|

පොළොව රවුම් කියන්නේ කවුද? – නිශාන්ත කමලදාස

අපේ අත්දැකීම් පවසන්නේ පොළොව පැතලි බව ය. රවුම් පොළොවක නොවැටී සිටින්නට බැරි ය. අහස් යානයකින් යන විටවත්” පොළොව රවුම් යැයි පෙනෙන්නේ නැත. එවන් තත්ත්වයක් යටතේ පොළොව රවුම් යැයි ඊනියා විද්‍යාඥයන් කීවාට, අප විශ්වාස කළ යුත්තේ මන්ද?

පොළොව රවුම් නොව, පැතලි යැයි අදටත් විශ්වාස කරන සැලකිය යුතු ජනතාවක් ලොව වෙසෙති. ඒ පිරිසට ඔබ අයත් නොවන්නේ නම්, ඔබ එය රවුම් යැයි විශ්වාස කරන්නේ කුමන පදනමක් මත ද?

ඇතැම් විට එය හඳට ගිය පුද්ගලයන් හෝ අභ්‍යාවකාශයට ගිය යානා, අභ්‍යවකාශයේ සිට ගන්නා ලදැයි කියන ඡායාරූප මත විය හැකි ය. නැතිනම් ඔබ කියවූ පොත පතක තිබුණා විය හැකි ය. වැඩි දෙනකු එසේ අදහන නිසා විය හැකි ය. පාසලේ ඔබ උගත් ආකාරය නිසා විය හැකි ය. එහෙත්, ඒ සියල්ල ආරංචි ය. දෙවැනි පාර්ශ්වයකින් ඔබ අසන තෙවැනි පාර්ශ්වයක ආරංචි ය. ඔබ ඔබේ පියවි ඇහින් දැක නැති ඔබ පෞද්ගලිකව අත්විඳ නැති ආරංචි මාත්‍ර පමණ ය.

ඔබ ඒවා විශ්වාස කරන්නේ නම්, පොත්පත්වල තිබෙනවා යැයි කියන තව බොහෝ දේ ද විශ්වාස කළ යුතු ය. ඒවා අතර මරණින් මතු දිව්‍ය ලෝකයේ යන කතා ද, අපායේ යන කතා ද තිබේ. රාවණා රජ්ජුරුවන් දඬු මොනරයකින් අහස සැරි සැරුවේය යන කතා ද තිබේ. දෙවියන්, බඹුන්, යක්ෂයන්, ප්‍රේතයන් ගැන කතා ද තිබේ. ඒවා ද ඔබ දැක නැති, එහෙමකට සාක්කි නැති දෙවැනි පාර්ශ්වයකින් අසන තෙවැනි පාර්ශ්වයක කතා ය.

ඔබ ඇතැම් විට ඒවා ද විශ්වාස කරනවා ඇත. එහෙත්, පළමුවැන්න එනම් පොළොව රවුම් බව විශ්වාස කරන බොහෝ විද්‍යාඥයෝ අප සඳහන් කළ සෙසු කතා ආගම් කර්තෘන් විසින් හෝ ඒ එක් එක් යුගයේ සිටි මිනිසුන් විසින් හෝ ගොතන ලද සුරංගනා කතා ලෙස බැහැර කරන්නෝ ය.

නිගමන දෙකේ ම පදනම එකක් නම්, ආරංචි මාත්‍ර පමණක් නම්, එකක් පිළි අරගෙන අනෙක බැහැර කරන්නේ කෙසේ ද?

තනි දැනුම හා පරීක්ෂා කළ නොහැකි දැනුම

තනි මිනිසකුට සියල්ල තමන්ට ම අත්දැක සැක හැර දැන ගත නොහැකි ය. එසේ කිරීම ප්‍රායෝගික වන්නේ නැත. ඒ නිසා ම, අපට දෙවැනි පාර්ශ්වයක් හරහා කියන තෙවැනි පාර්ශ්වයක් ගෙනෙන යම් යම් දේ විශ්වාස කිරීමට සිදු වේ. ඒ විශ්වාස වෙනත් ලෙසකින් ප්‍රතික්ෂේප වූවහොත් මිසක, දරා ගෙන සිටීමට සිදු වේ.

ඒ ඇරෙන්නට දෙවැනි කාණ්ඩයට අයත් කතන්දර මෙන් නොව, පළමු කාණ්ඩයට අයත් පොළොව රවුම් ය යන නිගමන පරීක්ෂා කර බැලිය හැකි ය. ඒ සඳහා කළ යුත්තේ නැව් නැග එක දිශාවකට ගමන් කර, නැවත එතැනට පැමිණීමට හැකි දැයි බැලීම ය. පෞද්ගලිකව නැතත්, රට රටවල් අතර සංචාරය කරන අයට මේ වටය ගැසීම අත්දකින්නට අවස්ථාවක් ලැබේ. ඒ අපේ පැතලි පොළොවේ සිතියමේ අගට ඇති, ජපානයේ සිට මුලට ඇති අමෙරිකාවට යෑමට ගතවන ගුවන් කාලය බැලීමෙනි. ඊට අමතරව චන්ද්‍රග්‍රහණය වශයෙන් හඳුන්වන පොළොවේ සෙවණැල්ල සඳ මත පතිත වීම නිරීක්ෂණය කිරීමෙනි. ඒ සම්බන්ධයෙන් එන පුරෝකථන නිවැරැදි බව අත්දැකීමෙනි.

එහෙත්, දෙවැනි කාණ්ඩයට අයිති කතන්දර එසේ පරීක්ෂා කර බැලිය නොහැකි ය. මැරුණු කෙනකු සමඟ නැවත සම්බන්ධවන්නට අපට නොහැකි නිසා ය. ඒ නිසා, ඒවා විශ්වාස කිරීමට සිදුවන්නේ නැවත හගිස්සවා ගැනීමකින් තොරව ය.

පළමු කාණ්ඩයට අයිති නිගමනය පරීක්ෂාවට භාජනය කෙරෙන නිසා, ඇතැම් විට කලක දී ඉවත් කරන අතර, දෙවැනි කාණ්ඩයට අයිති කතන්දර එසේ නොකළ හැකි නිසා දිගට ම පවතින්නේ ය. දෙවැනි ඒවායේ වටිනාකම කාලයත් සමඟ වියැකී යා හැකි ය. උදාහරණයක් ලෙස ලෝකය ඇට්ලස් නම් දෙවියා විසින් ඔසොවගෙන සිටින්නේ ය යන කතාව තව දුරටත් පිළිගන්නා මිනිසුන්, පොළොව පැතලි යයි විශ්වාස කරන අය අතර වුව ද, අද වන විට ලොව නැතිවන්නට පුළුවන.

මේ රටේ සිද්ධ වන දේ අනුව, අප රට ආරක්ෂා කරන්නේ යැයි විශ්වාස කළ සීවරම් දෙවිවරු ද, තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් ද සැබෑවටම ඉන්නවා දැයි මිනිසුන් සැක කරන්නට පටන් ගෙන ඇත. කාලෙකින් සක්‍ර දෙවියන් පොළොවට සම්ප්‍රාප්ත නොවුණු නිසාවෙන්, උන්නාන්සේගේ පඬුපුල් අසුනේ කතාව ද මිනිසුන් තව දුරටත් විශ්වාස නොකරතැයි සිතිය හැකි ය.

චිමිනයෙන් බැස, හොඳ ළමයින්ට තෑගි දෙන නත්තල් සීයාගේ කතාව පවා ළමයින් යම්තම් උස මහත් වෙන කොට සිනා සී ඉවත දමන ලෝකයක,

මෙවැනි කතන්දරවලට වැඩිහිටියන් අතර තවමත් පණ තිබෙන්නේ කෙසේ දැයි ප්‍රශ්නාර්ථයකි.

මේ බොහෝ කතා අහිංසක ය. ඒවා නිර්මාණය කළ අයගේ අභිලාශය වන්නට ඇත්තේ, මිනිසුන් නිසි මඟට යොමු කිරීම ය. ඔවුන්ට සැනසීම, සුරක්ෂිතතාව ලබා දීම ය.

එහෙත්, ඇතැම් කතා ඒ තරම් ම අහිංසක නැත. ආගම වෙනුවෙන් මිනිසුන් මරා දැමීම උදෙසා සිය ජීවිතය පිදීමෙන් දිව්‍ය ලෝකයට යෑමත්, ඒ පින හේතුවෙන් කන්‍යාවන් 72 කු හිමි වීමත්, මිනිසුන් සිය දෙනකුගේ පුරුෂ ශක්තිය හිමි වීමත්, වයසට නොයා ජීවත් වීමට හැකි වීමත් අඩංගු කතාවක් ද තිබේ. ඒ කතාව අහිංසක නැත. ඒ කතාව විශ්වාස කරන මිනිසුන්ට කළ හැකි විනාශය අසීමිත ය. ඒ නිසා මේ කතන්දර දෙස අප විචාරශීලීව බැලිය යුතු යුගයක් එළැඹ තිබේ.

ඒ කතන්දරය ඇත්තේ මුස්ලිම් ආගමේ එක්තරා ප්‍රභේධයක ය. සෙසු මුස්ලිම් ආගම අදහන්නන්ට ද, බුද්ධාගම හා වෙනත් ආගම් අදහන්නන්ට ද අපේ ආගමේ නම් එවැනි නපුරු කතන්දර නැතැයි සැනසිය හැකි ද?

අවාසනාවට බැරි ය. මහාවංසය ද කතා පොතකි. සැවොම නැතත්, සිංහල බෞද්ධයන් අතර එය අදහන මිනිසුන් රාශියකි. ඒ පොතේ එක කතන්දරයකට අනුව, දුටුගැමුණු රජතුමා, යුද්ධයෙන් මිනිසුන් බොහෝ පිරිසක් මිය යෑම සම්බන්ධයෙන් පසුතැවිලි වෙමින් සිටියේ ලු. ඔහු සනසන්නට භික්ෂූන් වහන්සේලා පවසා ඇත්තේ, ඔහු අතින් මිය ගොස් ඇත්තේ මිනිසුන් එක හමාරක් පමණක් බව ය. ඒ තිසරණ සහිත පන්සිල් ගත් එක් අයකු හා තව භාගයකි. භාගය කුමක් නිසා වූයේ දැයි මට මතක නැත. එහෙත් එයින් අනියමින් කියවෙන කාරණය නම්, සෙසු මිනිසුන් මිනිසුන් නොවන බව ය. ඒ කතන්දරය ද මතුපිටින් පෙනෙන තරමට අහිංසක නැත.

ආගම්වල තිබෙන කතන්දර අප ගත යුත්තේ ආරළු බුරළු ඇරලා ය. ඒ ගැන විචාරශීලීව බලමින් ය. එහෙත්, එවැන්නකට මඟ පෙන්වීමක් බොහෝ පූජකයන් අතින් නොකෙරෙන්නේ ය. ඔවුන් කැමැති, තව ආරළු බුරළු එක් කිරීමට ය.

ඕනෑ ම ආගමක දර්ශනයක් තිබේ. ඒ දර්ශන, සම්පූර්ණයෙන් නොවෙතත්, බොහෝ විට මිනිසුන්ට සැනසීම ගෙනෙන මඟ පෙන්වන ඒවා ය.

උදාහරණයක් ලෙස, අෂ්ඨ ලෝක ධර්මයෙන් කම්පා නොවී ජීවත් වීමෙනුත්, ඇලීම් ගැටීම් නැතිව ජීවත් වීමෙනුත් ඇති වන සැනසුම මහත් ය. වෛරයෙන් වෛර නොසන්සිඳෙන බව කීමෙනුත්, අසල්වැසියාට ප්‍රේම කරන්නට යැයි කීමෙනුත් ඇතිවන සාමය ඉමහත් ය.

ආයතනික ආගම්

එහෙත්, ආගම පවත්වාගෙන යෑම සඳහා ආයතන අවශ්‍ය වූ විට, මේ දර්ශනය වටකොට කතන්දර එලනු ලැබී ය. ඒ, ආයතන පවත්වා ගෙන යෑම සඳහා බැතිමතුන්ගේ අනුග්‍රහය අවශ්‍ය වූ නිසා ය. ඒ ආකර්ෂණීය කතා හරහා ආයතනයේ පාරිභෝගිකයන් – මෙහි දී නම් බැතිමතුන් – ආයතනයට බැඳ තැබුණේ ය.

මේ කතා බොහෝමයක අභිලාෂය වූයේ, තම ආගම ලොව ශ්‍රේෂ්ඨම ආගම බවට බැතිමතුන්ට හගිස්සවන්නට ය. ඒ නිසා, ආගමික ශාස්තෘන්ට දිව්‍යමය බලයක් ඇතැයි ප්‍රකට කරන කතා ද ආගමික සාහිත්‍යයට එකතු විය. සිදුහත් කුමරු ඉපදුණු ගමන් පාද තබා ඇවිදින්නේ ඒ අනුව ය. ඒ තබන හැම පාදයක් ම පිළිගැනීමට මඩින් නොව, ගොඩින් නෙළුම් මල් මතුවන්නේ ඒ අනුව ය. ක්‍රිස්තුත් වහන්සේ මැරී උපදින්නේ ඒ අනුව ය. බුදුරජාණන් වහන්සේ ද, ක්‍රිස්තුත් වහන්සේ ද ශ්‍රේෂ්ඨ මිනිසුන් ය. ඔය කතා නැතුවත්, ඔවුන්ගේ ගුණ කන්දේ මහත ම අපට ඒ ශාස්තෘන් වහන්සේලා ගැන ගෞරවයක් ඇති කිරීමට ප්‍රමාණවත් ය. එහෙත්, ආයතනගත ආගම් ඒවායින් සෑහීමකට පත් වන්නේ නැත. හැම ආගමකම එවැනි විය නොහැකි කතා එකතුවක් තිබේ. එවැනි කතාවක් විශ්වාස කළ කෙනකුට විශ්වාස නොකළැකි දෙයක් නැත. ‍

මේ ආගමික ආයතනවල අද ස්වරූපය වෙළෙඳ ව්‍යාපාරයකට අබ මල් රේණුවකින්වත් වෙනස් නැත. ඔවුන්ට පාරිභෝගිකයන් අවශ්‍ය ය. ඒ සඳහා පාරිභෝගිකයන්ට ඉල්ලුමක් ඇති භාණ්ඩ හා සේවා ලබා දීම අවශ්‍ය ය. ඔවුන් කරමින් සිටින්නේ එය ය. පාංශුකූලය ඇතුළු සියලු චාරිත්‍රවල මුඛ්‍ය අදහස උවැසි උවැසියන්ගේ ඒ සේවා අවශ්‍යතා සම්පූර්ණ කිරීම ය. ඒවාට ඉල්ලුම ඇති කිරීමට, එම ඉල්ලුම නොකඩවා පවත්වා ගැනීම සඳහා ද වෙළෙඳ ව්‍යාපාරයකට, ආයතනයකට මෙන් ම ආගමකට ද වෙළෙඳ ප්‍රචාරණය අවශ්‍ය ය. පෙරහර පවත්වන්නේ ද, එම වෙළඳ ප්‍රචාරණයේ අදියරක් ලෙස ය. ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් බලහත්කාරයෙන් මිනිසුන්ගේ කන්වලට ගොඩ වදින්නේ ද ඒ මාකටින් ය. ඒ සියල්ල පාරිභෝගි

කයන් දිනා ගැනීමටත්, ඔවුන් වෙනත් තරගකාරී ආයතන වෙතට ඇදෙන්නේ නැතිව තමන් වෙත තබා ගැනීමටත් ය.

වෙනත් ආගම් බැහැර කළ යුතු බවට නියෝග නිකුත් කිරීම ද ආගම ආයතනගත වීමත් සමඟ අවශ්‍ය විය. ඒ, ආගමේ බැතිමතුන් වෙනත් ආගම්වලට නොයා රඳවා ගැනීමට ය. මිථ්‍ය දෘෂ්ඨිකයන් අපායේ ගියේ ඒ වෙනුවෙන් ය.

මෙසේ ආයතනගත ආගම ගොඩනැගුණේ, ආගමේ දර්ශනය මරා ගෙන ය. ආයතන අවශ්‍ය බව කියන්නේ, දර්ශනය දිගින් දිගට ම පවත්වා ගැනීමට ය. එහෙත්, ආයතන වඩාත් උත්සුක වූයේ, දර්ශනයට පිටුපා ආයතන ශක්තිමත් කිරිමට ය. ආයතනගත ආගම ශක්තිමත් කිරීමට ය.

දර්ශනය මරා උපන් ආගම

පාස්කු ඉරිදා ඛේදවාචකය ආගමේ නාමයෙන් කෙරෙන්නේ, මේ බව අපට මුහුණටම ඇඟිල්ලෙන් ඇන පෙන්වන්නට ය.

අප ඉදිරියේ ඇති අභියෝගය වන්නේ, ආයතනගත ආගම ශක්තිමත් කිරිම උදෙසා නිර්මාණය කළ කතන්දර බැහැර කිරීම ය. ආගමික දර්ශන තුළ ඇති සාරය උකහා ගැනීමට ඒවාට නිසි විවරණ ලබා ගැනීම ය. ඒවා විචාරය කිරීම ය. ශාස්තෘන් වහන්සේලා විසින් තමන්ගේ ධර්ම දේශනාවලින් අපේක්ෂා කළ ශාන්ත සුවය ලබා ගැනීමට, සාමය ළඟා කර ගැනීමට ජනතාවට අවකාශයක් ලබා දීම ය. ඒ සඳහා ආයතනගත ආගම්වලින් අනුග්‍රහයක් ලැබේ යැයි සිතිය නොහැකි ය.

මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් “බව තරණය“ ලියමින් උත්සාහ කළේ, ඒ සඳහා මැදිහත් වීමක් කරන්නට ය.

ආයතන, ආගමික වටපිටාව තුළ වුව ද ධර්මය පරිහරණය කර, විච්චූර්ණ කතන්දරවලින් නිදහස් කර, ධර්මය මතු කර ගැනීමට කටයුතු කරන පූජකයන් ද අපට කලාතුරකින් මුණ ගැසී ඇත. වල්පොල රාහුල හිමියන්, ගල්කන්දේ ධම්මානන්ද හිමියන්, අර්නස්ට් පෝරුතොට පියනම මෙන් ම, වත්මන් පාප් වහන්සේ ද ඒ අතර කැපී පෙනෙන චරිත ය.

එහෙත්, සම්ප්‍රදායික ආයතනගත ආගමෙන් ඔවුන්ට එල්ල වෙන අභියෝග සුළු පටු නොවේ. වත්මන් පාප් වහන්සේ ඉවත් කිරීමේ වෑයමක් මේ වන විට ක්‍රියාත්මක වන අතර, අගරදගුරුවරුන්ගේ සහය ඒ සඳහා පතන ලිපියක් මේ වන විට පල්ලිය තුළ සංසරණය වන බවට ආරංචි ලැබෙමින් පවතින්නේ ය. එක් පැත්තකින් ඔවුන්ගේ මැදිහත් වීම් වඩා ප්‍රතිඵල දායක වන අතර, ඒවා මෙසේ වඩා අභියෝගාත්මක බවට ද පත් වෙමින් තිබේ. අප කළ යුත්තේ එවැනි යතිවරයන් තනි නොකර, ඔවුන්ට ශක්තිය සැපයීම ය.

කලාව කලාව සඳහා නොව, ජනතාව සඳහා විය යුතු ය. කලාව, සංස්කෘතිය මෙන් ම, ආගම ද ආගම සඳහා නොව, ජනතාව සඳහා විය යුතු ය. ජනතාවගේ විමුක්තිය සඳහා විය යුතු ය. එය සාක්ෂාත් කර ගත හැක්කේ ආගම දේව වාක්‍යයක් ලෙස නොව, විමසීමෙන් තෝරා බේරා ගෙන භාවිත කළ යුතු දෙයක් බවට පත් කර ගැනීම තුළ ය. ඒ සඳහා මිනිසුන් යොමු කිරීම තුළ ය. ඒ වෙනුවෙන් ප්‍රමාණවත් සංවාදයක් ඇති කිරීම තුළ ය.

බුද්ධාගම තුළ එය කළ යුත්තේ බෞද්ධයන් ය. සෙසු ආගම්වල ද ඒ එක් එක් ආගමේ බැතිමතුන් ය.

මේ සංවාදය පමා කිරීම තුළ සිදුවන්නේ, තව තවත් කළු පාස්කු ඉරිදාවල්, අවිනිශ්චිත වෙසක් දින උදා වීම ය. පූජ්‍ය ස්ථානයකටවත් ගොඩ වැදිය නොහැකි ලෙස මිනිසුන් අසරණ වීම ය.

අපේ වගකීම

ත්‍රස්තවාදින් අල්ලා දඬුවම් පැමිණවීම බාර ආණ්ඩුවට ය. ඒ සඳහා අපට කළ හැක්කේ හා කළ යුත්තේ තොරතුරු සැපයීමෙන් දායක වීම ය. ඊට අමතරව, ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන හා නොකරන ක්‍රියාමාර්ග දෙස බලා සිට, අවශ්‍ය අවස්ථාවල ආණ්ඩුව නිසි මඟට ගැනීමට මැදිහත් වීම ය. නිසි තැන ප්‍රශ්න කිරිම ය.

එහෙත්, ත්‍රස්තවාදයේ මතවාද පරාජය කිරීම ආණ්ඩුවකට පමණක් කළ නොහැකි ය. එය ආගම් අදහන අපේ ද වගකීමකි. බොහෝ දෙනකු ආගම සළකනුයේ ප්‍රශ්න කිරීමට නොහැකි, හිස් මුදුණින් පිළිගත යුතු පරම සත්‍යය ලෙස ය. එය පිළි නොගැනීම ඇතැම් ආගමික නිකායවල මරණයට පත් කිරීමෙන් ද, තවත් ආගම්වල මරණයෙන් පසු අපා දුක් විඳීමට සැලැස්වීමෙන් ද, දඬුවම් ලැබිය හැකි පාපයකි.

මුලින් ම කළ යුත්තේ මෙන්න මේ දම්වැලෙන් නිදහස් වීම ය. ආගම් ඇති වුණේ, වසර දෙදහස් ගණනකට උඩ දී ය. එදා මෙදා තුර මේ ආගමික ඉගැන්වීම්වලට බොහෝ දේ එකතු වන්නට ඇත. ආගමික ශාස්තෘන් වහන්සේලා කී දෙය වචනයක් පාසා

පිළිගනු ලැබූව ද, අද පවතින්නේ එය ම යැයි හගිස්සවා ගන්නට ක්‍රමයක් නැත. එසේ තිබියදී, අන්ධ ලෙස ඒ සියල්ල පිළිගැනීමට කිසි ම ආගමක බැතිමතෙකුට අයිතියක් නැත.

ආගම් බොහෝමයක් බිහි වෙද්දී පැවැති වටපිටාව අද වන විට නැත. ඒ නිසා ද ඇතැම් ආගම්වල සඳහන් දේ මේ වනවිට යල් පැන ගොස් තිබේ. ඒ නිසා ම, ආගම් විමසීම හා ඒවායේ හරය ගෙන පිට පොත්ත විසි කර දැමීම, අද දවසේ කළ යුතු කාර්යයක් වන්නේ ය. ඒ සඳහා කෙනකුට අවශ්‍ය නම්, ආගමෙන් ම උත්තරයක් සොයා ගත හැකි ය. ඒ සඳහා බුදුන්ගේ පහත සඳහන් වදන් ද භාවිත කළ හැකි ය.

කාලාමයෙනි, තොප විසින් සැක කරන්නට නිසි මැය, විචිකිත්සා කරන්නට නිසි මැය. සැක කටයුතු තැන ම තොපට විචිකිත්සාව උපන. කලාමයෙනි, තෙපි එව, අනුශ්‍රව කථායෙනුදු නො ගණුව (ආරංචි මාත්‍රයෙන්, අසන්නට ලැබුණු පමණින් පිළිනොගතයුතු බව), පරම්පරාකථායෙනුදු නොගණුව (පාරම්පරිකව පැවතෙන විශ්වාස, ඇදහිලි අරුත්ගැන්වීම්වලට අනුකූල පමණින්ම පිළි නොගත යුතු බව), තෙල මෙසේ වී ලැ යි ද නොගණුව (යමක් “මේ අයුරින් සිදුවුණිලු” යන අදහසින් පමණක් පිළි නොගතයුතු බව), අපගේ පෙළ හා යෙදෙතී ද නොගණුව (තම තමන්ගේ පිළිගත් පිටක සම්ප්‍රදාය අනුව, පොත පත සමඟ ගැළපුණු පමණින් නොපිළිගත යුතු බව), තර්‍කාග්‍රාහයෙනුදු නොගණුව (හුදු තර්කානුකූල වූ පමණින් පිළි නොගත යුතු බව), නයග්‍රාහයෙනුදු නොගණුව (හුදු න්‍යායන්ට අනුකූල පමණින් පිළි නොගතයුතු බව), ආකාරපරිවිතර්‍කයෙනුදු නොගණුව (යහපත් ආකාරයෙන් පෙනෙන්නට තිබූ පමණින් නොපිළි ගතයුතු බව), අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසැඳෙතැ යි ද නොගණුව (තම තමන් සිතාබලා, සුදුසු යයි සතුටින් පිළිගත් යම් විශ්වාස, ඇදහිලි, දෘෂ්ටීන් සමඟ ගැළපුණු පමණින් නොපිලි ගතයුතු බව), භව්‍යරූපතායෙනුදු නොගණුව (මෙතෙම පූජ්‍යයෙකැයි, මොහු ගරු කටයුතු ය, සුදුස්සෙකි යයි සැලකීමෙන් පමණක් පිළි නොගතයුතු බව), මේ මහණ අපට ගුරුහයි ද නොගණුව (තම ආචාර්‍යයන්, ගුරුන් විසින් කී පමණින්ම නොපිළි ගතයුතු බව), කාලාමයෙනි, මේ දහම් අකුසල් ය, මේ දහම් වරද සහිත ය, මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිතය, මේ දහම්හු සපුරන ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහ’යි තෙපි යම් කලෙක තුමූ ම දැනගන්නහු නම්, කාලාමයෙනි, එකල්හි තෙපි එය දුරු කරව.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *