හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති අත්අඩංගුවට

කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින  හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිස් අත්අඩංගුවට පත්වුවද තවදුරටත් ඔවුන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. 

රෝහලෙන් ඉවතට ගැනීම සඳහා බලයලත් රෝහල් අධිකාරීවරයාගේ අනුමැති අවශ්‍ය අතර හේමසිරි ප්‍රනාන්දු මහතා  මේ වන විට සිටින තත්ත්වය අනුව රෝහලෙන් පිටතට ගෙනයාමට අවසර දිය නොහැකි තත්ත්වයක් පවතින  බවද වාර්තා විය. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා විසින් ඒ බව තහවුරු කර ඇත. 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්  විමර්ශනය සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුවේ වාර්තාවට අනුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව පරීක්ෂණ ආරම්භ කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණි. 

ඒ අනුව අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මෙම නිලධාරීන් දෙදෙනාට දැනුම් දී තිබූ අතර ඔවුන් දෙදෙනාම රෝගී වීම හේතුවෙන් රෝහල ගතව ප්‍රතිකාර ලබයි. 

මෙම තත්ත්වය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණිය නොහැකි බවත් වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් ඔවුන් ඉල්ලා තිබූ නමුත් පස්වරුව වන විට නීතිපතිවරයා නියෝග දී තිබුණේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙසයි.  

මේ මොහොත වන විට තත්ත්වය මෙවැන්නක් වුවත් ජනාධිපතිවරයාගේ විමර්ශන කමිටුවේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් පන නැගී තිබුණි.

විමර්ශන ආරම්භ වීමටත් පෙර ජනාධිපතිවරයා පැවසුවේ හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිය  ක්‍රියාත්මක කරන බවයි. 

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් පුද්ගලයින් 250කට අධික සංඛ්‍යාවක් මියයෑමට සැලැස්වීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ ඔවුන් දෙදෙනාට මිනීමැරුම් චෝදනා ගොණු  කිරීමට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බව වාර්තා වී තිබුණි.

එහෙත් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ චෝදනා ගොණු කිරීමට තරම්  සාක්ෂි නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බවත් එහෙත් කෙසේ හෝ ඒ  යටතේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවෙන් වැඩබලන පොලිස්පතිවරයාට බලපෑම් එල්ල වූ බවද වාර්තා විය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *