|

දයාසිරිගේ නෑමට ජනාධිපතිගේ තරගය සමග අග මුල නැති අධිවේගයේ කතාව

පසුගිය බ්‍රහස්පතින්දා අගමැතිවරයාට වැඩ අධිකම දිනයක් විය. එදින උදෑසනම නාරාහේන්පිට ශාලිකා පිටියට ඔහු ගියේ චීනයෙන් ආනයනය කළ සුඛෝපභෝගි බස් රථ  ඩිපෝ වලට බෙදා දීමේ උත්සවයට එක්වීමටය. ඇමති අර්ජුන හා නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ ඇතුළු පිරිසක් සමග නව බස් රථයක කෙටි චාරිකාවක් යාමටද අගමැතිවරයා ක්‍රියා කළේය.

දකුණු අප්‍රිකානු ජනපති රම්පෝසා ඕස්ට්‍රේලියා නවසීලන්ත සංචාරයකින් පසු සිය රට යන අතරතුර පැය 02ක කාලයක් කටුනායක ගුවන්තොටුපලේ විශේෂ ආරාධිතයන්ගේ අංගනයේ පැය 02ක් ගත කරන හෙයින් ඔහු වෙනුවෙන් උදෑසන ආහාරය එදින අගමැතිවරයා විසින් සූදානම් කොට තිබෙනු නිසා වහාම කටුනායක බලා යාමට අවශ්‍යව තිබිණ. එහෙත් අත්‍යවශ්‍ය මාධ්‍ය කටයුත්තක් සඳහා වහාම අරලියගහ මැදුරට පැමිණ එය නිමකොට කටුනායක බලා පිටත්විය.

“කිරිබත්, ආප්ප, ඉදිආප්ප, පිට්ටු, කැවුම්, කොකිස් ඇතුළු දේශීය ආහාරද ජනපති රම්පෝසාට පිරිනමන ආහාරවේලට  ඇතුල් කරන්න කියල මම උපදෙස් දුන්නා. එයාට හුරු පුරුදු දකුණු අප්‍රිකානු සහ බටහිර ආහාරත් එතෙන තියේවි. කැමති දෙයක් කන්නෙ නැතැයි.” යැයි අගමැති කීවේ මාධ්‍යකරුවන් දෙදෙනෙකු අමතාය.

අනතුරුව යලිත් අරලියගහ මැදුරට පැමිණි අගමැතිවරයා සුපුරුදු පරිදි බ්‍රහස්පතින්දා හමුවන මැති ඇමතිවරු පිරිස සමග ගෙවුණු සතියේ වැදගත් සිදුවීම් පිළිබඳ සමාලෝචනයකටද එක්විය.

“ඊයේ ජනාධිපතිතුමා ආපහු අමුතු කතා වගයක් මාධ්‍යකරුවන් ඉස්සරහ කියාගෙන ගියා. මෙහෙම හිතන හිතන් දේ කතාකරන්න ගියොත් රට තවත් අවුල් වෙනවා. එජාප වැඩි දෙනෙක් ඩීල් දානවා මිසක් මේවට ප්‍රතිඋත්තර බදින්නෙත් නෑ. මිනිස්සු අපිටයි බනින්නෙ” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ නෝක්කාඩුවෙනි.

“ජනාධිපතිට හිතෙන දේ කියන්න අවශ්‍යනම් කියාපුදෙන්. ඕවට උත්තර බැදලා කලබල වෙන්න ඕන නෑ. ජනතාවට මේ හැමදෙයක් ගැනම අවබෝධයක් ඇති. අපි ගැටෙන්න යා යුතු නැහැ. අපි අපේ සංවර්ධන වැඩ පිලිවෙල, ජනතා සහන, රටේ යටිතල ආදී අපේ වගකීම් වලට කැපවෙමු.” අගමැතිවරයා කීවේය.

“19 වැනි සංශෝධනය ගේන්න අච්චර කැපවෙලා ඒක වර්ණනා කරපු එතුමා දැන් ඒකට විරුද්ධ කතාකරන එකෙන් හෑල්ලු වෙන්නෙ එතුමාමයි. මේ ලියවිල්ල හැදුවෙ කවුද කියල හා ඒකෙ තියෙන්නෙ මොනවද කියල හොදටම දැනගෙන ඉදලා දැන් ඒකට පහර දීම ගැන ජනමාධ්‍යවල ප්‍රධානීනුත් පුදුම වෙනව කියලයි ඔවුන් කියන්නේ.” නවීන් දිසානායක කීවේ එවැන්නකි.

“දයාසිරි ජයසේකර ජනාධිපතිතුමා පොහොට්ටු අපේක්ෂකයාය කියල දිගටම නානවා. දයාසිරි පරද්දන්න ජනාධිපතිතුමා උත්සාහ කරනවද කියල දන්නෙ නෑ කියන ජනමාධ්‍යකරුවන් ඉන්නවා” චමින්ද විජේසිරි කීවේ සිනා මැදය.

“රටෙ අගමැතිට ප්‍රසිද්ධියේ “හාදයා” කියල අමතන ජනාධිපති කෙනෙක් මේ ලෝකෙම නැතුව ඇති. එතුමා එන්න එන්නම වැරදි හදාගන්නවා වෙනුවට තවත් අනවශ්‍ය දේවල් කියන එක රටේ ගෞරවයටත් හරි නෑ.” හේෂා විතානගේ කීවේය.

“ඔය හාදයම තමයි ලක්ෂ 62ක් ඡන්ද ලබාදීල එතුමාව ජනාධිපති කළේ. ඒක රටේ ජනතාවට නම් තාම මතකයි” මහාචාර්ය ආශු මාරසිංහ කී විට අගමැතිවරයා මද සිනහවක් පා ඉවත බලාගත්තේය.

“මධ්‍යම අධිවේගය සල්ලි කනවා මිසක් තාම පාර හදලා නෑ කියලා ජනමාධ්‍යවල ලොකු සද්දයක් යනවා. ජනමාධ්‍ය කියන්නෙ අලි බොරු. මධ්‍යම අධිවේගයේ ප්‍රශ්න තියනවනම් ඒ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන්න ඕන. කවුරු හරි ඒව අරගෙන අල්ලස් කොමිසමට නොයන්නෙ ඇයි? ඔය අධිවේගෙට මුල් වෙච්ච කෙනා හැටියටයි මම මේ අභියෝගය කරන්නෙ. මහින්දගෙ කාලෙ මේ අධිවේගෙට අදාල කිසිම දෙයක් කළේ නෑ. උඩරට මිනිස්සු එයාලට ඇලජික්. මම ඉඩම් කට්ටි 20,000 ක් මැනලා පවරගෙන වන්දිත් ගෙවලා අධියර 3 කින් පාර සැළසුම් කළා. මීරිගම ඉදන් කුරුණෑගල කොටස ටික කාළෙකින් විවෘත කරනවා. එතකොට පස් යාලෙ ඉදලා අදට වඩා පැය 1 1/2ක් අඩුවෙන් නුවර යන්න අලුත් පාරක් බිහිවෙනවා.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.

“එතකොට ඔය අධිවේගයේ මුලයි අගයි නැති එකක්ද?” නවීන් දිසානායක ප්‍රශ්න කළේ සිනාසෙමිනි.

“නෑ නෑ. මැදකොටස කඩිනම් වුණේ මගේ තීන්දුවක් මත ඒ කොටස දේශීය කොන්ත්‍රාත්කරුවන්ට ලබාදීම නිසයි. කඩවත මීරිගම පාරේ මුල් කොටස කරන්නෙ චීන්නු. ඒ අදියරත් ලබන අවුරුද්දේ මුල විවෘත කරන්න පුළුවන්.එයාල හරි ස්ලෝ. මේකෙ මහනුවර දක්වා වූ 3 වැනි අදියර ජපානෙත් එක්කයි කරන්නෙ. ඒකෙ නීති ප්‍රශ්න වගයක් ආවා. ඒවයිත් 95% දැන් විසඳිලා. ගාල්ල අධිවේගෙට අවුරුදු 09ක් ගියා. ඒත් ලංකාවෙ අසීරුම අධිවේගෙට තාම අවුරුදු 3 1/3යි ගතවුණේ. ” ලක්ෂ්මන් කිරිඇල්ලගේ පිලිතුර අගමැතිවරයා ඇතුලු කාගේත් අවධානයට යොමුවිය.

“දැන් එල්ලලා මරණ එකයි අඩුව තිබුණේ. ඒකත් කරන්නයි යන්නේ.” චමින්ද විජේසිරි කතාව වෙනතකට යොමු කළේය.

“මේ වැඩේට ජාත්‍යන්තරය වගේම ලංකාව ඇතුලෙනුත් එච්චර හොද ප්‍රතිචාර නෑ. මරණ දඩුවම ගේනවා කියලා මේ ආණ්ඩුව රටට කියල තිබුණෙත් නෑ. ජේ.ආර්. මැතිතුමා නවත්තපු එක චන්ද්‍රිකා හා මහින්ද යුග වලත් ඒ විදියට ගෙනිච්චා. පාප්තුමා හා සියළුම කතෝලික පල්ලිත් මරණ දඩුවමට විරුද්ධයි. පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම නිසා අවිශ්වාසයට ලක්වුණු ජනාධිපතිතුමා මේ වැඩෙන් කතෝලිකයන් අතර තවත් අපහසුතාවයට පත්වෙන්නත් බැරි නෑ.” එජාප නීති අංශ නිළධාරියෙක් කීවේය.

“අර නැගෙනහිර විශ්ව විද්‍යාලය ගැන පාර්ලිමේන්තු කාරක සභාව හදපු වාර්තාවේ නිර්දේශ ගැන ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද?” නවීන් දිසානායක විමසුවේ අගමැතිගෙනි.

“ඒක රජයට පවරාගත යුතු බව සියලු ජාතීන් අතර තියන මතයක්. 50%-50% ක්‍රමේට ආණ්ඩුවකට රට ඇතුලේ මේ වගේ අධ්‍යාපන වැඩ කරන්න අමාරුයි. සියළු සිසුන්ට සම අයිතිය ලැබෙන සරසවි අධ්‍යාපනකුයි රටේ තියෙන්නේ. ඒක නැගෙනහිර එකටත් අදාල විය යුතුයි. ඒ ගැන හදපු වාර්තාව ගැන ආශු මාරසිංහගෙන් අහන්න එයා ඒ කමිටුවේ සභාපතියි.” අගමැතිවරයා සිය ස්ථාවරය පැහැදිලි කළේය.

“අපේ ඒ කාරක සභාවට ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු 20ක් ඇතුලත්. අපි ඔය ආයතනයේ ඉතිහාසය හදාරලා ඒ ස්ථානයට ගිහින් අධීක්ෂණය කරලා ඊට පස්සේ මහවැලියේ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ, ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් වගේම දිසාපති, ප්‍රාදේශීය, මහබැංකුවේ, ලංකා බැංකුවේ වගකිවයුතු සියළු නිලධාරින් එක්කත් සාකච්ඡා කරලයි මේ වාර්තාව හැදුවේ. ඒකෙ තියෙන්නේ බොරු කියලා හිස්බුල්ලා කියනවනම් ඒක ඒ රාජ්‍ය නිළධාරීන්ට හා පාර්ලිමේන්තුවටත් කරන අපහාසයක්. එතුමා ඒ කාලෙ ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමතියි. ඒත් පිටරටකින් ණයක් හෝ මුදලක් ලංකාවට එද්දි ගත යුතු ක්‍රියාමාර්ග දන්නේ නෑ කියන එකත් ප්‍රෙහේලිකාවක්. ඉඩම් අවභාවිතය, මේ අධ්‍යාපන ආයතනයට නිසි අවසරයක් නොගැනීම, ණය මුදලක් බව නොකියා ලංකා බැංකුව නොමග යැවීම මහ බැංකුව දැනුවත් නොකිරීම වගේම ලමයින්ගෙ මොල හෝදන ශරියා අධ්‍යාපනයට මේ අය උත්සාහ කරපු බවත් අපට තහවුරු වෙලා තියෙනවා. මේක රජයට පවරා ගත යුතු බවයි අපේ කාරක සභාවෙ මන්ත්‍රීවරු සියළු දෙනාගෙ නිර්දේශය වෙන්නෙ.” මහාචාර්‍ය ආශු මාරසිංහගේ විග්‍රහය එහි සිටි සියළු දෙනා අගය කළා පමණක් නොව මෙවැනි ජාතික කටයුත්තකට උරදීම ගැන අගමැති ඇතුළු එහි සිටි සියළුදෙනාගේ ප්‍රසංශාවද හිමිවිය.

“මේ දවස්වල වැඩිපුරම TV එකේ කතාකරන අර කළුතර පොහොට්ටුවේ මනුස්සයා ඉස්සර කෝච්චියේ කරපු වැඩ ගැනයි රුපියල් දෂලක්ෂ හාරදහස් පන්සියයක් උපයපු හැටි ගැන උසාවියට පැහැදිලි කරන්න කිව්වාම නයා ගහපු හැටිත් මිනිස්සු දන්නවා. ඒ මදිවට ලංකාවෙ ලොකුම හොර මත්පැන් නිෂ්පාදනාගාරයේ හිමිකරුවා ලෙසත් STF එකට මාට්ටු වෙලා. ඕවා බීලද දන්නේ නෑ එයා පාර්ලිමේන්තුවෙයි ප්‍රවෘත්ති සාකච්ඡා වලයි පිස්සු කියවන්නෙ. මේව අපි රටට දෙනවා මදි. කළු මාධ්‍ය මේ පහත් වැඩ හංගනවා.” එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ප්‍රහාරාත්මක අදහස එය විය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *