දොස්තර සාෆි සැත්කම් කළ ඉතිරි මවුවරු 7000 ගැනත් සොයයි – රහස් පොලිසියෙන් පරීක්ෂණ

කුරුණෑගල ශික්ෂණ රෝහලේ මොහොමඩ් සහබ්දීන් සාෆි වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කම්වලට ලක්කළ නමුත් කිසිදු සන්කුලතාවක් ගැන පැමිණිලි කිරීමට ඉදිරිපත් නොවූ 7000ක් පමණ මවුවරුන් ගේ සෞඛ්‍ය තත්වයද සොයා බැලීමටත් , කුරුණෑගල රෝහලේ කළ සියලු සිසේරියන් සැත්කම් පිළිබඳව සොයා බැලීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කොට ඇති බව තතු දත් ආරංචිමාර්ග කියයි . එම සියලු තොරතුරු ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයට නියෝග කරමින් අධිකරණ නියෝගයක් ලබාගැනීමටද රහස් පොලිසිය මේ වනවිටත් කටයුතු කොට ඇත .

කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් රහස් පොලිසිය මෙම නියෝගය ලබාගෙන ඇත්තේ කුරුණෑගල රෝහලෙන් පරීක්ෂණ සදහා හොද සහයක් නොලැබෙන බව පෙනීගොස් ඇති නිසා බව කියති .

මොහොමඩ් සහබ්දීන් සාෆි වෛද්‍යවරයාට මුලින් චෝදනා එල්ල වුයේ වඳ සැත්කම් 4000ක් සිදුකල බවටය . පසුව වාර්තා වුයේ ඔහු විසින් සැත්කම් 8000ක් පමණ සිදුකොට ඇති බවයි .කෙසේ වෙතත් දැනට පැමිණිලි ලැබී ඇත්තේ දහසක් පමණ ප්‍රමාණයකි . ඉන් ඇතැම් සැත්කම්වලට සාෆි වෛද්‍යවරයාගේ සම්බන්ධයක් නැති බවද වාර්තා වෙයි .

දැන් ප්‍රශ්නය මතුව ඇත්තේ 7000ක් වන අනෙක් මවුවරුන් පැමිණිලි නොකළේ කුමන හේතුවක් නිසාද යනුවෙනි . ඔවුන් වැඩිදෙනෙක් තවත් දරුවන් ලබා හොඳ සෞඛ්‍ය තත්වයෙන් සිටින බවටද තොරතුරු ලැබී ඇත . ඒ පිළිබඳව පරික්ෂා  කළ යුතු බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි .

ඒ සමගම කුරුණෑගල රෝහලේ අනෙක් වෛද්‍යවරුන් කළ සැත්කම් වලින් පසුවද මවුවරුන්ට කුමන හෝ සංකුලතා ඇතිවූයේද , සාෆි වෛද්‍යවරයා කළ සැත්කම් වලින් පසුව සංකුලතා ඇතිවූ ප්‍රමාණයේ වැඩිවීමක් පෙන්නුම් කරන්නේද යන කාරණයද පරික්ෂා  කිරීමට නියමිත බව කියති .

මෙම කරුණු පරික්ෂාකිරීම සදහා විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකුගේ කණ්ඩායමක් අධිකරණය විසින් පත්කොට ඇත . වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණිලි කළ මවුවරුන්ගේ පරීක්ෂාවන් කොළඹ කාසල් හා සොයිසා  රෝහල්වලදී සිදුකිරීමට රහස් පොලිසිය අධිකරණ නියෝග ලබාගෙන ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *