මහේන්ද්‍රන් ඇතුළු 10කට නීතිපතිගෙන් අධිචෝදනා

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පචුවෙල් ට්‍රෙෂරිස් හිමිකරු අර්ජුන ඇලෝසියස් හා ජෙෆ්රි ජෝෂෆ් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර නඩු පවරා තිබේ.

මේ අනුව එම විනිසුරු මඩුල්ල වන සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන අය නියෝග කළේ විත්තිකරුවන්ට ලබන මස 19 වැනි දා අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කරන ලෙසයි.

විත්තිකරුවන්ට එරෙහිව ඇති අධිචෝදනා ගණන 23 කි.

ඉන් එක් චෝදනාවක් වන්නේ 2015 ජනවාරි 27 වැනි දා බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් මිලියන දස දහස් පනස් අටක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීමයි.

මීට අමතරව ඊට අනුබලදීමෙන් පොදු දේපොළ පනතේ පහ එක වගන්තිය යටතේ ගැනෙන සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව ද සියලුම විත්තිකරුවන්ට එල්ලවී තිබේ.

රුපියල් බිලියන 10.08 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර බැහැර කිරීමට අදාළව පොදු දේපොළ පනතේ සාපරාධී විශ්වාසය කඩ කිරීමෙන් රජයට රුපියල් මිලියන 688 කට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනා අර්ජුන් මහේන්ද්‍රන්ට හා මහ බැංකුවේ හිටපු නියොජ්‍ය අධිපති පී. සමරසිරි යන අයට එල්ලවී ඇත.

නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම හා කසුන් ඕෂද පාලිසේන, ඩි. මිත්‍ර ගුණවර්ධන, සී. රන්ජන් හුළුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දියපුංචිහේවා යන අයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *