පාක්‍යසෝතිගේ නඩුව අසනු – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඤාණරතන හිමි අත්අඩංගුවට ගෙන නඩු පවරන ලෙස ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ප්‍රධානී ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව කියවෙනවා.

ඉහත ඉල්ලීම කරන්නට හේතුව දොඩම්වල කිත්සිරිමෙවන් රජමහ විහාරයේ පැවැති උත්සවයකදී මහනායක හිමියන් කළ ප්‍රකාශයක්. එම ප්‍රකාශය හේතුවෙන් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත, අපරාධ නඩු විධාන පනත ආදී නෛතික රාමුව යටතේ මහනාහිමි අත්අඩංගුවට ගන්නා ලෙසයි පාක්‍යසෝති සරවනමුත්තු මහතා ඉල්ලා තිබෙන්නේ.

ඕනෑම පුද්ගලයකුගේ සමාජ තත්ත්වය කුමක් වුවත් එවැනි හැසිරීම් වලට නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් පාක්‍යසෝති සරවනමුත්තු මහතා තම ලිඛිත පැමිණිල්ල මගින් පවසා ඇති බවයි කියන්නේ.

පාක්‍යසෝති සරවනමුත්තු මහතාගේ ඉහත පැමිණිල්ල සිංහල බෞද්ධ අන්තවාදය අවුස්සන්නන් ගේ කෝපයට මෙන්ම තැති ගැන්මට හේතු වී ඇති බව දැනටමත් පෙනෙන්නට තිබෙනවා . භික්ෂූන්ට විරුද්ධව විවිධ අපරාධ චෝදනා එල්ල වී ඇතත් ත්‍රෛනිකායික මහ නා හිමි වරයකුට එවැනි අපරාධ චෝදනාවක් එල්ල වූ අවස්ථාවක් මෑත ඉතිහාසයේ දක්නට නැහැ. ඒ අනුව ගත් කළ සරවනමුත්තු මහතාගේ පැමිණිල්ල ඓතිහාසික එකක්. සිංහල බෞද්ධ අන්තවාදයෙන් ලැබිය හැකි බරපතල ප්‍රතිචාරය ගැන දැන දැනත් පාක්‍යසෝති සරවනමුත්තු මහතා ගත් පියවර නිර්භීත උත්සාහයක් බව සඳහන් කළ යුතුයි. ඇත්ත වශයෙන්ම එය දෙබරයකට ගල් ගැසීමක් හා සමානයි. කෙසේ වෙතත් භික්ෂුත්වයට මුවාවී වුවත් කිසිවෙකුට වර්ගවාදී ප්‍රකාශ කරන්නට අවසර නැති බවත් එවැනි වර්ගවාදී හැසිරීම් ඇති අයට දඬුවම් කරන ලෙස ඉල්ලීමට පුරවැසියෙකුට හැකියාවක් ඇති බවත් පාක්‍යසෝති මහතාගේ පියවර හරහා ජනතාවට අවබෝධයක් ලැබීම පවා ජාතික සමගිය අපේක්ෂා කරන ජනතාවගේ පාර්ශ්වය ලැබූ ලොකු ජයග්‍රහණයක්.

මේ වන විටත් සිංහල බෞද්ධ අන්තවාදීන් විසින් සරවනමුත්තු මහතාට එරෙහිව අවි ඔසවන්නට පටන් අරන්. එහිදී ඔවුන්පාවිච්චි කරන්නට උත්සාහ කරන්නේ මෑත ඉතිහාසයේ මානව හිමිකම් ක්‍රියාධරයන්ට විරුද්ධව අන්තවාදීන් උපයෝගී කරගත් අවිය වන එන්ජීඕ ලේබලය බවත් පෙනෙන්නට තිබෙනවා.

උදාහරණයක් වශයෙන් පාක්‍යසෝති මහතාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් එක්තරා පුවත්පතක් මැදගොඩ අබේතිස්ස හිමි ගෙන් ඉල්ලා ගෙන පළ කළ නිවේදනයකදී අභයතිස්ස හිමි පළ කර තිබුණු අදහස් ඉදිරිපත් කරන්නට පුළුවන්. එම ප්‍රකාශයේ දී අභයතිස්ස හිමි කියන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව දෙස් විදෙස් දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වනවා කියායි . අස්ගිරි මහනායක හිමි අධිකරණයට ගෙන්වන්නට කරන ඉල්ලීමත් එන් ජි ඕ මගින් කරන එවැනි උත්සාහයක් බව කියන්නටයි අභයතිස්ස හිමි උත්සාහ කරන්නේ.

තමා කළ ප්‍රකාශය සමාජ මාධ්‍ය විසින් විකෘති කළ පළ කර තිබුණු බවක් කියන්නට අස්ගිරි නායක හිමියනුත් උත්සාහ කර තිබුණා. නමුත් ඇත්ත නම්, සමාජ මාධ්‍ය වල පළවූ අස්ගිරි නාහිමිගේ ප්‍රකාශය විකෘතියක් නො වන බවයි. ප්‍රධාන මාධ්‍ය වල එම ප්‍රකාශය පළ කර නොතිබුණේ ඔවුන් ජාති ආගම් වාද වලට විරුද්ධ නිසා නොව එම ප්‍රකාශය පළ කරනු ලැබුවේ නම් ඉහත මාධ්‍යවලින් නඩත්තු කරන්නට උත්සාහ කරන අස්ගිරි නායක ප්‍රතිරූපයට කැලැල් වන නිසා බවයි අනුමාන කල හැක්කේ.

අස්ගිරි නායක හිමිගේ ප්‍රකාශය සිංහල බෞද්ධ සංස්කෘතියට ගැලපෙන්නේ කවර ආකාරයෙන්ද යන්න මැදගොඩ අභයතිස්ස වැන්නන් පැහැදිලි කළ යුතුයි.

ප්‍රධාන මාධ්‍යවල පළ නොකළ අස්ගිරි නා නාහිමිගේ ප්‍රකාශයේ කොටස් මෙසේය.” රටේ අනාගතය බෙහෙවින් භයානකයි. ගාමිණී දිසානායක මැතිතුමාගේ කාලයෙන් පසුව රට ආරක්ෂාවුණු යුගය අවසන් බවයි අපේ හැඟීම. ඉන්මෙහාට පත්වුණු එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ මේ රටට ආදරේ නැහැ. ඔවුන් මේ රටට ජනතාවට ආදරයෙන් නැති බව මම ප්‍රසිද්ධියේ කියනවා.

මමත් කියනවා මුස්ලිම් කඩවලට යන්න එපා. ඒ කඩවලින් කන්න බොන්න එපා මොකද ඒක ප්‍රසිද්ධ කාරණාවක්. ජනතාවට වස දී අපේ ජනතාව විනාශ කරන්න උත්සාහ කරපු පිරිසක් බව අද ඉතා පැහැදිලිව පෙනෙනවා. මේ නිසා බෞද්ධ ජනතාව ආරක්ෂා වෙන්න ඕනි.

පසුගිය වකවානුවේ සිදු වූ දේ බලන විට මෙරට දරුවන් අනාථයි ලක්ෂ ගණනක්. අපේ දරුවන් විනාශ කරනවා. වෛද්‍යවරයා ගල් ගසා මැරිය යුතු යැයි මව්වරු පිරිසක් කීවත් මම එසේ කියන්නේ නැහැ. අපේ මනුස්සයෙක් ඔවුන්ගේ ජාතියට මේ වගේ වැඩක් කලොත් ඔහුව පෙතිගහලා දායි . ඔය නීති රීති හරියන්නේ නැහැ. ඒ නිසා බෞද්ධයන් වශයෙන් අපි එකතු විය යුතුයි. ”

ඉහත කතාවේදී අස්ගිරි නායක හිමි පදනම් විරහිත ප්‍රකාශ කීපයක්ම කරනවා. එකක් නම් මුස්ලිම් කඩ වර්ජනය කරන ලෙස ඉල්ලීම. දරුණුම ප්‍රකාශය ජනතාවට වස දී ජනතා විනාශ කරන්නට උත්සාහ කළ පිරිසක් ලෙස මුස්ලිම් ජනතාව හඳුන්වා දීම. මුස්ලිම් හෝටල්වලින් සිංහල ජනතාවට වස විස දුන් බවත් මෙතෙක් කිසිම තැනකදී ඔප්පු වී නැහැ. ඒ වෙනුවට සිදුව ඇත්තේ වඳ බෙහෙත් තිබුණාය වැනි පදනම් විරහිත මෙන්ම විද්‍යාත්මක නොවන කරුණු මත පිහිටා බෞද්ධයන් විසින් මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන විනාශ කිරීමයි.

නිවැරදි බෞද්ධයෙකු නම් උපදෙස් දියයුතු වන්නේ බොරු සැකය පදනම් කරගෙන මුස්ලිම් ජනතාවට පහර දීම, සැක කිරීම වෙනුවට මුස්ලිම් ජනතාව ඇතුළු සියලු ජනතාව සමග සාමයෙන් ජීවත් වන ලෙසයි.

අස්ගිරි හිමි එක තැනකදී කියන්නේ වෛද්‍යවරයාට ගල් ගසා මැරිය යුතු යැයි මව්වරු කීවත් තමා එසේ නොකියන බවයි. ගල් ගසා මැරිය යුතු යැයි හිමියන් නොකීවත් එවැනි වෛරී ප්‍රකාශ කරන්නට එපා යැයි නායක හාමුදුරුවෝ බෞද්ධයන්ට උපදෙස් දෙන්නෙත් නැහැ. ඒ වෙනුවට කරන්නේ අපි ඕවට නැහැ ආකාරයේ ප්‍රකාශ කරමින් ජාතිවාදී ප්‍රකාශ වක්‍රව අනුමත කිරීමයි. මුස්ලිම් වෛද්‍යවරයාට එරෙහිව ඇති චෝදනා පදනම් විරහිත බව සිහිබුද්ධිය ඇති කාට වුවත් වැටහෙන නමුත් අස්ගිරි නායක හාමුදුරුවන් වැන්නන්ට නොවැටහීම පුදුමයට කරුණක්. අවම වශයෙන් ඔහුට විරුද්ධ චෝදනා ඔප්පු වන තුරු ඉවසන්න කියා කියන්නට තරමටවත් අස්ගිරි නායක හාමුදුරුවෝ ධාර්මික නැහැ. ” ඔවුන්ගේ ජාතියට මේ වගේ දෙයක් කළොත් පෙති ගහලා දායි” යන ප්‍රකාශය කොතරම් භයානකද? මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවල මුස්ලිම් ජනතාවට අඩම්තේට්ටම් කරද්දී පවා මුස්ලිම්වරු කළේ සාමකාමී වීම බව අස්ගිරි නායක හිමි දන්නෙ නැද්ද? මෙවැනි ප්‍රකාශ නිසා සිදුවන්නේ මිනුවන්ගොඩ වැනි සිදුවීම් නැවත සිදු වීමට ඉඩ සැලසීම නොවේද?

කෙටිකතාවක් ලියූවකුටත්, නැවක සුක්කානමක් සහිත ඇඳුමක් ඇඳ සිටි කතටත් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ දඬුවම් දීමට උත්සාහ කරන පොලිස්පතිවරයා අස්ගිරි හාමුදුරුවන් ගේ ප්‍රකාශය ගැන නිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇද්දැයි යන්න යන්න ගැන සියල්ලන් විමසිලිමත් විය යුතුයි. එසේම රටේ සාමය අගය කරන ජනතාව පාක්‍යසෝති සරවනමුත්තු මහතා වෙනුවෙන් නිර්භයව ඉදිරිපත් විය යුතුයි. සරවනමුත්තු මහතාගේ නිර්භීත පියවර අගය කළ යුතුයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *