පාසල් ගොඩනැඟිලි 250ක් එකවර විවෘත කිරීමේ ජාතික මහෝත්සවය අද අගමැති ප්‍රධානත්වයෙන් පේරාදෙනිය දී

එදා මෙදාතුර මෙරට ඉතිහාසයේ පාසල් සංවර්ධනය වෙනුවෙන් හඳුන්වා දී ඇති දැවැන්ත ම ව්‍යාපෘතිය ලෙස ක්‍රියාවට නැංවෙන, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ දිවයින පුරා පාසල්වල ඉදිකළ ගොඩනැඟිලි 250ක් අද (4) ජාතික අධ්‍යාපන පද්ධතියට එක් කෙරේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, අධ්‍යාපන ඇමැති නීතිඥ, අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහ අධ්‍යාපන රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගේ සහභාගීත්වයෙන් අද(04) පෙරවරු 10.00 ට පේරාදෙනිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී මෙම ජාතික මහෝත්සවය පැවැත්වෙනවා.

මෙම වැඩසටහනෙහි පළමු අදියර යටතේ සංවර්ධන ව්‍යාපෘති 200ක් එකවර විවෘත කිරීම පසුගිය මාර්තු මාසයේ දී සිදුකෙරුණු අතර, අද ක්‍රියාත්මක වන්නේ එහි දෙවැනි අදියරයි. දෙවැනි අදියරේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 4500ක මූල්‍ය ආයෝජනයක් සිදුකර ඇති අතර, අද දින සිසු අයිතියට පත්වන පාසල් ගොඩනැඟිලි අතර, ප්‍රාථමික ඉගෙනුම් මධ්‍යස්ථාන 68ක්, පන්ති කාමර ගොඩනැඟිලි 52ක්, කණිෂ්ඨ ද්විතීයික විද්‍යාගාර 22ක්, විදුහල්පති නිල නිවාස 31ක්, ගුරු නිවාස 32ක්, තාක්ෂණික ගොඩනැඟිලි 34ක්, සෞන්දර්ය ඒකක 1ක්, ආපන ශාලා 9ක් සහ දන්ත ශල්‍යාගාර 3ක් ඇතුළත් වේ.

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ වැඩ නිමකිරීමට අපේක්ෂිත 18000ක් වන සමස්ත සංවර්ධන ව්‍යාපෘතීන්ගෙන් වැඩ අවසන්ව ඇති ව්‍යාපෘති සංඛ්‍යාව මේ වනවිට 12000ක් පමණ වේ. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන වෙනුවෙන් වෙන් කර ඇති සමස්ත මූල්‍ය ආයෝජනය රුපියල් මිලියන 65000කි.

මීට සමගාමී ව පේරාදෙනිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ නව දේශන ශාලා සංකිර්ණය, සුහුරුපන්ති කාමර හා ශ්‍රවනාගාරය විවෘත කිරීම ද මෙහි දී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරිමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *