හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර ලබන 09 වන දා දක්වා රිමාන්ඩ්

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරු 2 වැනි දා පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට පත්වන විට පූජිත ජයසුන්දර නාරහෙන්පිට පොලිස් රෝහලේත්, හේමසිරි ප්‍රනාන්දු මහතා ජාතික රෝහලේත් හදිසි අසනීප තත්ත්වයන් මත ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල් ගතවී සිටියහ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු වාර්තාකර තිබුණි. ඒ අනුව රෝහල් දෙක වෙත පැමිණි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය කරුණු පරීක්ෂා කිරීමෙන් පසුව හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත ජයසුන්දර යන මහත්වරුන් 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියොග කරන ලදී. ඔවුන් දෙදෙනා පොලිස් හා බන්ධනාගාර නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව මැද අදාල රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටී. 22 වන දින එක් දිනට පමණක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ බැවින් ඊයේ (3) දින ඔවුන් දෙදනා පිළිබඳ නඩුව විභාගය ගැනෙණ විට, රෝහල්ගතව සිටි ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් නොකළේය.

නඩුව කැඳවූ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ අධිකරණයට දැනුම් දුන්නේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනධිපතිවරයා පත් කළ කොමිසම ලබාදුන් අතුරු වාර්තාවේ නිර්දේශයකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළ බවයි. එම විමර්ශනවලට අනුව පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ සාපරාධිකාරි වගකීමක් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන්ට පැවරෙන බව පෙනී යන නිසා ඔවුන් සැකකරුවන් බවට පත්කර අත්අඩංගුවට ගත් බවද තුසිත් මුදලිගේ මහතා අධිකරණය හමුවේ පැවසීය.

කෙසේ වෙතත් මිනීමැරිමේ චෝදනාව ඇතුළත් වන දණ්ඩනිතී සංග්‍රහයේ 296 වගන්තියේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන්නේ කුමන පදනමක් මතදැයි පැහැදිලි කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නීතිපති දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කළාය.

ප්‍රහාරය සහ එහි ස්වභාවය පිළිබඳ නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පොලිස්පතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනීම නිසා ඔවුන් දෙදෙනාට දණ්ඩනීති සංග්‍රහයේ 296 වගනිත්ය යටතේ මිනීමැරීමේ චෝදනා ගොනුකර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටින ලදී.

එම ප්‍රහාරය හා ඊට සහභාගිවන පුද්ගලයින් සම්බන්ධව රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා අප්‍රේල් 18,19,20 යන දිනවල මෙන්ම ප්‍රහාරය එල්ල වූ දින පෙරවරුවේ ද මෙම සැකකරුවන් ලෙස නම්කර සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රානාන්දු  යන අය දැනුවත් කර තිබූ බවද රජයේ නියෝජ්‍ය ජනරාල්වරයා සඳහන් කළේය. මෙවැනි විශ්වාස කටයුතු තොරතුරු ලැබී තිබිය දී ඒ අනුව කටයුතු කරමින් මෙම ප්‍රහාරය සඳහා පැමිණීමට නියමිතව සිටි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස්පති වරයා කටයුතු නොකළ බව පෙන්වා දුන් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා එමෙන්ම ප්‍රහාරයට ඉලක්ක වන පුද්ගලයින් ඊට නතුවීම වැලැක්වීමට කටයුතු නොකළ බව ද පෙන්වා දුන්නේය.

 මෙවැනි විශ්වාස කටයුතු තොරතුරු ලැබී තිබිය දීත් මෙම ප්‍රහාරයට පැමිණීමට නියමිතව සිටි සැකකරුවන් අත්අඩංගුවට පොලිස්පතිවරයා කටයුතු නොකළ බව පෙන්වා දුන් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ඊට ඉලක්කගත පුද්ගලයින් ඊට නතු වීම වළක්වා ගැනීම නොකළ බව ද පෙන්වා දුන්නේය. තවදුරටත් කතා කළ ඒ මහතා පෙන්වා දුන්නේ මෙවැනි තොරතුරක් ලැබුණු විගස ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා, ත්‍රිවිධ හමුදාපතිවරු, ආරක්ෂක මණ්ඩල ප්‍රධානී වැනි පුද්ගලයින් දැනුවත් කිරීමට පොලිස්පතිවරයා කටයුතු නොකළ බවයි. මේ පිළිබඳව තොතරතුරු ලැබී ඇති හෙයින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හරහා ජනමාධ්‍ය ඔස්සේ පොදු ජනතාව දැනුවත් කිරීමට හැකියාව තිබුණ ද එයද පොලිස්පතිවරයා ඉටු කර නොමැති බවත් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ප්‍රකාශකළේය. ඊට අමතරව පොලිස් ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කර මෙම තත්ත්වය වළක්වාලීමට හැකියාවක් තිබුණ ද ඒ කිසිවක් කිරීමට කටයුතු නොකල බව පෙන්වාදුන් ඒ මහතා ඔහු හුදු කළේ තමන් වෙත ලැබුණු තොරතුරු තමන් යටතේ සිටින නියෝජ්‍ය පොලිස්පතිවරු හතර දෙනෙකු වෙත යොමු කිරීම පමණක් බව ද කියා සිටියේය. එලෙස නියෝජ්‍ය පොලිස්පතිවරු හතර දෙනෙකුට දැනුම් දුන්නද ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර සම්බන්ධයෙන් කිසිදු පසුවිපරමක් කර නොමැති නීතිපති දෙපාර්ත මේන්තුව අධිකරණය හමුවේ පැවසුවේය.

හිටපු පොලිස්පතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ පේමරත්න මහතා සඳහන් කළේ සැකකරුවන්ට විරුද්ධව දණ්ඩනීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ චෝදනා ගොනු කිරීමට පැමිණිලි පාර්ශ්වයට හැකියාවක් නොමැති බවයි. මේ ප්‍රහාරය ගැන මුලින්ම තොරතුරු ලැබෙන්නේ අප්‍රේල් මස 4 වන දින ඉන්දියාවෙන් බව සඳහන් කළ පේමරත්න මහතා ශ්‍රී ලංකාවේ ප්‍රධාන කතෝලික දේවස්ථාන හා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට ජාතික තවුහිද් ජමාත් සංවිධානය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවත්, ඒ පිළිබඳ විමර්ශන පවත්වා තමන් වෙතද ප්‍රතිචාර දක්වන ලෙස ද එම ඉන්දීය ලිපිය තුළන් දන්වා තිබූ බවද කියා සිටියේය.

මෙම ලිපිය ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා විසින් අප්‍රේල් 09 වනදා මාගේ සේවාදායක හේමසිරි ප්‍රනාන්දු වෙත ලබා දී තිබුණ බවත් එය වැඩිදුර කටයුතු කිරීම සඳහා තම සේවාදායකයා විසින් දෙවන සැකකාර පූජිත ජයසුන්දර මහතා වෙත යොමු කළ බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය. පොලිස්පති පූජිත ජයසුන්දර වෙත මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය ලිපි නිකුත් කළ බව සඳහන් කර තිබුණ ද එම ලිපි කිසිවක මෙම ප්‍රහාරය නිශ්චිතව සිදු වූ නොතිබූ අතර ජාතික තවුහිත් ජමාත් සංවිධානය හා සහරාන් නෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් එම ප්‍රහාරයට සූදානම් වන්නේ ද යන්න නිරීක්ෂණය කරමින් සිටින බව සඳහන් තිබූ බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම ජාතික බුද්ධි ප්‍රධානියා පොලිස්පති වරයා යනුවෙන් සඳහන් කළ ලිපියේ සහරාන් නමැත්තා කතෝලික සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඉලක්ක කරගන්නා බවට නිශ්චිතව සදහන් කර නොමැති නමුත් අයිස් ඔන්ලි යනුවෙන් සඳහන් කර ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය. මෙවැනි තහවුරු නොකළ තොරතුරු පදනම් කරගෙන තම සේවාදායකයා පාස්කු ඉරිදා දේව මෙහෙයන් නැවැත්වීමට කටයුතු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා මෙවැනි ප්‍රහාරයක් වළක්වා ගැනීමට ත්‍රිවිධ හමුදාව යොදා ගැනීමට නම් හදිසි නීතිය හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කළ යුතු බවත් එය සිදු කළ හැක්කේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාට පමණක් බවත් සඳහන් කර සිටියේය.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිතාමතාම ඇතැම් නිලධාරින් මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් නොකරන්නේ එම පුද්ගලයින් අධිකරණයට පැමිණ ඔවුන් මෙම බුද්ධි තොරතුරු දැනුවත් කළ අනෙක් පාර්ශ්වයන් හෙළි කරන නිසා බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. මෙම තත්ත්වය යටතේ තම සේවාදායකයන්ට මිනී මැරුම් චෝදනා එල්ල කිරීමට තරම් සාධාරණ සාක්ෂි කිසිවක් නොමැති බැවින් ඔවුන් ඇපමත මුදා හරින මෙන්ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

එම ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය ලබන 09 වන දා ප්‍රකාශයට පත් කරන බවත් එදින දක්වා ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාරයේ තබන ලෙසත්  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.  

මනෝජ් රූපසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *