රාජිතට එරෙහි පෙත්සම ඉරා පුළුස්සති – ජී එම් ඕ ඒ ලොක්කෝ නාගොඩ රෝහලේ පස්සා දොරෙන් පැනයති


 සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව මහජන විශ්වාසභංග යෝජනාවකට බව කියමින් ලියවිල්ලකට අත්සන් ගැනීමට ගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් හා ඊට විරෝධය පළ කළ කණ්ඩායමක් අතර ඊයේ (24) පෙරවරුවේ නාගොඩ මහ රෝහලේදී උණුසුම් තත්ත්වයක් හට ගැනිණ.

රාජිත සේනාරත්න මහතාට විරෝධය දැක්වීමක් ලෙස නාගොඩ රෝහලේ කාර්ය මණ්ඩලයෙන් හා රෝහලට පැමිණ සිටි රෝගීන් ඇතුළු පිරිසකගෙන් ලියැවිල්ලකට අත්සන් ගැනීමේ වැඩසටහනක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ පෙරවරුවේ ක්‍රියාත්මක කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ, වෛද්‍ය නවින් සොයිසා ඇතුළු නිලධාරීන් පිරිසක් ජනතාව දැනුවත් කරමින් එම පත්‍රිකාවට අත්සන් ලබා ගනිමින් සිටියදී ඊට විරෝධය දක්වමින් රෝහල ඉදිරිපිට විරෝධතාවක යෙදුණු පිරිසක් එක්වරම රෝහලට කඩා පැන රෝහල තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කළ නොහැකි බවත්, වෛද්‍ය සංගමයේ වැඩපිළිවෙළ නිසා රෝගීන්ට බාධා පැමිණෙන බවටත් චෝදනා කිරීමත් සමග දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.

වෛද්‍ය සංගමය හා ඒ පිරිස අතර එම උණුසුම් තත්ත්වය පවතින අවස්ථාවේදී ප්‍රතිකාර ලබාගැනීමට පැමිණ සිටි විශාල පිරිසක් ද රෝහල් පරිශ්‍රයේ සිටියහ.

දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වය දැඩි වූ අතර රෝහලට කඩා වැදුණු පිරිස වෛද්‍යවරුන් අත තිබූ අත්සන් ලේඛන උදුරා ඉරා දැමූ අතර පසුව රෝහල පරිශ්‍රයේම ඒවා ගිනි තබා විනාශ කරනු දක්නට ලැබිණ.

විරෝධතාව උත්සන්න වෙද්දී පොලිසිය ද පැමිණි අතර දෙපාර්ශ්වය සන්සුන් කරවීමට පොලිස් නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරනු දක්නට ලැබිණි.

ඒ අවස්ථාවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට විරෝධය දැක්වීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් ද රෝහල් පරිශ්‍රයට පැමිණියහ.

ඒ අනුව පාර්ශ්ව තුනක් ගැටුමට මැදි වූ අතර ඒ හේතුවෙන් ඊයේ පෙරවරුවේ පැය කිහිපයක්ම නාගොඩ රෝහලේ රෝගී සත්කාර සේවා බිඳවැටිණ.

පසුව පොලිසියේ මැදිහත්වීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් පිරිස රෝහලේ පිටුපස ගේට්ටුවකින් පිටත් කරවනු දක්නට ලැබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *