|

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූ අයට ඉස්ලාම් නම් තිබුණාට අපි ඔවුන් පිළිගන්නේ නැහැ – රිෂාද් බද්ද්‍යුදීන් – තේරීම් කාරක සභාවේ දී

ත්‍රස්තවාදීන්ගෙ මිනී කාන්තන්කුඩි කනත්තෙ වළලන්න ඉඩ දුන්නෙත් නෑ :

‘‘මට අක්කර තුන් දහසක් තිබෙන බවට චෝදනා කරනවා. මගේ පවුලටම තිබෙන්නේ අක්කර පණස් පහයි. අක්කර තුන්දහසක් මට අයිති නම්, ඒ ඉඩම් ආණ්ඩුවට ගන්න.“ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාද් බද්‍යුදීන් මහතා පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පැවැත්වෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.

සහරාන් සමඟ එකට ඡායාරූපවල පෙනී සිටි බවට පැවසෙන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සඳහන් කළ සාක්ෂිකරු තමා සහරාන් දුටුවේ මෙම සිද්ධියෙන් පසුව මාධ්‍යයෙන් පළවූ ඡායාරූප මඟින් යැයි පැවසීය. තේරීම් කාරක සභාව ඉදිරිපත් කළ ප්‍රශ්න හා සාක්ෂිකරු ලබාදුන් පිළිතුරු පහත පළවේ.

තේරීම් කාරක සභාවේ සභාපති – ඔබට විරුද්ධව විවිධ චෝදනා එල්ල වී තිබෙනවා. පාස්කු ඉරිදා සිදු වූ මේ ත්‍රස්තවාදී කටයුතු වලටත් ‍ ඔබේ සම්බන්ධතාවක් පැවති බවට චෝදනා එල්ල වෙනවා. ඔබට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා.

සාක්ෂිකරු – “මට විරුද්ධව විවිධ චෝදනා දහයක් යටතේ විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරලා තිබුණා. මා ත්‍රස්තවාදී කණ්ඩායමකට සම්බන්ධ බවට චෝදනා එල්ල කර තිබුණා. මම සහරාන් කියන ත්‍රස්තවාදි නායකයා දැකලා නැහැ. ඔහුගේ ඡායාරූප මුල්වරට දැක්කේ පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පස්සේ මාධ්‍යවලින් පළ කළාට පස්සේයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූ අය ඉස්ලාම් නම් තිබුණාට අපි ඔවුන් පිළිගන්නේ නැහැ. මේ කාලකණ්නි ත්‍රස්තවාදීන් සිදු කළ ප්‍රහාරය නිසා විනාශ වූ ජීවිත සහ තුවාලකරුවන් ගැනත් කනගාටු වෙනවා. ඒ ත්‍රස්තවාදින්ගේ මළ මිනී කාන්තන්කුඩි කනත්තේ වළ දමන්නවත් අපි ඉඩ දුන්නේ නැහැ.

රවී කරුණානායක – අයි.එස්.අයි.එස්. ඔබ පිළිගන්නවද?

සාක්ෂිකරු –  නැහැ මුස්ලිම් ආගමේ මිනිස්සු මරාදැමීම පිළිගන්නේ නැහැ.

රවී කරුණානායක – සතොස ආයතනයට අයත් වාහන මේ ක්‍රියාවලට ලබාදුන් බව කියනවා. ඇත්තද?

 සාක්ෂිකරු –  සතොස වාහන ත්‍රස්තවාදී කටයුතු වලට ලබා දුන්නා කියලා විපක්ෂයේ මන්ත්‍රිවරු මට විරුද්ධව චෝදනා කළා. දින 52 ආණ්ඩුවට සම්බන්ධ වෙන්න කියලා මට කතා කළ අවස්ථාවේ මම ඒකට එකඟ එකඟ වුණේ නෑ. ඒ නිසා තමයි මට මේ අන්දමට බරපතළ චෝදනා එල්ල කළේ. ඒ මන්ත්‍රිවරු දෙන්නෙක්. මේ සම්බන්ධයෙන් මට විරුද්ධව පොලීසියට පැමිණිලි කළේ නැහැ. මම ඒ අයට විරුද්ධව වැඩබලන පොලිස්පති වරයාට පැමිණි කළා.

රවී කරුණානායක – මේ සිද්ධියට සම්බන්ධ බව කියන අලව්දීන් ඔබේ පක්ෂයේ භාණ්ඩාගාරික නේද?

සාක්ෂිකරු – ඔහු මගේ පක්ෂය ආරම්භ කළ අවස්ථාවේ භාණ්ඩාගාරික තනතුරට පත්කර ගත්තා. ව්‍යාපාරිකයකු වන ඔහු ව්‍යාපාරික කටයුතු කරන නිසා භාර ගන්න බැහැ කිව්වා. පසුව ඔහු උප භාණ්ඩාකාරික හැටියට පත් කළා.

නලීන්ද හේරත් – මේ සිද්ධියෙදී බලපෑම් කරපු බවට ඔබට චෝදනා ඉදිරිපත් වුණා.

සාක්ෂිකරු – මුයිනුදීන් කියන පුද්ගලයා පොලීසියෙන් රැගෙන ගොස් තිබෙනවා. ඔහු ඉන්නේ කොහෙද කියලා සොයාදෙන්න කියලා ඔහුගේ තාත්තා මගෙන් ඉල්ලුවා. මම පොලීසි කීපයකට කතා කළා හමුදාපති තුමාට කතාකළාට පස්සෙ, ඔහු ගැන අවුරුදු එක හමාරකින් අහන්න කිව්වා. තුන්පාරක් හමුදාපතිතුමාට කතා කළාට පස්සේ මයිනුදීන් අපේ භාරයේ ඉන්න බව ඔහු මට දැනුම් දුන්නා.

නලීන්ද ජයතිස්ස – මේ සම්බන්ධයෙන් ඔබ ආරක්ෂක ඇමතිවරයාට කතා කළා ද?

සාක්ෂිකරු – ආරක්ෂක ඇමතිට කතා කළේ නැහැ.

නලීන්ද ජයතිස්ස – ඔබ ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයාට කතා කළා ද?

සාක්ෂිකරු – මම ඩී.අයි.ජී. වික්‍රමසිංහට කතා කළා. එතුමා කිව්වා හමුදාවෙන් අහන්න කියලා. මම කතා කළේ ඔහුගේ තාත්තට ඕන වෙලා තිබුණේ මයිනුදින් ඉන්නෙ කොතනද? ඔහු ජීවත් ඉන්නවද කියලා දැනගන්න. ඔහු වැරැද්දක් කරලා තිබෙනවා නම් දඬුවම් දිය යුතු බව ඔහු කීවා.

නලීන්ද ජයතිස්ස – ඔබ මාධ්‍යයට කියලා තිබුණා, ආරක්ෂක රාජ්‍ය ඇමැතිටත් කතා කළා කියලා.

සාක්ෂිකරු – ඔව් මම කතා කළා. එතුමා කිව්වා පොලීසියෙන් අහන්න කියලා.

සරත් ෆොන්සේකා – මම හමුදාපතිතුමාගෙන් ඇහැව්වා අවුරුදු එක හමාරකින් අහන්න කියලා කිව්වේ විහිළුවටද කියලා.

ආශු මාරසිංහ – ඔබ හමුදාපති හඳුනනවාද?

සාක්ෂිකරු – හමුදාපති වුණාට පස්සේ මම හඳුනා ගත්තා. ඊට කලින් ඔහු ගැන හැඳිනීමක් තිබුණේ නෑ.

ආශු මාරසිංහ – මොහමඩ් ඉබ්‍රාහිම් හඳුනනවාද?

සාක්ෂිකරු – ඔහු කොළඹ වෙළඳ සංගමයේ සභාපති. මම වෙළෙඳ ඇමතිවරයා හැටියට ඉබ්බ්‍රාහිම් මහතා මා හමු වී තිබෙනවා.

ආශු මාරසිංහ – (ඡායාරූපයක් පෙන්වමින්) මේ ඡායාරූපයේ ඔබ ළඟින්ම ඉන්න අය ඔබේ අමාත්‍යාංශයේ තනතුරු දරනවාද?

සාක්ෂිකරු – ඔහුට සහ ඔහුගේ කිසි කෙනෙක්ට මගේ අමාත්‍යාංශයේ තනතුරු ලබාදීලා නැහැ. තනතුරු දරන්නෙත් නැහැ.

ආශු මාරසිංහ – ඔහුගේ පුතා ඔබ හඳුනනවාද?

සාක්ෂිකරු – ඔහුගේ විවාහ මංගල්‍ය උත්සවයට ගියා.

ආශු මාරසිංහ – ඔහු මේ අමාත්‍යාංශයේ උපදේශක තනතුරක් දරනවාද?

සාක්ෂිකරු – නැහැ. කිසිම තනතුරක් දරන්නේ නැහැ.

ආශු මාරසිංහ – ඉබ්‍රාහිම් ඉම්නවාඩි අහමඩ්; කොලෝනියල් ඉන්සයිඩ් ආයතනයේ සභාපතිට හිස් පතරොම් කොපු ලබාදෙන්න නිර්දේ‍්ශ කළාද?

සාක්ෂිකරු – මේ ඉල්ලීම ලැබී තිබුණා. මේ අමුද්‍රව්‍ය ලබාදුන් ආකාරය සොයාබලන්න මම කමිටුවක් පත්කළා. ඒ වාර්ථාවේ සඳහන් වූ නිර්දේශ වලට අනුවයි  අමුද්‍රව්‍ය නිකුත් කළේ.

ආශු මාරසිංහ – මේ ඉබ්‍රාහිම් පවුලේ අයට ගම්මිරිස්, කරුංකා ව්‍යාපාරවලට උදව් කළාද?

සාක්ෂිකරු – එතුමා ඇවිල්ලා උදවු ඉල්ලලා නැහැ. මා හමුවෙන්නේ කළම්ඹු ට්‍රේඩ් අසෝසියේෂන් එක් නියෝජිතයන් සමඟ.

ආශු මාරසිංහ – ඔබතුමා ටෙන්ඩර් වලට බලපෑම් කළා ද?

සාක්ෂිකරු – මම බලපෑම් කරලත් නැහැ. කරන්නෙත් නැහැ.

නලීන්ද ජයතිස්ස – තුර්කි තානාපති කාර්යාලයෙන් කිව්වා තුර්කියෙන් පුහුණුව ලබපු 50 දෙනෙක් ලංකාවට ඇවිත් ඉන්නවා කියලා. ඒ බව මතකද?

සාක්ෂිකරු – ඒ බව මම දැනගත්තේ මාධ්‍යෙයන්

නලීන්ද  ජයතිස්ස – මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔබතුමා ආරක්ෂක අංශවලට කිසිම තොරතුරක් ලබාදීලා නැහැ. සමහර මව්ලවිවරු මේ ගැන පොලීසියට තොරතුරු ලබාදුන්නා.

සාක්ෂිකරු – මම මේ ත්‍රස්තවාදයට සම්බන්ධ වෙන්නෙ නැහැ. සහාරාන් කියන්නේ මව්ලවි කෙනෙක් කියලා කියනවා. මම දේශපාලඥයකු වශයෙන් ඒවට සම්බන්ධ වෙන්නෙ නැහැ.

නලීන්ද ජයතිස්ස – මේ ප්‍රශ්න ඇතිවෙන්නේ කාන්තන්කුඩි ප්‍රදේශයේ. සමහර මව්ලවීවරු පොලීසියට තොරතුරු දෙනවා නම්, ඇයි ඔබ ඒ ගැන නොදන්නේ?

සාක්ෂිකරු – මේ සහරාන්ගෙ වැඩපිළිවෙල ගැන අපට දැනගන්න ලැබෙන්නේ මාධ්‍යෙයන්.

ආශු මාරසිංහ – ඔබතුමා කිව්වා සහරාන් හම්බවෙලා නැහැ කියලා.

සාක්ෂිකරු – ඔව්. හමුවෙලා නැහැ.

ආශු මාරසිංහ – (ඡායාරූපයක් පෙන්වමින්) එහෙනම් මේ ඡායාරූපයේ ඉන්නේ කවුද? ඡායාරූපයේ ඔබත් සමග ඉන්නේ සහරාන් නොවෙයිද?

සාකිෂිකරු – ඒ සහරාන් නෙවෙයි. මම තිහාරිය ප්‍රදේශයේ තිබුණු උත්සවයක ප්‍රධාන අමුත්තා හැටියට ගිය අවස්ථාවක ගත් ඡායාරූපයක්. ඒ ඡායාරූපයේ ඉන්නේ තමා මිස සහරාන් නොවෙයි කියලා නිස්කාර් මවුලවීතුමා පොලීසියට පැමිණිලි කරලා තියෙනවා.

රවී කරුණානායක – දෙමටගොඩ සිද්ධියෙන් මැරුණෙ ඔබේ අම්මගේ සහෝදරියගේ දුව නේද?

සාක්ෂිකරු – දෙමටගොඩ සිද්ධියෙන් මැරුණේ අලදීන්ගේ දුව නෙවෙයි. ඒ මගේ අම්මගෙ සහෝදරියගෙ දුව කියලා කියන එක වැරැදියි. මගේ අම්මට සහෝදරියක් නැහැ. මේ හැමදෙයක්ම කියන්නේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රිවරු දෙන්නෙක්. දින 51 ආණ්ඩුවට සම්බන්ධ වෙන්න කියලා මට කතා කළා. මම ගියේ නැති නිසා මට විරුද්ධව නොයෙක් ප්‍රකාශ කරනවා.

රවී කරුණානායක – මේ ත්‍රස්තක්‍රියා ඇති නොවෙන්න ඔබ ඔබේ දායකත්වය දෙන්නෙ කොහොමද කියලා කියන්න පුළුවන්ද?

සාක්ෂිකරු – මම අවුරුදු ගාණක් කඳවුරුවල දුක් වින්දා. ඒ නිසා මම මේ ත්‍රස්තවාදය ගැන දන්නවා. දේශපාලන පක්ෂ ඡන්ද ලබාගන්න මේ සිද්ධිය උපයෝගි කරගන්නේ නැතිව මේ සිද්ධියට සම්බන්ධ සියලුම දෙනාම අත්අඩංගුවට ගන්න ඕන. බෞද්ධ ආගමික නායකයෝ, කතෝලික ආගමික නායකයෝ සියලු දෙනාම සම්බන්ධ කරගෙන ඒ වගේම මුස්ලිම් ආගමික නායකයන් සම්බන්ධ වෙලා කටයුතු කරන්න ඕනෙ. මේක දේශපාලන වාසි ගැනීමට උපයෝගි කරගන්න හොඳනැහැ. මේක සම්පූර්ණයෙන්ම තුරන් කරන්නරට ගැන හිතලා අපි සියලු දෙනාම එකතුවෙලා වැඩපිළිවෙලක් කරන්න ඕනැ.

රවී කරුණානායක – මේ අයි.එස්.අයි.එස්. ප්‍රතික්ෂේප කරන්නෙ නැත්තෙ ඇයි?

සාක්ෂිකරු – අපි මුස්ලිම් ඇමතිවරු අයි.එස්.අයි.එස්. ප්‍රතික්ෂේප කළා.

රවී කරුණානායක – විල්පත්තුව සම්බන්ධයෙන් ගත්තම එහි ඉඩම් ඔබතුමාට තිබනයි කියනවා. ඒක ඇත්තද?

සාක්ෂිකරු – ත්‍රස්තවාදයෙන් පස්සේ කමිටුවක් මඟින් තමයි පදිංචි කිරීම් කළේ. ගිය ආණ්ඩුවම කාලේ තමයි කළේ. විල්පත්තුවේ එක පවුලක්වත් පදිංචිවෙලා නැහැ. මන්නාරම දිස්ත්‍රික්කයෙන් තමයි ඉඩම් දීලා තියෙන්නේ.

සරත් ෆොන්සේකා – විල්පත්තුවෙන් එළියේ ඉඩම් තීරුවක් තියෙනවා. ඊට උඩින් ගමක් තිබිලා තියෙනවා. යුද්ධ කාලේ ඒ ගමේ මිනිස්සු ගම අතඇරලා ගිහිල්ලා තියෙනවා. එළියේ තීරයේ දහදෙනෙක් ගෙවල් හදලා තියෙනවා. ඒ අයට විරුද්ධව නඩු පවරලා තියෙනවා. ඒ ගෙවල්වලට මෙතුමා සම්බන්ධ නැහැ.

නලීන්ද ජයතිස්ස – කල්ලාරු රක්ෂිතයේ ගෙවල් 41ක් ලබාදීපු සිද්ධියක් විගණනාධිපති වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා.

සාක්ෂිකරු – මේ සම්බන්ධයෙන් වාර්තාවක් හදලා තියෙනවා. ඒ වාර්තාව ගැන පරීක්ෂණ පවත්වනවා.

නලීන්ද ජයතිස්ස – මන්නාරම ප්‍රදේශයේ ඔබතුමාට හෝ පවුලේ අයට අක්කර තුන්දහසක් තියෙනවා. ඒකට මොකද කියන්නේ?

සාක්ෂිකරු – මට අක්කර තිස්දහසක් තියනවා. හත්හසක් තියනවා කියලා කියනවා. මට අක්කර තිස්දහසක්, හත්දහසක් නෑ.

ආශු මාරසිංහ – එහෙනම් ඔබේ පවුලට අක්කර කීයක් තියෙනවද?

සාක්ෂිකරු – මගේ පවුලට අක්කර 55ක් තියෙනවා. අක්කර තුන්දසක් තියෙනවා නම් ඒවා ආණ්ඩුවට ගන්න කියලා කියනවා.

මගේ සහෝදරයාවත් අත්අඩංගුවට ගත්ත බවට දිවයින පත්‍රයේ පළ වී තිබුණා. මගේ සහෝදරයා අත්අඩංගුවට ගත්තේ නැහැ. මම උපන් මන්නාරයේ තරාපුරම් ගමේ හමුදාව පොලීසිය පරීක්ෂා කරලා තියෙනවා. මගේ සහෝදරයා සමඟ වාහනය පරීක්ෂා කරලා නිදහස් කරලා තියෙනවා. මේක වෙනස් ආකාරයකට මාධ්‍යයේ පළවුණා.

නලීන්ද ජයතිස්ස – ඩෙටනේටර් හයක් සමඟ රිෂාද් බද්‍යූදීන්ගේ සම්බන්ධීකරන ලේකම් අත්අඩංගුවෙ කියලා තියෙනවා.

සාක්ෂිකරු – සනූස් කියලා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් සැකපිට අත්අඩංගුවට අරන් නිදහස් කරලා තියෙනවා. ඔහු මගේ සම්බන්ධීකරණ නිලධාරියෙක් නෙවෙයි.

ආශූ මාරසිංහ – ඔබේ සහෝදරයකුට අයත් නිවසක් වත්තල ප්‍රදේශයේ ත්‍රස්තවාදීන්ට කුලියට දීලා තියෙනවා. ඒක ඇත්තද?

සාක්ෂිකරු – මගේ නංගිගේ ස්වාමිපුරුෂයාගේ පියාට අයිති ගෙයක් වත්තල තියෙනවා. ඒක කුලියට දීලා තියෙන්නේ ලීසිං එකකට. නංගිගේ ස්වාමිපුරුෂයාගේ සහෝදරියක් තමයි කුලියට දීලා තියෙන්නේ. ඒක නංගී දීලත් නැහැ. ස්වාමිපුරුෂයා දීලත් නැහැ.

රාජිත සේනාරත්න මහතා – රිෂ්ද් බද්‍යුදීන් ඇමතිතුමා, ඔබතුමා හිතන්නෙ නැද්ද මේ මුස්ලිම් දේශපාලන නායකයන්ට විරුද්ධව මාධ්‍ය මගින් අසත්‍ය චෝදනා නැගීම නිසා මේ දෙවන වටයේ ගිනි තැබීම් සිදුවුණා කියලා?

සාක්ෂිකරු – ගෙවල් 171 කඩලා විනාශ කරලා තියෙනවා. 83 ජුලි වගේ සිද්ධියක් ඇති කිරීමේ අරමුණ වගේ මට පේනවා. මේ සිද්ධිවලට සම්බන්ධ වෙච්ච අයට උපරිම දඬුවම දෙන්න.

නලීන්ද ජයතිස්ස – පසුගිය කාලේ සමහර තැන් අරාබිකරණයට ලක්වෙලා තියෙනවා නේද?

සාක්ෂිකරු – අරාබි රටවලින් ආධාර ලැබුණු ස්ථාවල එහෙම තියෙනවා.

රාජිත සේනාරත්න – ඔබ පිළිගන්නේ නැද්ද පාරවල් ආදිය අරාබි අකුරුවලින් නම් කිරීම සුදුසු නැහැ කියලා. අපි කාරක සභාව තීරණය කරලා තියෙනවා පාරවල්වල අරාබි අකුරුවලින් නාම පුවරු සවිකිරීම අත්හිටුවන්න.

සාක්ෂිකරු – ඔව්. මමත් පිළිගන්නවා. අරාබි අකුරුවලින් පාරවල්වල නාම පුවරු සවිකිරීම සුදුසු නැහැ කියලා. අපේ කුරාණය ගැන අන්‍ය ආගමිකයන් විවිධ ප්‍රකාශ කරගෙන යනවා. අපේ රට ඇතුළෙ සිංහල මුස්ලිම් අය අතර භේද ඇති කිරීමට කටයුතු කළ යුතු නැහැ. අපේ මවු රට. එය ආරක්ෂා කරගන්න ඕන. සෞද්දි අරාබි නීති මෙහෙට ගෙන්න අපට අවශ්‍ය නැහැ. අපේ රටේ නීතියට අනුව අපි ක්‍රියාකරන්න ඕන. අපි රටේ නීතියට ගරු කරනවා. වැරදි මතයක් සිංහල සමාජය අතරට ගෙන යන්න එපා.

සරත් ෆොන්සේකා – පිත්තල කම්හලෙන් අත්අඩංගුවට ගත් පිරිස අතුරින් කිහිපදෙනෙක් නිදහස් කළේ ඔබතුමාගේ සම්බන්ධතාවක් නිසා බවට විශ්වාසභංග යෝජනාවේ සඳහන් වෙනවා. ඒ ගැන ඔබ මොකද කියන්නේ?

සාක්ෂිකරු – මගේ එහෙම සම්බන්ධයක් නැහැ.

සරත් ෆොන්සේකා – ඔබතුමා ආශ්‍රය කරන ඔබේ උපදේශක මවුලවී කෙනෙක් මේකට සම්බන්ධ බවට විශ්වාසභංග යෝජනාවේ සඳහන් වෙනවා. සාක්ෂිකරු කිසිදු මවුලවිවරයෙක් මගේ උපදේශකවරයකු වශයෙන් නැහැ. ඔය කියන මවුලවි වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *