|

ඩීල් නොදාපු එකම ඇමති කිරිඇල්ලයි – අගමැති කියයි : පාස්කු ඉරිදා මඩ මිටිතැනින් බැස්සවීම

ගෙවීයන සතිය තුල අගමැතිවරයා ජනතාවට ඉහළ ප්‍රතිලාභ ලැබෙන “සුදු ජූලිය” සංකල්පය යටතේ පියවර රැසක් ගත්තේය. රාජ්‍ය සේවකයන්ට විශ්‍රාමිකයන්ට හමුදා සහ පොලීසියට ආබාධයන්ට වකුගඩු රෝහීන් ඇතුළු ජන ස්ථර රැසකට රු. දස ලක්ෂ 39,360 ක  දැවැන්ත මුදලක් හරහා ප්‍රතිලාභ ලබා දීම ජූලි මාසයේ සිට ඇරඹිණි. ඊට අමතරව සමෘද්ධිය අලුතින් පවුල් ලක්ෂ 6 කට බෙදා දීමද රට පුරා ආරම්භ වී තිබේ. ඇමති චම්පිකගේ මූලිකත්වයෙන් ජපන් ආධාර රු: කෝටි 27,000 කට අධික වියදමින් මාලබේ සිට කොළඹ දක්වා වූ කණු මත දිවෙන දුම්රිය සේවයටද මුලපිරුවේය. එසේම බ්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා ඇමති අකිල සමග පේරාදෙණිය බලා පිටත්ව ගියේ එදිනට විවෘත කිරීමට නියමිත නව පාසැල් ගොඩනැගිලි, විද්‍යාගාර, ශ්‍රවණාගාර ඇතුලු ව්‍යාපෘති 250ක් විවෘත කිරීමේ ප්‍රධාන උත්සවයට එක් වීමටය. පිටත් වීමට පෙර පැමිණ සිටි මැති ඇමතිවරුන් සමග සුපුරුදු කතාබහක යෙදීමටද අගමැතිවරයා අමතක කළේ නැත.

“මේ ආණ්ඩුව යටතෙ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, ජනමාධ්‍ය නිදහස, ස්වාධීන අධිකරණය, පොලීසිය, රාජ්‍ය සේවය විතරක් නෙවෙයි වැවිලි, නිවාස, සෞඛ්‍ය, කෘෂිකර්ම, වාරි වගේම විශේෂයෙන් අධ්‍යාපනයටත් දැවැන්ත සේවයක් ඉටුවුණා. මීට කලින් එක දවසට පාසල් 200ක ව්‍යාපෘති සිසුන්ට පරිත්‍යාග කරා. අද එකම දිනයේ එවැනි ව්‍යාපෘති 250ක් සිසුන් සතු කිරීම විශේෂයි” නවීන් දිසානායක කතාවට මුලපිරුවේය.

“ඒත් පෙල පොත් වලට ඇමති අකිලගේ ඡායාරූපයක් දැම්මා කියලා විජේදාස රාජපක්ෂ පටු දේශපාලන මඩ ප්‍රහාරයක් එල්ල කිරීම ඇමති අකිලට වඩා සිසු පරපුරට දිපු ප්‍රහාරයක්.” චමින්ද විජේසිරි කීවේය.

“විජේදාස හිටපු ඇමතිතුමගේ බංකොලොත් දේශපාලනය ගැන මටත් පුදුමයි. හිටපු සියලු අධ්‍යාපන ඇමතිවරු විතරක් නෙවෙයි මහින්ද ජනාධිපතිතුමාගෙ පින්තූර පවා ඉස්සර දාල තිබෙනවා. මගේ ඡායාරූපය දැම්මා කියලා රුපියලක පාඩුවක් සිදුවෙලා නැතිබව මම සාධක සහිතව ඔප්පු කළා.” අකිල විරාජ් කාරියවසම් කීවේ ශෝකාකූල ස්වරූපයෙනි.

අඛිලගේ වැඩ කිඩ

“අකිල ඇමතිතුමා පහුගිය වසර 5 ට රු: කෝටි 35,000 කට් වඩා මේ රටේ අධ්‍යාපනයට වැය කළා. තට්ටු 2 හා 3 පාසල් ගොඩනැගිලිම 1600ක් හැදුවා. තවත් පාසැල් 5500කට ලක්ෂ 10 සිට 100 දක්වා වියදම් කළා. දරුවන් ලක්ෂ් 45ම රක්ෂණය කළා. විද්‍යාගාර 3,000ක් වැසිකිලි 40,000ක් හදල තියෙනවා. ගුරුවරු 10,000කට වඩා බඳවා ගත්තා. ක්‍රීඩා ගුරුවරුත් 3500ක් ගත්තා. සා.පෙළ අසමත් අයට වෘත්තීය පුහුණු අංශ 26 ක් ඇති කළා. දැන් ටැබුත් බෙදනවා. කුරුණෑගලට විශේෂයක් කළෙත් නෑ. මේ සියල්ල රට පුරා බෙදාහැරියා. පල ඇති රුකටයි ගල් වදින්නේ කියලා ජනතාව දන්නවා. අනාත වෙච්ච විජේදාස මහත්තයා මේ මඩ ප්‍රහාරයෙන් නැත්තටම නැතිවෙනවා.” හේෂා විතානගේ කීදේ අගමැති ඇතුළු සියළුදෙනා අනුමත කළහ.

“දැන් පොහොට්ටුවට ජනාධිපති අපේක්ෂකය තෝරගන්න බැරුව අවුල් ජාලයක් වෙලා. අපි එතෙන්ට වැටෙන්න හොද නෑ. මේක ඉක්මනින් විසඳ ගන්න ඕනා. එතකොටයි ජයග්‍රාහී මානසිකත්වයක් හා විශ්වාසනීයත්වයක් ඇති වෙන්නේ.” නවීන් දිසානායක කීවේය.

එජාපයේ රහස් කල්ලියක්

“එජාපය නොදැන පක්ෂයේම කීප දෙනෙකුගෙ කල්ලියක් හොර රහසේ තැන් තැන් වල සාකච්ඡා කරමින් ජනාධිපති අපේක්ෂයෙක් තෝරගන්න උත්සාහ කරනවලු. ඒ කියන ජනාධිපති අපේක්ෂකයා පවා මේ ගැන දන්නේ නැතිලු. ඇතැම් සාකච්ඡා වල විස්තර ඔහු දැනගෙන තියෙන්නෙත් මාධ්‍ය වලින් කියලයි ආරංචියි. පක්ෂයේ කාගේත් නිල අනුග්‍රහය නැතිව එවැනි වගකීම් භාරගන්න එතුමාත් අකමැතිලු. අර රහස් කතාකරපු කට්ටිය ඒ නිසා දැන් මාර හිරවීමක ඉන්නවා කියලත් ආරංචියි. මේ සාකච්ඡාවල් වල මූලිකත්වය අරන් තියෙන්නේ අගමැතිතුමාගෙ කර උඩම හිටපු ඇමති කෙනෙක් නේ. අගමැතිට හොරා ගේම් ගහන්න ගිහිල්ලා ඔහු දැන් ව්‍යාපාර ලෝකය තුලත් අනාත වීගෙන යනවා කියලත් ආරංචියි. මේ අය යෝජනා කරන අපේක්ෂකයගෙන් හරි වචනයක් තාම ලැබිල නැති නිසාද කොහෙද මේ කට්ටිය තම අනාත බවෙන් මිදෙන්න තවත් අපේක්ෂකයෙක් හමුවෙලා ඔහුව උඩට ගේන්න උත්සාහ කරලත් තියෙනවා. ඔහු ඒ විස්තර නොසඟවා පක්ෂයේ නායකයන්ට එළිකරලා තියෙනවා කියලත් ආරංචියි.” එජාප නීති නිළධාරියෙක් කී විට අගමැතිවරයා මද සිනහවක් පා ඉවත බලාගත්තා මිසෙක කිසිවක් කීවේ නැත.

“මුලින් කී කෙනා අපේක්ෂකයා කරනවාට කොළඹ පැත්තේ එජාප ප්‍රබලයෙක් තදින්ම විරුද්ධයිලු. එහෙම වුණොත් එයා පක්ෂෙ මාරු කරන්නත් සැලසුම් කරලා කියලයි ආරංචි. ඔහු එජාපෙට නැතිවුණොත් ඒක පාඩුවක් වෙන්න බැරි නෑ. කොහොමහරි මේවා සියල්ල “බැලන්ස්” කරගන්න වෙනවා. එජාප දේශපාලන උපදේශකයෙකුගේ මතය එය විය.

“මේ සතියෙ තිබුණු “ෆ්රී කැබිනට්” එකේදී අගමැතිතුමා ආණ්ඩුවේ ඉන්න ඩීල් කාර ඇමතිවරු ගැන ලොකු හෙලිදරව්වක් කළා කියල ආරංචියි. එජාප ප්‍රධානීන්ට වඩා වෙනත් පක්ෂ වල නායකයො හා ඉහළ තනතුරු ලාභීන් එක්ක ඩීල් දාන ඇමතිවරු නිසා එජාපයයි ආණ්ඩුවයි දේශපාලන ලෙස අර්බුදයකට ගිහින් කියල අගමැතිතුමා කියපු එක සමාජ ජාලා ඇතුළු රට පුරා ප්‍රසිද්ධ වුණා. ඩීල් දැම්මෙ නැත්තෙ කිරිඇල්ල ඇමතිතුමා විතරයි කියලත් අගමැතිතුමා කියල තිබුණා. කිරිඇල්ලට ඇමති බලතල අහිමිවුණෙත් පක්ෂය හා ආණ්ඩුව වෙනුවෙන් පෙනී හිටි නිසා බව අගමැතිතුමාම කියපු එකත් වටිනවා. ඩීල් කාරයො නිසා ආණ්ඩුව අපහසුතාවයකට පත්වෙලා කියලා කිරිඇල්ල ඇමතිතුමා කිව්වේ මීට මාස ගණනාවකට පෙරයි. ඒ සත්‍ය දැන් අගමැතිතුමාගෙ කටින්ම එළියට ආපු එක කවුරුත් හිතට ගත යුතු තත්වයක්.” එහි සිටි එජාප ජාත්‍යන්තර කටයුතු උපදේශකයෙකු කීවේය.

මිටිතැනින් බැස්සවීම

“පාස්කු ප්‍රහාරය වෙන වෙලවෙ ආරක්ෂක, නීතිය හා සාමය ඇමතිකම් දරපු වගකිවයුත්තන් අත හෝදගෙන පහල තැන් දෙකකින් වතුර බස්සන්න හදනවා කියලයි පේන්නෙ. අනිවාර්‍ය නිවාඩු යැවූ පොලිස්පතියි හිටපු ආරක්ෂක ලේකමුයි අද කොටුකරලා. තේරීම් කාරක සභාවට ඇත්තම කිව්වනම් මෙහෙම වෙන්නෙ නෑ කියල ඇමති රාජිත කිව්වා. මම කියන්නෙත් ප්‍රහාරය ගැන විස්තර දැන දැනත් ඊට මැදිහත් නොවූ ප්‍රභලයින්  බේරන්න මේ දෙන්න නීතිය නමලා උදවු කළා. ඒ වැරැද්ද කරපු නිසා ඒ දෙන්නට අද නීතිය කෙලින් වෙලා කියලයි” චමින්ද විජේසිරි කීවේ සිනා මැදය.

“මේ රටේ කිසිදා පොලිස්පතිවරු අත් අඩංගුවට අරන් නෑ. එයා ධූරයෙන් ඉවත් කරලත් නෑ. ඔහු ඇරෙස්ට් කරන්න පාදක කරගත්ත අර ත්‍රිපුද්ගල කමිටු වාර්තාව කවුරුවත් දැකලත් නෑ. මේ තේරීම් කාරක සභාවෙ සාක්කි දුන්නට පස්සෙයි මේ දෙන්නට මේක වුණේ. මිනීමැරුම් චෝදනා දාන්නයි හදන්නෙ. ඒත් ඔවුන්ට එවැනි චේතනාවක් නොතිබුණු නිසා ඒක හරියන්නෙ නෑ කියලයි නීති විශාරදයින් කියන්නෙ” මහාචාර්ය ආශු මාරසිංහ කීවේය.

“පොලිස්පති පත්කළේ ව්‍යවස්ථාදායක සභාවෙ හරහායි. ඒත් ආරක්ෂක ලේකම් තනිකර ජනාධිපතිගෙ පත්කිරීමක්. අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීමේ වගකීම අගමැතිතුමාට පවරනවා නම් ආරක්ෂක ලේකම් හේමසිරිගෙ පත්වීමේ වගකීම තනිකරම ජනාධිපතිතුමාට බාරගන්න වෙනවා” එජාප නීති අංශ නිළධාරීන්ගේ අදහස එය විය.

“අර දොස්තර සංගමයට කළුතරදි මිනිස්සු ගහලා. ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරන ඩිස්පැන්සරිත් කුඩු කරල. එක පුද්ගලයෙකුගෙ ප්‍රශ්නයක් අල්ලගෙන රට පුරා වර්ජනය කරන දුම්රියේ අයටත් ජනතාගෙන් එවැනි ආනිසංශයක් ලැබෙන දිනය වැඩි ඇතක නෑ” මහාචාර්ය ආශු මාරසිංහ කීවේ සිනා මැදය.

“ශ්‍රී ලංකන් එක කාල කෝටි 15,000ක් මහින්දගෙ කාලෙ නැති කළා. ඒත් අලුතින් ඉපදුනු ශ්‍රී ලංකන් සේවකයො ටිකක් ඇවිත් ශ්‍රීලංකන් එක ගොඩදාල දෙන්න කියල මහින්ද මහත්තයගෙන් ඉල්ලලා. අර මස්සිනාම දාල ශ්‍රීලංකන් ගොඩදාල දෙන්න කියල ඉල්ලුවද දන්නෙ නෑ.”  හේෂා විතානගේ කීවේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *