මරණ දඬුවමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 ක්


එල්ලා මැරීමේ  නියෝගය ක‍්‍රියාත්මක  කිරීම  වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් පිරිසක් සහ සිවිල් ක‍්‍රියාකාරිකයෝ ඇතුළු 10 දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද  ( 01)  මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළහ.
 
මරණ දඬුවම ලැබූ සිරකරුවන් අතරින් ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි සිව්දෙනෙකු තෝරා එල්ලා මැරීම නීතයට පටහැනි බවත්, එමඟින් සිරකරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවත් ඔවුන් පෙත්සමෙහි සඳහන් කර තිබේ.
 
මෙලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 ගොනු කරනු ලැබ ඇත්තේ දැනට මරණ දඬුවම නියමව සිටින එස්.ගනේෂ් , මොහොමඞ් මිතාර් , හනීෆා ප‍්‍රහීම් නවාස් , එස්.ඒ සුරේෂ් කුමාර් , සුබ‍්‍රමනියම් ප‍්‍රනියමූර්ති ,කේ.එච් .ගමගේ චන්ද්‍රදාස ,එච්.කේ ජයතිලක , එන්.ඒ නිශාන්ත අල්විස් යන නැමැත්තන් සහ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය , මහාචාර්ය සී.ගුණරත්න , ආචාර්ය කළණ සේනාරත්න යන සිවිල් ක‍්‍රියාකාරීන්  විසිනි.
 
මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති , අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ , ජනාධිපති ලේකම් උදය ආර් .සෙනෙවිරත්න , බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.ඇම්.ජේ.ඩබ්ලිව් තෙන්නකෝන් , ශ්‍රී  ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස යන මහත්ම මහත්මීන් නම් කරනු ලැබ සිටිති.නීතීඥ ගෞරි සංගරී තවරසා මහත්මිය මඟින් ගොනු කර ඇති පෙත්සම් වල මෙසේද සඳහන් වේ.
 
ශ්‍රී ලංකාව මරණ දඬුවම ක‍්‍රියාත්මක නොකරන රටක් වශයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ කිහිපවරක් ප‍්‍රතිඥා දී ඇත. මේ වනවිට මරණ දඬුවම නියම වූ 1600ක් සිටින බව බන්ධනාගාර සංඛ්‍යාලේඛනවල සඳහන් වේ.
 
මේ අතර ජනාධිපතිවරයා විසින් මත්ද්‍රව්‍ය චෝදනා වලට වරදකරුවී මරණ දඬුවම ලැබූ සිරකරුවන් සිව්දෙනෙකු එල්ලා මැරීමට අස්සන් කර ඇති බවට ජනමාධ්‍ය මඟින් ප‍්‍රසිද්ධ කෙරිණි.එහෙත් මේ පිළිබඳ පැහැදිලි තොරතුරු මෙතෙක් ප‍්‍රසිද්ධ කර නොමැත.
 
මෙම ක‍්‍රියාව ශ්‍රී ලංකාව අස්සන් කර ඇති අන්තර් ජාතික ප‍්‍රඥප්තීන් උල්ලංඝනය කිරීමකි.මෙලෙස මරණ දඬුවම ලැබු සිරකරුවන් අතරින් සිව්දෙනෙකු තෝරා මරණ දඬුවම නියම කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.
 
එැබැවින් මෙම ක‍්‍රියාව තුළින් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප‍්‍රකාශ කරන ලෙසද මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තෙක් මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සම්වලින් ඉල්ලා සිටිති.

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *