සාෆිට ගල් ගසනා ජනමාධ්‍ය කලාව – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

2019 ජුනි 28 සිකුරාදා එක්තරා පුවත්පතක හෙඩිමෙන් කියැවුණේ CID වාර්තාවෙන් සාෆි සුද්ද කර ඇති බවයි. ඒ අනුව එම ප්‍රවෘත්තිය කියවන්නකු සිතන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දොස්තර සාෆි වැරදිකරු කර ඇති බවට සාක්ෂි තිබියදීත් ඔහු නිර්දෝෂී කරන්නට උත්සාහ කර ඇති බවයි. ඇත්තෙන්ම මෙහිදී ඉහත ජනමාධ්‍ය කර තිබුණේ පැහැදිලිවම ජනමාධ්‍ය කලාව ගණිකා වෘත්තියේ යෙදවීම වැනි කටයුත්තක් බව මගේ අදහසයි. නිදසුනක් වශයෙන් එක් ජාතිවාදී පුවත්පතක් වාර්තා කර තිබුණේ සාෆි වැරදිබව කියැවුණු ප්‍රකාශ පමණයි.

2019 ජුනි 27 වැනිදා වෛද්‍ය සාෆි සම්බන්ධ නඩුව කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ කැඳ වූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිටු 210 ක වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවා.

සිද්ධියට අදාළ සැකකාර වෛද්‍ය සාෆි සහබ්දීන් සමග වැඩ කළ අදාළ සැත්කම් සිදු කළ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් උපස්ථායකයින් හෙද නිලධාරීන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල වලින් සාක්ෂි ලබා ගත් බව CID ය උසාවියට දැනුම් දුන්නා එහිදී සහාය වෛද්‍යවරුන් දොළොස්දෙනෙක් ප්‍රකාශ ලබාදුන් බවත් ඉන් එකොළොස් දෙනෙක් සඳහන් කර තිබුණේ වෛද්‍ය සාෆි සිසේරියන් සැත්කම් කළ මවුවරුන්ගෙන් පැලෝපීය නාල උපකරණයක් මඟින් හෝ අතින් හෝ තද කර හෝ මිරිකූ බවක් තමන් නොදුටු බවය කියා CID ය කියනවා.

ඒ අතරතුර ප්‍රකාශ ලබාදුන් එක් වෛද්‍යවරයකු කියා ඇත්තේ තමන් වෛද්‍ය සාෆි සමඟ සැත්කම් 150ක් පමණ කර ඇති බවයි. සාෆි වෛද්‍යවරයා මුස්ලිම් මවුවරුනට විශේෂ කරුණාවක් දක්වන බවත්, දෙමළ සිංහල අයට එසේ නැති බවත් එම වෛද්‍යවරයා කිව් බව CID ය කියා තිබුණා. එසේම මුස්ලිම් දරුවන් ගර්භාෂයෙන් පිටතට ගන්නා විට සාෆි වෛද්‍යවරයා “අල්ලාහු අක්බර්” කියන බවත්, අදාළ වෛද්‍යවරයා කියා තිබුණා.එසේම එකී වෛද්‍යවරයා කියා ඇත්තේ මුස්ලිම් කාන්තාවන් LRT සැත්කම් කරන්නට ඉල්ලා සිටියත් පස්සේ බලමු කියා සාෆි වෛද්‍යවරයා කියන අතර සිංහල මව්වරුන්ට එය බලෙන් කරන්නට ඉල්ලා සිටින බවයි. නමුත් එම කතාව කියා ඇත්තේ වෛද්‍යවරුන් 12 ක් අතරින් එක් අයෙක් පමණයි.

එකොළොස් දෙනෙක් නොදුටු එකොළොස් දෙනෙකුට ඇස නොගැසුණු දෙයක් එක් වෛද්‍යවරයෙකුගේ ඇස ගැටීම සම්බන්ධව යමක් කිව නොහැකි වුවත් CID වාර්තාව සඳහන් කරන ආකාරයට එකී වෛද්‍යවරයා පවා කියා ඇත්තේ සිංහල දෙමළ මව්වරුන්ට නැති විශේෂ කරුණාවක් මුස්ලිම් මව්වරුන්ට දක්වන්නේය, මුස්ලිම් දරුවන් පිටතට ගන්නා විට “අල්ලාහු අක්බර්” කියන්නේ වැනි කරුණු මිස සිංහල හෝ දෙමළ කතුන්ගේ පැලෝපීය නාලවලට හානි සිදු කරනු තමන් දුටු බව නොවේ. (උපුටා ගැනීම ලංකාදීප)

ජාතියඅනුව රෝගීන්ට විශේෂ කොට සැලකීමක් වෛද්‍ය සාෆි කර ඇත්නම් එහි ආචාර ධාර්මික ගැටළුවක් පවතින නමුත් සිසේරියන් සැත්කම් අතර වඳ සැත්කම් කළේය නැත්නම් පැලෝපීය නාලවලට හානි කලේය යන චෝදනාව සමඟ එය අදාල නැහැ. මුස්ලිම් මව්වරුන් ඉල්ලා සිටියද එල් ආර් ටී සැත්කම් නොකර සිංහල මව්වරුන්ට එය කරන්නට බල කලේය යන්නත් සදාචාරත්මක වරදක් වුවත් ඒය බලහත්කාරයෙන් වඳ සැත්කම් කිරීමක් මිස හොර රහසින් දෙයක් නෙමෙයි.

CID ය අධිකරණයට ඉදිරිපත් කළ කරුණු අනුව ඔවුන් නිර්වින්දන වෛද්‍යවරුන් දස දෙනෙකුගෙන් ද ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. එම වෛද්‍යවරුන් දහදෙනා අතරෙන් එක වෛද්‍යවරියක් කියා තිබුණේ වෛද්‍ය සාෆි පැය දෙකක් තුළ සැත්කමක් අටක් සිදුකරන බවයි. එසේම එකකට විනාඩි පහළොවක් පමණ ගත කරන බවත් ඇය කියූ බවත්, CID වාර්තාවේ සඳහන් වුණා. මුස්ලිම් කාන්තාවන්ට තුන්වෙනි දරු ප්‍රසූතියෙන් පසුව LRT සැත්කම් නොකරන අතර එය ආගමට පටහැනි බවද අදාළ වෛද්‍යවරිය කියා තිබුණා.

ඊට අමතරව එම වෛද්‍යවරයා කියා තිබුණේ සිංහල මව්වරුන්ගේ සැත්කමේදී දරුවා පිටතට ගැනීමේදී වෛද්‍ය සාෆි සහයක වෛද්‍යවරයා වෙනත් වැඩකට යොමුකරන බවත්, එක් ස්ථරයක් පමණක් මසා දමන බව තමන් දුටු බවත් මුස්ලිම් කාන්තාවන්ගේ ස්තර දෙකක් මසන බැවින් ඒ සම්බන්ධව රෝහල් කොරිඩෝවේදී තමන් සමග සාෆි වෛද්‍යවරයා බහින්බස් වීමක් සිදු වූ බවත් එහිදී ඔහු මට සල්ලි තියෙනවා දේශපාලන බලය තියෙනවා, මට ඕන දෙයක් කරන්න පුළුවන් බවත් සාෆි වෛද්‍යවරයා පැවසූ බවයි. (උපුටා ගැනීම ලංකාදීප)

අදාළ වෛද්‍යවරියගේ ප්‍රකාශය අනුව ස්ථර එකක් පමණක් මැහුම් දැමීම වැනි කරුණු සම්බන්ධව වෛද්‍ය මතය කුමක් දැයි අප දන්නේ නැහැ. නමුත් අපට අවශ්‍ය වන්නේ ඉහත සඳහන් කල පුවත්පත සඳහන් කරන ආකාරයට උසාවියෙදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාෆි වෛද්‍යවරයා සුද්ද කරන්නට උත්සාහ කළ බවක් ලංකාදීප පුවත්පත අදාළ ප්‍රවෘත්ති වාර්තා කරනු ලැබ තිබුණු ආකාරය අනුව මැදහත් පාඨකයෙකුට නොපෙනෙන බව පෙන්වීමටයි.

උදාහරණයක් වශයෙන් වෛද්‍ය සාෆි විසින් දරුවකුගේ මවකගේ නම් මාරු කිරීමක් නැත්නම් BSD අංකයක් මාරු කිරීමක් සම්බන්ධව කරුණු අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එම දරුවන් නීත්‍යානුකූල නොවන ආකාරයට රැගෙන ගොස් ඇති බවත් වෛද්‍ය සාෆි ඊට අනුබල දී ඇති බවත් CID ය උසාවියට කියනවා. වෛද්‍ය සාෆි ගේ පව් හෝදන්නට උත්සහ කළා නම් රහස් පොලිසිය ඒ කරුණු අනාවරණය කරයිද?

ඉහත කරුණු අනුව පැහැදිලිව පෙනෙන්නේ බොරු චෝදනා කරමින් වෛද්‍ය සාෆිට ගල් ගැසීම මුවාවෙන් මෙරට මුස්ලිම් විරෝධයක් ඇවිලීමෙන් තමන්ට හිතවත් දුෂ්ඨ දේශපාලන බලවේග බලයට පත් කරගන්නට උත්සාහ කළ බලවේග වල ප්‍රකාශකයන්ට CID වාර්තාව නිසා බලවත් හානියක් සිදුවී ඇති බවයි.

විශේෂයෙන්ම ජාතිවාදින් සහ ඔවුන්ට හිතවත් මාධ්‍යය උත්සාහ කළේ වෛද්‍ය සාෆි තව්හිඩ් ජමත් සාමාජිකයෙකු බව කීමට සහ එම සංවිධානයේ අරමුණු ඉටුකර ගන්නට ඔහු සිංහල කාන්තාවන්ට වඳ සැත්කම් කර ඇති බව කීමටයි. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උසාවියට පවසා ඇත්තේ වෛද්‍ය සාෆි සහබ්දීන් තව්හිඩ් ජමත් හෝ වෙනත් කිසිදු ත්‍රස්තවාදී කණ්ඩායමක සාමාජිකයෙක් බව කිසිදු බුද්ධි අංශයේ හෝ කිසිදු ආරක්ෂක අංශයකින් තොරතුරු අනාවරණය කර නැති බවයි.

ඒ විතරක් නෙමෙයි CID වාර්තාවට අනුව වෛද්‍ය සාෆි සිසේරියන් සැත්කම් කළ මවුවරුන්ගේ පැලෝපීය නාල අතින් හෝ උපකරණයකින් තද කිරීමක් මිරිකීමක් සම්බන්ධයෙන් මෙතෙක් කළ පරීක්ෂණ වලට අදාල සාක්ෂි වලින් අනාවරණය වී නැති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් ඔවුන් කළ පර්යේෂණ අනුව ඔවුන්ගේ නිගමනය ඒ ආකාරයෙන් ඉදිරිපත් කර තිබුණත්, පරීක්ෂණ තවමත් මුළුමනින් නිමවී නැති බවත් වාර්තාව අනුව පැහැදිලියි. නමුත් ජාතිවාදී දේශපාලනය හරහා ගොඩ යෑමට උත්සාහ කරන දේශපාලන බලවේග වලට උල්පන්දම් දෙන ජනමාධ්‍යවලට අවශ්‍යව ඇත්තේ හේතු දැක්වීමකින් පවා තොරව වෛද්‍ය සාෆි ගිලිටිනයට යැවීමට බවයි ඔවුන්ගේ හැසිරීම අනුව පෙනෙන්නේ.

නඩු නැතිව මිනිසුන් මියගිය ,කප්පම් සඳහා තරුණයන් අතුරුදන් කළ යුගයක් පැවති කාලයේ මෙකී මාධ්‍ය අනුගමනය කළේ කසාය බිව් ගොලුවන්ගේ ප්‍රතිපත්තිය බවත් අප අමතක කළ යුතු නැහැ . ඔවුන් අපේක්ෂා ගැන ඊළඟ ජනාධිපති අපේක්ෂකයාට මෙරට පමණක් නොව ඇමරිකාවේත් නඩු පැවරී ඇත්තේ පරීක්ෂණ වලින් තොරව කළ අපරාධ නිසයි. ඔවුන් තවමත් අපේක්ෂා කරන්නේ නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ ජාතියේ අපරාධ පරීක්ෂණ බව පැහැදිලිය. නමුත් වත්මන් අපරාධ පරීක්ෂණ විනිවිදභාවයෙන් සිදුවීම ගැන ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාව සතුටු වන බව ඉතා පැහැදිලියි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *