තමන්ගේ බොළඳ හැසිරීම නිසා රටම අනතුරේ දමා ඉන් බේරීමට තවත් පුද්ගලයන් දෙදෙනෙකු බිල්ලට දෙන ජනපති

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා පමණක්ද යන්න මේ වනවිට රටේ ජනතාව නගන ප්‍රශ්නයකි.

රටේ ආරක්ෂාව පිලිබඳ නිවැරදිව ක්‍රියාත්මක වීමට නොහැකි වූ හේතු දෙස බැලීමේදී අපගේ අවධානය යොමුවන ප්‍රධාන කරුණක් වන්නේ ජනාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයත්, අගමැතිවරයාගේ උදාසීන ක්‍රියාකලාපයත් මීට සෘජුවම බලපා ඇති බවයි.

ඔවුන් දෙදෙනාගේ තීන්දු තීරණ නිසා ඇති වූ ගැටුම් මෙම හේතුවෙන් රජයත් ජනාධිපතිවරයාත් අතර විශාල ගැටුමක් නිර්මාණය වූ අතර එය රටේ ආරක්ෂාව පැත්තක තබා තම තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රටේ නායකයන් දෙදෙනා ක්‍රියා කරන තත්වයක් දක්වා බරපතල බවට පත්විය.

ඔවුන් දෙදෙනාම තම තමන්ගේ බලය රැකගැනීම කෙරෙහි අවධානය යොමුකළා මිස රටේ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කිරීමට කාලයක් හෝ අවශ්‍යතාවයක් ඔවුන්ට පසුගිය කාලයේ තිබූ බවක් නොපෙනිණ.

මේ හේතුවෙන්ම පාස්කු ප්‍රහාරයට පෙර විවිධ ඔත්තු සේවාවන් මගින් ලබාදුන් තොරතුරු අනුව ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට කාලයක් හෝ අවශ්‍යතාවයක් ඔවුන්ට නොතිබුණේ පෞද්ගලික යුධ පිටියේ දෙදෙනාම යුධ වදිමින් සිටි නිසාවෙනි.

එහි ප්‍රතිඵලයක් ලෙස ආරක්ෂක අංශ අසරණ කරමින්, රටේ ජනතාව අන්ත අසරණ කරමින් පාස්කු ප්‍රහාරය එල්ල විය. ප්‍රහාරයෙන් බිලිගත්තේ ජීවිත තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් පමණක් නොවේ, රටේ සංචාරක ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක රැකියාවල නිරතව සිටි පිරිස් එදා වේල හොයාගනීමටත් අපහසු තත්වයකට ඇද දැමීමට තරම් එම ප්‍රහාරය දරුණු විය.

පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා ප්‍රහාරය වැළක්වීමට අපොහොසත් වුයේ ඔවුන්ගේ වැරදි නිසා මිස ජනපතිගේ වරදක් නිසා නොවන බව පෙන්වීම සඳහා දැන් ජනපතිවරයා, පූජිත් ජයසුන්දර හා හේමසිරි ප්‍රනාන්දු යන පුද්ගලයන් දෙදෙනාට දඬුවම් දීමට අවශ්‍ය කටයුතු නීතිපතිවරයා මඟින් සම්පාදනය කොට ඇත.

ඊට අමතරව තමන්ගේ කීර්තිනාමය ගොඩනගා ගැනීම සඳහා වහාම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට දැඩි උත්සාහයක නිරත වෙයි. ජනපතිවරයා මේ උත්සාහ කරන්නේ කෙසේ හෝ ඉදිරි වසර පහ සඳහාත් තමන් රටේ ජනාධිපති විය යුතු බව ජනතාවට අවධාරණය කිරීමටය. ප්‍රශ්නය වී ඇත්තේ හිතුමතේ, හිතෙන හිතෙන දේ කරන, ළමයෙකු වැනි පුද්ගලයෙකු රට මොහොතක්වත් පාලනය කිරීමට සුදුසු ද? යන්නයි.

තමන්ගේ බොළඳ ක්‍රියා නිසා මුළු රටම අනතුරේ දමා ඉන් බේරීමට තවත් පුද්ගලයන් දෙදෙනෙකු බිල්ලට දෙන පුද්ගලයෙකු රටක් පාලනය කිරීමට සුදුසුද යන්නයි.?

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *