බෙරයේ පළුවක් නැති මත්පැන් විරෝධය – අනුර සූරියබණ්ඩාර

මත්ද්‍රව්‍ය ජාවාරම්  වලට සම්බන්ධව මරණ දඬුවම නියම වී සිරගතව සිටින පිරිසෙන් සිව් දෙනකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ ලේඛනයට ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය යෙදී තිබුණු පසුගිය 26 වනදා ජනාධිපති වරයා අත්සන් තබා ඇති බව සඳහන්ය.  ඒ අතරවාරයේ පසුගිය සතියේ මරණ දඬුවම ලබා දීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ද ඉදිරිපත් වී තිබුනි.   ඒ අතර බන්ධනාගාර කොමසාරිස්වරයා අභියාචනාධිකරණයට දන්වා තිබුණේ සතියක් ඇතුළත මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන බවය.

පසුගිය වසර දහයක පමණ කාලයක සිට මත්ද්‍රව්‍ය නිවාරණය යන්න මෙරට දේශපාලනයේ  අතිශය ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව ඇති බව කවුරුත් දන්නා කරුණකි.  ගැටලුව වන්නේ මෙරට මත්ද්‍රව්‍ය නිවාරණය ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම පිළිබඳ ප්‍රශ්නයකට වඩා දේශපාලන වාසි ලබා ලබා ගැනීමේ අරමුණින් දේශපාලනඥයින් විසින් තොරොම්බල් කරනු ලබන ජනප්‍රිය සටන් පාඨයක් ද යන්න ය.

විවිධ ආණ්ඩු වලින් විවිධ කාල වකවානුවලදී මත්පැන්  මත්ද්‍රව්‍ය දුම්වැටි මර්දනය සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මකත්මක කරන්නට යෙදුණි.  මෑත ඉතිහාසයේ සෑම අයවැයකින් ම මත්පැන් සහ දුම්වැටි මිල ඉහළ දමන්නට යෙදුණේ මත්පැන් දුම්වැටි පරිභෝජනයේදී ජනතාව මන්දෝත්සාහී කිරීමට බව පවසමිනි.  ඒ අතරතුර ජී එල් පීරිස් මහතා මුදල් ඇමතිවරයාව සිටියදී සැර මත්පැන් වලට සාපේක්ෂව බීර මිල පහත හෙළනු ලැබුවේ සැර මත්පැන් වෙනුවට ජනතාව බිර පානයට හුරු කිරීම සඳහාය කියමිණි.

මහින්ද රාජපක්ෂ පාලන යුගයේ මත් විරෝධී සටන් පාඨය වූයේ” මතට තිත” ය.  මතට තිත ජනප්‍රිය සටන් පාඨයක් වුවද එය  ප්‍රායෝගික තලයේදී කොතරම් යථාර්ථයක් වූයේද යන්න සැකයකි. හේතුව වන්නේ එකල මත්ද්‍රව්‍ය විරෝධය හුදු  ප්‍රකාශයක් පමණක් වූ බව පෙනෙන්නට තිබුණු බැවිනි.  නිදර්ශනයක්  වශයෙන්  මැතිවරණ  කාලවල දී එවක අරලියගහ මන්දිරයේ පැවැති එව කව බොව කියන සාදවල මත්පැන්  අඩුවක් තිබුනේ නැත.  මිගමුව  ප්‍රදේශයේ දේශපාලනඥයෙකුගේ නිවසක් පොලිසිය විසින් මත්ද්‍රව්‍ය සඳහා පරීක්ෂා කළ විට පසුදින උදෑසනම රටේ ජනාධිපතිවරයාත් ආරක්ෂක ලේකම්වරයාත් අදාළ  දේශපාලකයාගේ නිවසට ගියහ.  ඔවුන්ගේ එම  ක්‍රියාකලාපය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේදී  පොලීසිය මන්දෝත්සාහී කරන්නක් සහ මත්ද්‍රව්‍ය ප්‍රචාරනයේදී දේශපාලනය උනන්දු කරවන්නක් බව අමුතුවෙන් කිව යුතු නැත.

උඩරට ප්‍රදේශයේ ප්‍රබල  දේශපාලකයෙකුගේ පුතෙකුටද  මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයෙකුගේ බහාලුමක්   නිදහස්  කර ගැනීම සඳහා ලිපියක් ලබා දුන්නේ යන චෝදනාවක් එල්ල වූයේද මහින්ද රාජපක්ෂ පාලන යුගයේදී ය.  එකී චෝදනා පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු වුයේ නැත.  තවත් අවස්ථාවක සබරගමුව පළාතේ මහ ඇමති වරයෙකුගේ රථයක් ගංජා ප්‍රවාහනය කරන අතරතුර අත්අඩංගුවට පත්විය. එම රථයේ සම්බන්ධව නඩුව මේ වන විටත් විභාගවෙමින් පවතී.  එතනෝල්  ව්‍යාපාරය සම්බන්ධයෙන් ද මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයන්ට  චෝදනා එල්ල වී තිබුණි .  එතනෝල්  බදු  නිසි පරිදි අයකර ගැනීමෙන් ම පමණක් වුව මෙරට ජාතික ආදායමේ  සැලකිය හැකි වර්ධනයක් අත්කර ගත හැකි බව 2015 මැතිවරණ වේදිකාව රැව්දුන් අදහසක් විය.

යහපාලන ආණ්ඩුවේ මත් විරෝධී සටනේ පෙර ගමන් පෙරගමන්කරුවා  ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා .  මත් ජාවාරම්කරුවනට මරණ දඬුවම පැමිණවීම දක්වා ඒ මහතාගේ සටන මේ වන විටත්  පැමිණ තිබේ.  ගැටලුව වන්නේ මරණ දණ්ඩනය පැමිණවීමෙන් පමණක්ම  මත් විරෝධී සටන යථාර්ථවත් කළ හැකි වන්නේද යන්නය.  මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට දේශපාලන හස්තයක් ද පවතින බව ප්‍රකට රහසකි. එක්කෝ  දේශපාලකයන් සෘජුව මත්පැන් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධව සිටිති නැතහොත් ඔවුහු වක්‍රව මත්පැන් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට අනුග්‍රහය දක්වති.  එසේ නැතිනම් මත්ද්‍රව්‍ය මත්පැන් ජාවාරම්කරුවන්ගෙන්  දේශපාලකයෝ විවිධ වාසි ලබා ගනිති.  එසේ හැසිරෙන දේශපාලනය මර්දනය  කිරීම සඳහා කවර ආණ්ඩුවක් වත් අවශ්‍ය පියවර ගෙන නැත.  මහින්ද රාජපක්ෂ යුගයේ එවැන්නන් ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කෙරුණි. යහපාලන ආණ්ඩුවේ හැසිරීම් ද ඊට  වෙනස් නැත. නිදර්ශනයක් වශයෙන්  රාජපක්ෂ ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ මීගමුව සහ මහනුවර දේශපාලකයන් දෙදෙනාම මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුවට සම්බන්ධ කරගෙන මේ වන තුරුත් ඔවුනට විරුද්ධව නීතිය කවරාකාරයකින් වත් ක්‍රියාත්මක වීමක් නැත.  මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව සැක කටයුතු හැසිරීම් සහිත පුද්ගලයන් යහපාලන ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීමේදී එක්සත් ජාතික පක්ෂයෙන් ද කිසිදු විරෝධතාවක් එල්ල වූයේ නැත. ඔවුන්ද  එහිදී අනුගමනය කළේ ” අපට සපෝට් නම් මොකක් කළත් මොකෝ”  වැනි පිළිවෙතකි.  පුදුමය වන්නේ එවැන්නන් යහපාලන ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීමේදී යහපාලනය වෙනුවෙන් වැඩ කළ සිවිල් සංවිධාන පවා නිහඬ පිළිවෙතක පිහිටා කටයුතු කිරීමයි.

එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය සිය සමීක්ෂණයයක් අනුව කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ ජන ජනගහනයට සාපේක්ෂව ඒක පුද්ගල  මත්පැන් පරිභෝජනය 95 % කින් වැඩිවී ඇති බවයි.  එහෙත්  කලාපයේ සෙසු රටවල මත්පැන්  පරිභෝජනය වැඩි වී ඇත්තේ  55% කිණි.  2003 සිට 2016 කාලයට අදාළව  කර ඇති ඉහත කී සමීක්ෂණය අනුව ලෝක සෞඛ්‍ය‍ය සංවිධානය පෙන්වා දෙන්නේ මද්‍යසාර බදු ප්‍රතිපත්තිය සැකසීමේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යංශයේ එක්ව කටයුතු කළ යුතු බවයි.

ශ්‍රි ලංකාවේ මද්‍යසාර සම්බන්ධ සෞඛ්‍ය දර්ශක සීඝ්‍ර ලෙස පහත වැටී ඇත්තේ මද්‍යසාර සම්බන්ධයෙන් මෙරට බදු ප්‍රතිපත්තියේ පවතින දුර්වලතා නිසා බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමීක්ෂණ වාර්තාව සඳහන් කරයි.  නීතිවිරෝධී මත්පැන් පරිභෝජනය 300% කින් වර්ධනය වී ඇති අතර නීත්‍යානුකූල මත්පැන් වල වර්ධනය 50% කින් වැඩිවී ඇති බව ද මෙරට සමස්ත මත්පැන් පරිභෝජනයෙන් 40% ක්  නීතිවිරෝධී මත්පැන් බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ  වාර්තාවේ සඳහන් වී තිබේ.

ඉහත කී කරුණු අනුව පෙනී යන්නේ මෙරට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් වල යම් ආකාරයක වරදක් පවතින බවයි. බොහෝ විට මෙරට  මත්ද්‍රව්‍ය  නිවාරණය බර තබා කටයුතු කරන්නේ මිල ඉහළ දැමීම සහ දඬුවම් පැමිණවීම මත බව පිළිගන්නට සිදුවේ.  නීත්‍යානුකූල මත්පැන් මිල ඉහළ යන විට ජනතාව නීති විරෝධී මත්පැන් කෙරෙහි යොමුව වීම වැළැක්විය හැකි නොවේ. ජනාධිපතිවරයා වරෙක  පැවසුවේ මෙරට නීති විරෝධී මත්පැන් පසුගිය වෙසක් පොහොය වන විට අවසන් කරන බවත් මේවනවිටත් රටේ බොහෝ තැන්වල නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයයත් වෙලදාමත් සිදුවේ.   වඩාත්ම බරපතළ ගැටලුව වන්නේ ජනතාව නීත්‍යානුකූල මත්පැන් වෙනුවට නීති විරෝධී මත්පැන් වලට යොමු වීමයි.   නීත්‍යානුකූල මත්පැන් වලට වඩා නීති විරෝධී මත්පැන් වලින් මිනිස් සිරුරට සිදුවන හානිය වැඩි බැවිනි.  අනෙක් අතට නිත්‍යානුකූල මත්පැන් නිෂ්පාදනයෙන් සහ අලෙවියෙන් රජයට යම් ආදායමක්  ඉපැයිය හැකි වන නමුත් නීති විරෝධී මත්පැන් වලින් එසේ සිදු වන්නේ නැත.

මත්පැන් මත්ද්‍රව්‍ය පාලනය කිරීම වෙනුවෙන් රජය අති විශාල ධනස්කන්ධයක් මේ වන විටත් වැය කරමින් සිටි.  එහෙත් ඒ වැය කරන  මුදල් වලින් සාධනීය ප්‍රතිඵල ලැබී නැති  බව ලෝක සෞඛ්‍ය සංවිධානය සමීක්ෂණ වාර්තාවෙන් පැහැදිලි වේ.

මත්පැන් මත්ද්‍රව්‍ය යනු  හුදු ක්‍රය හෙවත් මිලදී ගැනීමේ හැකියාව මත තීරණය වන්නක් නොවේ.  ඒ පිටුපස විවිධ සමාජ සංස්කෘතික ආර්ථික කරුණු රැසක් පවතී.  මත්පැන් මත්ද්‍රව්‍ය නිවාරණයේ දී එම සාධක පිළිබඳ ද අවධානය යොමුකළ යුතුවේ.  ලෝක සෞඛ්‍ය සංවිධානය සමීක්ෂණ වාර්තාව මෙරට බලධාරීන් ගේ අවධානය වහා යොමු විය යුත්තේ එහෙයිනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *