සීමාකම් ඇතත් මේ තීරණය විප්ලවකාරීයි- වික්ටර් අයිවන්

Victor ivonසාමාන්‍යයේ අපිට දකින්නට තියෙන දේ, අපිට ඇහෙන දේ සහ  පෙනෙන දේවල්  ආශ්වාදජනක නැත.  සමහරවිට විශාල කළකිරීමක් ද ඇති වේ.  නමුත් නිදහසෙන් පසු ලංකා ඉතිහාසයේ මා දකින වැදගත්ම දෙයක් තමයි  විවිධ ප‍්‍රශ්න තිබියදීත් මේ නායකයින් දෙදෙනා ලංකාවේ ඇතිකළ යුතු මූලික පරිවර්තනයේ මුල්කණු හතර පිළිබඳ  එකගත්වයක් ඇතිකරගෙන තිබීම.  එකක් තමයි සීමාව ගැන කිව නොහැකි නමුත් අතීතයේ සිදුවූ වැරදි පිළිබඳව අදහසක් ඇතිකරගැනීම. දෙවැන්න තමයි  ගැටුම් වලින් තුවාල වූ හදවත් තිබෙනවා නම්  ඒවා සුව කිරීමේ වගකීමක් තියෙන බව පිළිගැනීම. තුන් වැන්න තමයි භේද භින්නවී තිබෙන ජාතිය සමගි කරලා අපි ජාතිය ගොඩනැගිය යුතුය කියන එක. සිව්වෙනි  වැදගත්ම දේ වන්නේ කුණු වී,  බිඳවැටී තිබෙන ආයතන ක‍්‍රමය නැත්නම් අළුත් ආණ්ඩු ක‍්‍රමයක්, එසේ නැත්නම් ශ‍්‍රී ලංකා රාජ්‍යය අලූතෙන් ප‍්‍රතිනිර්මාණය කළයුතුයි කියන අදහස.

සාමාන්‍යයෙන් බැලූ බැල්මට පෙනෙන්නේ කිසිම වැඩකට නැති, කිසිම ගෞරවයක් නැති, ආශ්වාදයක් ඇති නොකරන අවස්ථාවාදි එකතුවක් ලෙසට යි මේ ආණ්ඩුව පෙනෙන්නේ. ප‍්‍රයෝගිකව කොතෙක් ඉටුවෙයි ද නැත් ද යන්න කිව නොහැකි නමුත්, ඒ අයගේ මොන සීමා සහිතකම් තිබුණත් මෛත‍්‍රි සහ රනිල් කල්පනාකර තිබෙන ආකාරය ඉතාමත් විප්ලවකාරී ය.  මේ අවලස්සන දේවල් තුළ ලංකාව කවදාකවත් මෙපමණ දුර ගිය තීන්දුවක් ගත්තේ නැත.  මම දන්නා ආකාරයට මෙතරම් බැ?රුම් ආකාරයට ඒ තීන්දුව දැන් ඔවුන් ගෙන තිබේ. එය සමහර විට ස්වයං අවබෝධය නිසා ඇතිවුන දෙයක් වෙන්නට පුළුවන. බාහිර බලපෑම් නිසා ඇතිවූ දෙයක් වෙන්නට පුළුවන. මේ දෙකම නිසාද වෙන්නට පුළුවන. එහෙත් එය ඉතාමත් විප්ලවකාරී පමණක් නොව  ඒ ඉලක්කය ජය ගන්නට හැකි නම්  ලංකාවේ චිත‍්‍රය මුළුමනින්ම වෙනස් කිරීමට හේතුවේ යැයි යන්න මගේ විශ්වාසය වේ.

ලංකාවට බටහිර ඉතිහාසඥයෝ කැමති වෙලා හිටියා එක්තරා යෙදුමකට. එය බොහෝ අය යොදාගෙන තිබේ. ඒ යෙදුමට අනුව ලංකාව යනු  එකම ලේ බිඳුවක්වත් සොලවන්නේ නැතිව නිදහස ලබාගත්  රටකි. ඒක ඇත්තටම  ඒ කාලයේ බොහෝම උජාරුවෙන් උපුටා දැක්වූ අවස්ථා තිබේ. ඇත්තටම නිදහස ලැබීමෙන් වසර 30කට පසු  ලංකාව එක දිගට කෙලවරක් නැති තරම් ලේ හලන රටක් බවට පසුව පත්වේ. මේකේ තිබෙන අපූර්වත්වය තමයි නිදහසටත් අපේ ලේ හැලිල්ල ආරම්භවීමටත්  ආසන්න වශයෙන් වසර තිහක් වීම. මුල දී මේ ලේ හැලිල්ල සිද්ධවුයේ කඩින් කඩ ය.  ඊට පසු ඒක එක දිගටම සිදුවිය. ප‍්‍රචණ්ඩ කැරළි ආරම්භ වන්නේ සිංහළ දකුණේ ය. ඒක අවසන් වන්නේ දෙමළ උතුරේ ය. කැරළි ගැසීම සහ කැරළි මර්ධනය කියන සන්දර්භය තුළ මිනිස්සු තොග ගනනින්, දස සහස් ගණනින්  මරා දමනු ලැබුවේ ය.  ජීවත් වීමේ වාසනාවත්ත වූ මිනිසුන් පවා  ජීවත් වූයේ ශාරීරික වශයෙන් පමණි. අධ්‍යාත්මක වශයෙන් මුළුමනින් හෝ යම් ප‍්‍රමාණයකට  හෝ මිනිස්සු මිය ගිය හ..

විටෙක සිංහළ දකුණෙත්,  තවත් වෙලාවක  දෙමළ උතුරෙත්,  තවත් වෙලාවක ඒ දෙකේමත් කෙලවරක් නැති ආකාරයට ලේ ගැලූවේ ය. විවිධ යහපත් වූ විප්ලවකාරි අරමුණු වෙනුවෙන් සටන් කළ අය වගේ ම රජයේ ආරක්ෂාව සඳහා සටන් කළ ආරක්ෂක හමුදා තොග ගණනින් මිනිස්සු මැරුවේ ය. ප‍්‍රදර්ශනය කළේ ය.  ප‍්‍රදර්ශනය කිරීම ඉතාම සාමාන්‍ය දෙයක් බවට පත්විය. මේ ම්ලේච්ඡු රළ පහරට අසු වී විනාශ නොවී ඉතුරු වූ සැම දෙයක් ම විකෘති විය.  සමස්ථ සමාජයම පමණක් නොව, රටේ ආයතන ක‍්‍රමය පමණක් නොව, ආණ්ඩු ක‍්‍රමයත් මුළු මනින්ම  විකෘති විය. ඇත්තටම මේ තත්ත්වය තේරුම් ගැනීමට ප‍්‍රයෝජනවත් නිදර්ශනයක් මට ලංකාව සුනාමයට අසුවූ අවස්ථාවේ දී විදේශිය උගතෙකුගෙන් අහන්නට ලැබුණි. එයා වෙන කවුරුවත් නොව යොහාන් ගැල්ටූන් ය.  ගැටුම් සමනය විෂයේ  ප‍්‍රවීනයෙක් වූ එයාගේ පොතක් මා මෙහෙ ප‍්‍රකාශායට පත් කලෙ ය. එයා මගේ නොනිමි විප්ලවයේ ඉංග‍්‍රීසි පරිවර්තනයේ  කිසියම් විශාල කොටසක් කියාවා තිබේ. ලංකාවට පැමිණි වෙලාවක ඔහු මෙසේ කීවේ ය. ඔබගේ පොත මම කියෙව්වෙමි.  මට ඇති වූ හැගීම පමණක් මා කියන්නම්.  එයා මේ සේ පැවසීය. ” ඕනෑම රටක  උසස් අධිකරණය තිබෙන්නේ ඒ රටේ උසම කන්දේ ය.  ඔබගේ පොත කියවූ පසු මට තෙරුම් ගියේ  ඒ උස් කන්දේ තිබෙන අධිකරණයට ගංවතුර ගලා ඇත.  ඒ නිසා ඔබගේ රටේ  එතරම් උස තැනකටත් ගංවතුර ගැලූවේ නම්  ඔබගේ රටේ ගංවතුරට යට නොවූ කිසිම තැනක් නැත.” මේක භයානක තත්ත්වයකි. ඇත්තටම  අපි හිටියේ හුගාක් භයානක තැනක ය.  ඒ වගේම  හුගාක් ම්ලේච්ඡු, අශිලාචාර නරකම තත්ත්වයක ය. මා   පරිවර්තනයක් සඳහා මුදුනේ සිටින නායකයින්ගේ සිට  පුංචි අප දක්වාත්, අපි සියලූ දෙනා තුළ මේ ඇති වූ පොදු විනාශය ගැන  කම්පනයක් ඇතිකරගත යුතු ය. අපි මේ කොහේ ද සිටින්නේ. මොන තරම් අශිලාචාර තැනක ද. හිටියේ, අපි ඒ තත්ත්වයෙන්  ගැලවෙන්නට හීන් දකින්නට අවශ්‍ය ය.

දැන් සාමාන්‍යයෙන් බැලූවොත් සරල ගංවතුරකට අසු වූ ගෙයක් පවා අනිවාර්යයෙන්ම සේදිය යුතුවේ. නැතිනම් එය භාවිතයට ගත නොහැක. දීර්ග කාලීනව, සමරවිට  එක දිගටම වතුරට යට වූ ගෙයක් හෝදලා පිරිසිදු කිරීමෙන් පමණක් ප‍්‍රයෝජනයට ගත නොහැක.  සමහර වෙලාවට එය  පිළිසකර කරන්නට සිදුවේ.  අපි වසර 30කට වැඩි කාලයක් හිටියේ ඉතාමත්ම නරක තැනක ය. අපේ හැම දෙයක්ම නැතිවිය. විකෘති විය. විනාශ විය. දැන් අපිට අපිට ආත්ම විශ්වාසය, ධෛර්යය  සහ ප‍්‍රඥාව තිබිය යුතුය.  සියලු දෙනා එකට එකතු වී මේක නැවත ගෞරවයෙන් ජීවත්විය හැකි  තැනක් බවට පත්කර ගන්නට අවශ්‍යයි කියන හා සමාජයක් වශයෙන් දැනුවත් පුරවැසියන් වශයෙන්  අපි ඒ අධිෂ්ඨානය ඇතිකරගත යුතු ය.

ඇත්තටම මේ යහපාලන ආණ්ඩුව ගැන කථාකරන්නට පෙර  අපි රටක් හැටියට, ජනතාවක් ලෙස මුහුණ දුන් මහා ව්‍යසනයට බලපාන ලද හේතු  ගැන කථා කිරීම සුදුසු ය.  නූතන රාජ්‍ය ක‍්‍රමය ලෙස අපි සලකන්නේ මේ අපි ඉන්න ජාතික රාජ්‍යය ය.  ඇත්තටම මේ ජාතික රාජ්‍යයට සමගි සම්පන්න ජාතියක් අවශ්‍ය ය. ඒක මූලික කොන්දේසියකි. දැන් ඉන්දියානු නිදහස් අරගලයට යොමු වූ නායකයෝ තමන්ගේ නිදහස් අරගලය,  බ‍්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් නිදහස් වීමේ  අරමුණට සිමා කළේ නැත. ඒ නායකයෝ ජාතිය හදන කොවක් බවට පත්කරගත්තේ  නිදහස් අරගලය ය. ඒ රටේ අපිට වඩා ප‍්‍රධානම බෙදීම තිබුණේ ආගම සම්බන්ධයෙනි.  ඊ ළගට තිබුණු බෙදීම කුලය වේ.  කුලභේදයට හා ආගම් භේදයට තිබෙන  පිළිගැනීම අහිමි කිරීම සඳහා ඒ රටේ දැවැන්ත  මතවාදි ව්‍යාපාරයක් ගෙන ගියේ ය.

ලේ හලමින් නිදහස  දිනා ගන්නා අවස්ථාව වෙන විට ශක්තිමත් ඉන්දියානු ජාතියකට  අවශ්‍යය  අත්තිවාරම ඔවුහු ගොඩ නැගූ හ. අපේ නායකයින් ඇත්ත වශයෙන්ම බටහිර යුරෝපයේ ඉගෙනගෙන ආවේ වී නමුත් ඒ අ යට ජාතික රාජ්‍ය ගැන  ප‍්‍රමාණවත් තරමේ න්‍යායික අවබොධයක් තිබුණේ නැත.  ඒ වගේම ජාතිය ගැනත් ප‍්‍රමානවත් තරමේ අවබෝධයක් නොවී ය. අපි ඉන්දියාව වගේ නිදහස් අරගලයක්  හරහා  ඉදිරියට පැමිණි රටක් නොවන නිසාත්,  අපිට ඇත්තටම ජාතියක් හදාගැනිමේ අවශ්‍යතාවය පිළිබඳ ගැඹුරු  අවබෝධයක් නොතිබූ නිසාත්,  අපි නිදහසේ සිට ගමන ආරම්භ කළේ  ශක්තිමත් ඉදිරි ගමනක් නැතිව ය. නිදහසෙන් පසුත් සුලූ ජන කොටස්වල සහ ආන්තිකරණයට ලක්වූවන් නොසලකා ක‍්‍රියා කිරීම හේතු කොටගෙන මේ රටේ ආණ්ඩුවල කටයුතු සිද්ධවූයේ මර්ධනය සමගය.  ඒ නිසා ජාතිය ගොඩනගා ගැනිමට අසමත් වූ හෙයින් ආරම්භ වී වර්ධනය වෙමින් පැවති ප‍්‍රතිවිරෝධතා උග‍්‍ර වී අවසානයේ තවත් වසර 30කට ලංකාව කෙළවරක් නැති තරමට ලේ හලන රටක් බවට පත්විය.

අපි නැවත නිදහස සපුරාගන්නා අවස්ථාවේ දී,  සම්පූර්ණ කරගැනිමට අසමත් වූ  මූලික කොන්දේසිය  සපුරාගත යුතු තැනටයි  අපි ඓතිහාසික වශයෙන් පත්වී තිබෙන්නේ. ඒ කාර්යය එනම් උතුරේ යුද්ධය අවසන් වීමත් සමග  රටේ නායකයින්ට ප‍්‍රඥාව තිබුණේ නම් මෙහෙම කැරලි ආවේ ඇයිද යන්න කල්පනා කරන්නට තත්ත්වය වෙනස් වන්නට තිබුණි. මේක උතුරට පමණක් සීමා වූ එකක් නොව  මේක ඒ ආකාරයටම දකුණේ ද සිදු විය. මේකෙන් ගොඩ එන්නට මැන්ඩෙලා කෙනෙක් හෝ ටුටු කෙනෙක් මට පෙනෙන්නට නැත. එහෙම නැතුවත් අපේ නායකයෝ ඇදගෙන යන්නට සමත් සමාජ ව්‍යවාපාරයක් තිබේ නම් ඉදිරියට යා හැක.

මේ ආණ්ඩුව දැනගතයුතු වැදගත් කාරණා දෙකක් තිබේ.  අපි කැමති වූවත් නැතත්  ඊ ළග පාර්ලිමේන්තු මැතිවරණයේ දී  එකිනෙකාට එරෙහිව තරගකරන නායකයින් දෙදෙනෙක් තමයි මේ යහපාලන ආණ්ඩුවේ නායකයින් වී සිටින්නේ. ඒ සත්‍යය කාටවත් නැහැ කියන්නට නොහැක.   ඒක මේ ප‍්‍රතිසංස්කරණ වැඩසටහනට කිසිම ප‍්‍රශ්නයක් නොවේ.  ඒ අයට විනයක් ඇත්නම්, දැක්මක් තිබෙන්නේ නම් වසර 4රේ විරාම කාලය තුළ කළහැකි යමක් තිබේ.  ඒ දෙන්නාම මේ රටේ මහා ප‍්‍රතිසංස්කරණයක් ඇතිකරන බවට මහජනයාට සහතික වී තිබේ. සහතික වී පමණක් නොව මේ දේවල් ඔවුන් නොකළොත් ඒ අයත් බොහෝකල් යන්නට මත්තෙන් මහින්ද රාජපක්ෂ වගේ ඉතිහාසයේ කුණු කූඩයට යෑමේ අවදානම තිබේ.

ඒ අය සැළකිල්ලට ගත යුතු කාරණා කිහිපයක් ඇත. 2/3 බලය හදාගත් ආකාරය දැක්කාම පිළිකුලක් දැණේ. නමුත් මම විශ්වාස කරන්නේ නෑ  ඒ ඇරෙන්න තොරා් ගන්නට වෙනත් මාර්ගයක් ද තිබුණ බව.  ඒක නොකළා නම් මොක ද වෙන්නේ. යූ එන් පී ආණ්ඩුවක් හැදුවානම් මගේ කල්පනාවේ හැටියට රට විශාල අවුලකට ගමන් කරන්නේ ය.  එහෙම හිතුවක්කාරි ආකාරයට ක‍්‍රියා කළ හැකි ආකාරයක නොවේ රට තිබෙන්නේ. සමහර දේවල් ඒ නිසා අපිට ඉවසන්නට සිදුවේ. නමුත් අවශ්‍යවෙන කාරනයක් තමයි, මේ නායකයින් දෙදෙනා අතර හොඳ අවබෝධයක් සහ  එකගතාවයක් තිබීම.   වසර හතරකට පසුව වෙන වෙනම තරග කරන්න. මේ වසර 4 තුළ දී මේ රට ගොඩදාල දෙන්න අපිට.

ඒ වගේම අපිට අවශ්‍ය වෙන දෙයක් තමයි මේ නායකයෝ ¥ෂණයෙන් තොරවීම , ඥාති සංග‍්‍රහයෙන් තොරවීම, සත්‍යගරුකවීම, වැරදි කරන අය සම්බන්ධයෙන් නීතිය කි‍්‍රියාත්මක කිරීම . ඓසේ කළොත් පමණයි මේ බොට්ටුව  පැදගන යන්නට හැකිවන්නේ. එසේ නැත්නම්  ඒ නායකයින් මහජනයාගේ හාස්‍යයට ලක්වීම වැලැක්විය නොහැක.

පුරවැසි බලය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීමේ උත්සවයේ දී වික්ටර් අයිවන් මහතා  කළ දේශනය-

මහින්ද රත්නායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *