂක ලේකම්, අත්අඩංගුවට අරන් තියෙනව. අපි දන්නවා ඒ ගොල්ලන් පාලනයේ ඉන්නකොට ලොකු වැරැදි සිද්ධ වුණා. ලොකු අපරාධයක් සිද්ධ වුණා. ඒගොල්ලන් එකේ කොටස්කාරයන්. ඒ ගොල්ලන් යුතුකම් හරියට ඉෂ්ඨ කළේ නැහැ කියලා අපි පිළිගන්නව. නමුත් ඒ පුද්ගලයන් දෙන්නාට විශේෂිත දඬුවම් දීම මම හිතන විදිහට අසාධාරණයි. ඒකට හේතුවක් තියෙනව. ඒ කා‍ලයේ වුණේ, අප්‍රේල් 21 වුණේ මුළු පද්ධතියෙම දෝෂයක් තිබුණා. ඒ පද්ධතියේ දෝෂණ ගන්නකොට, අපි දන්නවා ඊට මාස තුන හතරකට පෙර මේ කාලය තුළදි ජාතික ආරක්ෂක කමිටුව ආරක්ෂාව පිළිබඳ ඉහළම ආයතනය රැස් වුණේ නෑ. ඊට අමතරව ඒ ඉහළම ආරක්ෂිත ආයතනයට අගමැතිතුමා හා සහය ආරක්ෂක ඇමතිතුමා කැඳෙවුවෙ නෑ. මෙතන අපිට පේනවා පද්ධතියේ දුර්වලතාවයක්. පද්ධතියේ දුර්වලතාවයන් තියෙනවා නම් මේ පුද්ගලයන් දෙදෙනා ඒ ගොල්ලන් අත්අඩංගුවට ගන්න එක, දඬුවම් දෙන එක මම හිතනවිදිහට අසාධාරණයි.

ආරක්ෂක ලේකම් ගත්තොත් එතුමාගෙ කාර්ය වන්නෙ පරිපාලන කාර්යයක්. එයා ඉහළම පරිපාළන නිළධාරියෙක්. එයාට අණ දෙන්න බෑ. ආරක්ෂක කටයුතු පිළිබඳව මෙතන යන්න එතන යන්න කියලා. පොලීසියට හරි ආමි එකට හරි අණදෙන්න බෑ. ඒ කාලෙදි පොලිස්පතිතුමාත් හිටියේ ජනාධිපති යටතේ. ඔක්තෝබර් මාසයට පෙර අගමැතිතුමාගේ අධීක්ෂණය යටතේ තමයි එතුමා හිටියෙ. දැන් ජනාධිපතිතුමා යටතේ. එතනදි ජනාධිපතිතුමා, අගමැතිතුමාව කැඳවන්නෙ නෑ රැස්වීම්වලට. මම හිතන්නෙ පොලිස්පතිතුමා තුළත් යම්කිසි අවිනිශ්චිත භාවයක් ඇති. ඒ දෙන්නට වඩා යමක් කළ හැකිව තිබුණා. ජාතික ආරක්ෂක මණ්ඩලයේ අනෙක් අයටත් වගකීමක් තිබුණා. මේ දෙන්නාට විශේෂයෙන් දඬුවම් දීම එතරම් හරි නෑ කියලා මම හිතනව.

මරණ දණ්ඩනය ගැන අපි හිතන්නෙ, ඉක්මනින් ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් කියලා. අපේ රටේ තියෙන ඩ්‍රග්ස් ප්‍රශ්නය, නැත්නම් අනෙක් ප්‍රශ්න පුද්ගලයන් හතර දෙනෙක් මැරීමෙන් විස‍ඳෙන්නෙ නෑ. ලැබෙන ආරංචි අනුව මරණ දණ්ඩනයට නියම වූවන් 200ක් පමණ ඉන්නවා. ඒ 200න් මේ හතර දෙනා ඇයි. එතන ඉන්නවා අනෙක් මිනිස්සු මරපු අය. ඒ ගොල්ලන්ට ජීවත් වෙන්න ඉඩ දෙනවා. මේ හතර දෙනා එල්ලනව. එතනත් අසාධාරණයක් වෙනව වගේ තමයි මට පේන්නෙ. ඇමරිකාවේ අවුරුදු 30කට පස්සෙ ඒ ගොල්ලන්ට තේරෙනවා අහිංසක මිනිහෙක්ව ඒ ගොල්ලන් මැරුවා කියලා. අවුරුදු 30ක් මරණ දණ්ඩණයට ලක් වෙලා හිටපු එක්කෙනෙක් නිදොස් බව පෙනුනා. එයාව මරලා නෑ. ඒ වගේ විශාල අපරාධයක් සිද්ධවෙන එක. අනිත් එක මරණ දණ්ඩනය තියෙනව නම් සමහරවිට ඒක පාවිච්චි කරන්න පුළුවන් දේශපාලන හේතු උඩ. දේශපාලනය ගාවගෙන මරණ දණ්ඩනය යොදවන්න පුළුවන්. ඒවා භයානක දේවල්.

මම හිතන්නෙ අපේ රටේ, දැක්මක් තියෙනව, අපේ රටේ ව්‍යවස්ථාවේ බුද්ධ දර්ශනය තියෙනව. අපේ රටේ ආගමට අපි ඉහළ තැනක් දෙනව. අපේ රටේ ආගම් සියල්ලගෙ කියන්නෙ අනුන්ගෙ ජීවිත අපිට ගන්න බෑ. අපි දෙවියො නෙමෙයි මිනිස්සුන්ගෙ ජීවිත ගනන. රජයේ බන්ධනයේ ඉන්න පුද්ගලයන්ට කිසිම බලයක් නෑ. ඒක අපේ රටේ සංස්කෘතියට දර්ශනයට විරුද්ධයි. මම අපේ ජනාධිපතිගෙන් ඉල්ලනවා මේ ගැන නැවත හිතන්න කියල.

මනෝජ් රූපසිංහ    

Leave a Reply

Your email address will not be published. Required fields are marked *