ලංකාව එල්ලන මරණ දඬුවම – සම්පත් අමරසිංහ

”කවුරු විරුද්ධ වුනත් එල්ලා මැරීම ස්ථිරයි. ඉදිරි සති දෙක තුළ දඬුවම ක්‍රියාත්මකයි” පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨයේ සඳහන්ව තිබුණේ එසේය. ජනාධිපතිවරයා ජුනි 26 බදාදා මාධ්‍ය ආයතන ප්‍රධානින් අමතමින් පවසා තිබුණේ, එදින ලෝක මත්ද්‍රව්‍ය දිනය බවත්, තමා මරණීය දණ්ඩනයට අත්සන් තබා ඇති බවත්, ළඟදීම හතර දෙනෙකුට එය ක්‍රියාත්මක වනු ඇති බවත්ය.

එසේවුව මරණ දණ්ඩනය පැනවීමට එරෙහිව මෙරටින් මෙන්ම විදේශීය වශයෙන්ද ප්‍රබල විරෝධතාවක් මේ වන විට එල්ල වෙමින් තිබේ. නමුත් ජනාධිපතිවරයාගේ ස්ථාවරය වන්නේ කවුරු විරුද්ධ වුනත් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරවන බවයි. ජනාධිපතිවරයා ඒ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාට දුරකතනයෙන් කතා කර මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට හේතු පැහැදිලි කල බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබුණි.

මේවනවිට ජනාධිපතිවරයාගේ තීරණය සම්බන්ධයෙන් දේශීය වශයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් දහයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබීමෙන් මෙරට මානව හිමිකම් ක්‍රියාකාරීන් ආදීන් මරණ දඬුවම් පැමිණවීම සම්බන්ධව දක්වන විරෝධය ප්‍රකාශමාන වී තිබේ.

ජනාධිපතිවරයාගේ මරණ දණ්ඩනය සම්බන්ධ තීරණය ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට පෞද්ගලිකව දුරකථනයෙන් අමතා හේතු පැහැදිලි කරන්නට ජනාධිපතිවරයාට සිදුවීම් මගින් ද පැහැදිලි වන්නේ ඉහත තීරණය හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති අභියෝගාත්මක තත්ත්වය සහ ජනාධිපතිවරයා පවා මුහුණ දී ඇති ගැටලූවේ ස්වරූපයයි.

මරණද දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ වහාම එක්සත් රාජධානියේ විදේශ ලේකම් කාර්යාලය ප්‍රකාශ කාර්යාලය ප්‍රකාශ කළේ, මරණ දඬුවම සම්බන්ධ ශ්‍රී ලංකාව තුළ පවතී දීර්ඝ කාලින තහනම ඉවත් කිරීම සම්බන්ධව ඔවුන් බලවත් අවධානය යොමුකරන බවයි. මොනම තත්වයක් යටතේ වුවත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධව තමන් විරුද්ධ බව ද එක්සත් රාජධානියේ විදේශ ලේකම් කාර්යාලය පවසා තිබුණි. මරණ දඬුවම ක්‍රියාත්මක වන්නේ නම් ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමග වැඩ කිරීම තමන්ට අපහසු වනු ඇති බවද එක්සත් රාජධානියේ විදේශ ලේකම් කාර්යාලය පෙන්වා දී තිබුණි . විශේෂයෙන්ම ත්‍රස්තවාදය මර්දනය කිරීමේ කටයුතුවලදී තාක්ෂණ සහයෝගය ලබාදීම ගැන නැවත සලකා බලන්නට සිදුවන බවද එක්සත් රාජධානියේ විදේශ ලේකම් කාර්යාලය සඳහන් කර තිබුණි .

ඇමිනස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ ජනාධිපතිවරයා අවුරුදු හතළිස් තුනකට පසුව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අත්සන් කිරීම සම්බන්ධව එම සංවිධානය බලවත් කම්පනයට පත්ව සිටින බවය . අතිශයින්ම කෘර අමානුෂික සහ අවමන් සහගත දඬුවමක් නතර කර දැමීම මගින් ශ්‍රී ලංකාව අත්කරගෙන සිටි ජනාධිපතිවරයා එක සැනින් අවලංගු තිිබේ යැයි ඇමිනස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය වැඩිදුරටත් පවසා තිබුණි.

යුරෝපා සංගමයේ අදහස වන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම යනු පසුගිය වසරේ අවසානයේ පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වන මහා මණ්ඩල සැසිවාරයේදී ශ්‍රී ලංකාව ලබා දුන් පොරොන්දුව කඩ කිරීමක් වන බවයි. මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළහොත් මෙරටට මහත් අසීරුවකින් වත්මන් ආණ්ඩුව යටතේ නැවත ලබාගත් ජීඑස්පී ප්ලස් සහනය පවා අවදානමට ලක්වීමට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ.

මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නට සූදානම් වන්නේ යන අදහස පවා ජාත්‍යන්තර වශයෙන් මහත් කනස්සල්ලට හේතු වී තිබේ. බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමය පමණක් නොව ජර්මනිය, ස්විස්ටර්ලන්තය, නොර්වේ, තුර්කිය ආදී රටවල් ඉහත තීරණය සම්බන්ධයෙන් සිය කනස්සල්ල ප්‍රකාශ කිරීමෙන් ජාත්‍යන්තර වශයෙන් මෙරට මේ වන විට මුහුණදී ඇති තත්ත්වය පැහැදිලි වේ. විදෙස් රටවල තානාපති නිලධාරීන් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමතා තමන්ගේ කනස්සල්ල ප්‍රකාශ කරන්නට කටයුතු කර තිබේ.

බලවත්ම කරුණ වන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නට තීරණය කළේ යන ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් කරන්නටත් පෙර එම තීරණයෙන් වළකින ලෙස ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම පමණක් නොව ලොව වෙනත් මානව හිමිකම් ආයතන විවිධ රටවල් මෙන්ම පුද්ගලයන් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබීමය.

මරණ දඩුවම ඉවත්කල දකුණු ආසියාවේ පළමු රට වන්නේද ශ්‍රී ලංකාවයි . මරණ දඬුවම ඉවත් කිරීම හේතුවෙන් මෙරටට අත් වූණු කීර්තිය ඉමහත් එකකි. එමගින් මෙරටට ආර්ථික සහ වෙනත් ප්‍රතිලාභ අත් වූ බවද රහසක් නොවේ.

වත්මන් ලෝක තත්ත්වය තුළ රටක මානව හිමිකම් කැරට්ටුව බෙහෙවින් සලකා බලනු ලැබේ. විශේෂයෙන්ම ආර්ථික ගනුදෙනු වලදී අන් රටවල් විශේෂයෙන්ම බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් රටක මානව හිමිකම් පැටිකිරිය කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ. මානව හිමිකම් ප්‍රශ්නය හේතුවෙන් කලෙක දකුණු අප්‍රිකාව මුහුණ දී සිටි ගැටළු එහිදී එක් නිදර්ශනයක් පමණි. වර්ණභේදවාදී පිළිවෙත හේතුවෙන් කලෙක දකුණු අප්‍රිකාව ලෝකයේ කොන් වූ රටක් වශයෙන් පැවතුණි . අවම වශයෙන් ඔවුනට අනෙකුත් රටවල් සමඟ ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවා එකල අහිමි වී තිබුණි.

මහින්ද රාජපක්ෂ පාලනය සමයේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ කොන් වී සිටියේද එම පාලනයේ මානව හිමිකම් කැරට්ටුව හේතුවෙනි. ජීඑස්පී ප්ලස් වැනි බදු සහන එකල ශ්‍රී ලංකාවට අහිමි වී ගියේය. අන්තර්ජාතික මූල්‍ය අරමුදල ජයිකා වන විදෙස් ආධාර සපයන අන්තර්ජාතික ආයතන මෙරටට පිටුපෑම හේතුවෙන් චීන බැංකු වැනි ගිනි පොලි ආයතන වලින් ණය ලබා ගැනීමට සිදුවීම නිසා මෙරට බරපතළ ණය උගුලක සිර විය. අවුරුදු 43 ක් අතහැර තිබුණු මරණ දඬුවම නැවත පණ ගන්නට යාම තුළ ලංකාවට නැවතත් ජාත්‍යන්තරය තුළ අවමානයට පත් වන්නට සිදු වනු ඇති බවට සාධක මේ වන විටත් මතුවී තිබේ.

මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සමග කටයුතු කිරීම තමන්ට අපහසු වනු ඇති බවටත් ත්‍රස්තවාදය මර්දනය කිරීමේ කටයුතුවලදී තාක්ෂණය ලබාදීම සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට සිදු වනු ඇති බවටත් එක්සත් රාජධානිය පවසා තිබීම ඒ සඳහා එක් නිදසුනක් පමණි. යුරෝපා සංගමය මරණ දඬුවම කෙරෙහි කණස්සල්ලෙන් පසුවීම ජීඑස්පී ප්ලස් සහනය කෙරෙහිත් ජර්මනිය, ස්විස්ටර්ලන්තය, නොර්වේ වැනි රටවල් වල හොදහිත බිඳීම එම රටවල් වලින් ලැබෙන ආධාර කෙරෙහිත් අහිතකර ආකාරයෙන් බලපාන්නට ඇති හැකියාව ඉහළය.
ගැටලුූව වන්නේ හදිසියේ මෙරටට මරණ දඬුවමක් නැවත අවශ්‍යව ඇත්තේ කුමක් නිසාද යන්නයි. මරණ දඬුවම ක්‍රියාත්මක කළ පමණින් අපරාධ අඩු නොවන බව කොතෙකුත් වතාවක් තහවුරු වී ඇති කරුණකි. එසේ තිබියදී එක් පුද්ගලයෙකුගේ සිල්ලර ජනප්‍රියත්වය සඳහා මරණ දඬුවම කරළියට ගෙන ඒම හැඳින්විය හැක්කේ එක් අයෙකුගේ ජනාධිපති සිහිනය වෙනුවෙන් සමස්ත ජාතියක් පෝරකයට දැක්කීමක් වශයෙනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *