ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මියගේ අවසන් කටයුතු 27 බ්‍රහස්පතින්දා

ප්‍රවීන ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය කොළඹ ජාතික රෝහලේ දී අවසන් හුස්ම හෙළුවාය. මියයන විට ඇය 83 වන වියෙහි පසු වූ ඇය ප්‍රවීන ගායන ශිල්පියෙකු හා සංගීත අධ්‍යක්ෂවරයෙකු වූ සිසිර සේනාරත්න මහතා ගේ බිරිය වූවාය.

ඇය ගැයූ චිත්‍රපට ගීත හා සරල ගීත බෙහෙවින් ජනප්‍රිය වූවාය. ලෙස්ටර් ජේම්ස් පිරීස්ගේ රේඛාව චිත්‍රපටයට ඇය ගැයූ ගරු මර්සලින් ජයකොඩි පියතුමන් විසින් රචිත වෙසක් කැකුළු අතු අග සිට නටන විලාසේ ගීතය චිත්‍රපට ගීත නාමාවලියේ සුවිශේෂ සලකුණක් තැබූ ගීතයකි. ඇය ගුවන් විදුලියට සරල ගීතයක් වශයෙන් ගැයූ රතුපාට මල් මට තාම මතකයි ගීතය කලක් ජනප්‍රියත්වයේ උච්ච ස්ථානයේ වැජඹුන ගීතයකි. එය එකල ගුවන් විදුලියේ වැඩිම වාර ගණනක් ප්‍රචාරය වූ ගීතය ලෙස ඉතිහාසයට එක් වී ඇත. ඇය සිය සැමියා සමඟ ගැයූ පිදුරු සෙවිකළ පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ ගීතය ද අදටත් ජනප්‍රිය යුග ගීතයකි. ගයා ගීතයන් ගමේ වෙල් එළියේ, හඳපානේ මල් පිපුණා, සුදු සඳ එළියේ, හොඳ හොඳ ළමයින් අපි වාගේ, ඈත අහසේ, බුදු ස්වාමිනේ සිරිපා පියුම්, ආදරෙයි මම ආදරෙයි, දඟකාරයි මං ඇය ගැයූ යුග, සරල හා චිත්‍රපට ගීත අතර අදටත් ජනප්‍රිය ගීත වලින් කීපයකි.

ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සරස්වතී මණ්ඩපය තුළින් ළමා ගීත ගායිකාවක් ලෙස සංගීත ක්ෂේත්‍රයට පා තැබූ ඉන්ද්‍රානි විජේබණ්ඩාර පසුව ගුවන් විදුලියේ සරල ගී ගායිකාවක් බවට පත්වූවාය. ඇය සිසිර සේනාරත්න සමඟ විවාහ වීමෙන් පසුව ඉන්ද්‍රාණි සේනාරත්න වශයෙන් සිය නම භාවිතා කළාය. දැනට වසර දශකයකට පෙර ඇය කියා සිටියේ තමාගේ නම ඉදිරියට ඉන්ද්‍රානි විජේබණ්ඩාර ලෙස හඳුන්වන් වනවා දැකීමට තමන් කැමති බවයි.

ඉතාම ලෙංගතු කලා ලෝකයේ ආදර්ශමත් අඹු සැමි යුවලක් වූ සිසිර ඉන්ද්‍රාණි සේනාරත්න යුවලගෙන් සිසිර සේනාරත්න මීට පෙර (2015) දී ජීවිතයෙන් සමුගත්තාය.  සිසිර ඉන්ද්‍රණි යුවලට දරුවන් තිදෙනෙක් සිටින අතර ඔවුන්ද ගායන හැකියාවෙන් යුක්ත වූවන්ය.

ඉන්ද්‍රාණි විජේබණ්ඩාරගේ දේහය මේ වන විට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 27 වන බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිතය.

මනෝජ් රූපසිංහ

අනුමත කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *