|

ජනාධිපතිගේ හැසිරීමේ රහස හෙළිවෙයි – 18 අහෝසි බව තවම දන්නේ නැහැ !

ජනාධිපතිවරයාට අසීමිත බලතල ලබාදී තිබු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනය අහෝසි කොට ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තවමත්  නොදන්නා බව ඊයේ හෙළිදරවු වීය . ඒ 18 සංශෝධනය අහෝසි කලයුතු බව එය  අහෝසි කොට වසර හතරකට පසු ඊයේ ප්‍රකාශ කිරීම මගිනි .

රට යහපත් රටක්  ලෙස ගොඩනැගීම සඳහා  18 වන සංශෝධනයත් 19 වන සංශෝධනයත් යන  දෙකම අවලංගු  කළ යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කොළඹදී  පවසා ඇත.

පසුගිය වසර හතරහමාරක කාළය තුළ ආණ්ඩුවේ කටයුතු  පිළිබඳ ආපසු හැරී බැලීමක්  සිදුකළ යුතුව ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා වත්මන්  අණ්ඩුව නරක් විමට  ප‍්‍රධානතම හේතුව 19 වන සංශෝධනය බවත් එම සංශෝධනය ඉදිරිපත් නොවුණේ නම්  මේ ආණ්ඩුව  හොඳ ආණ්ඩුවක් විමට ඉඩ තිබූ බවත් සඳහන් කොට තිබේ .

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති  ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වැනි සැමරුම් උත්සවයට එක්වෙමිනි.

පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු සිවිල් සමාජ ව්‍යාපාරත් , එජාපය ඇතුළු දේශපාලන පක්ෂත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස තෝරාගත්තේ රට පාලනය කරන්නට නොව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට බව ජනාධිපතිතුමාට සම්පුර්ණයෙන් අමතක වී ඇති බව මේ ප්‍රකාශයෙන් පැහැදිලිය . එතුමා මේ කියන්නේ 2015 ජනවාරි 8 පෙළගැසුණු බලවේගයන්ගේ අපේක්ෂා වැරදි බවයි . තමා  තවදුරටත් එම අපේක්ෂා වෙනුවෙන් පෙනී නොසිටින බවයි .

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම ප්‍රකාශය කළ උත්සව  අවස්ථාව සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, නිවාස ඉදිකිරීම් සහ  සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එහිදි වැඩිදුරටත් අදහස් පළ කළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.

‘‘ගරු අග‍්‍රාමාත්‍යතුමනි, මේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වසරක්  සමරනවා වගේම  අපේ ආණ්ඩුවට  දැන් අවුරුදු හතරහමාරක් ගතවෙනවා. මැතිවරණයකට යන්න තියෙන්නේ තව මාස  හතරක පහක කාලයක් පමණයි.

ඒ නිසා  මේ අවුරුදු හතරහමාරක කාල සීමාව තුළ ආණ්ඩුවක් විදියට අපි හරියට  කරාද වැරදුනාද කියලා සොයා බැලිය යුතුයි.  මේ ආණ්ඩුවේ කටයුතු  පිළිබඳ ආපසු හැරී බැලීමක් දැන් තියන්න වෙලාව  ඇවිත් තියෙනවා.

මේ කාලය තුළ ආණ්ඩුව නරක්වීමට  ප‍්‍රධානතම හේතුව තමයි  19 වැනි සංශෝධනය.  19 වැනි සංශෝධනය ආවේ  නැත්නම් මේ ආණ්ඩුව  හොඳ ආණ්ඩුවක් වීමට ඉඩ තිබුණා.

මේ  රටේ ජනතාව අතර විශාල චෝදනාවක් තියෙනවා  අගමැතිතුමයි මමයි දෙපැත්තට අඳිනවා කියලා. මේ දෙපැත්තට අඳින තත්වය ඇති වුණෙත්  19 වන සංශෝධනය නිසයි.

18 වන සංශෝධනය  තනිකරම ආඥාදායක ඒකාධිපති ක‍්‍රමයක් ඒක ඉතාම  නුසුදුසුයි.  18 වන සංශෝධනය අහෝසි කිරීමට තමයි අපි ආණ්ඩුවක් හැදුවේ.

ඒත් 19 වන සංශෝධනයෙන්  මේ  රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා. එක නායකයෙක් නැතිව ගියා.  මේ සංශෝධනයෙන් ජනාධිපතිත්  අගමැතිත් දෙපැත්තට අඳින ක‍්‍රමයක් ඇතිවුණා.  ඒකෙන් රටටත් ආණ්ඩුවටත් විශාල අලාභයක් සිද්ධ වුණා.  18 වන සංශෝධනය ඒකාධිපතියි, 19 වන සංශෝධනයෙන්  රට අස්ථාවර වෙනවා.  රට අරාජිකයි කියලා මිනිස්සු  අපිට කියන්නේ මේ 19 වැනි සංශෝධනයෙන් ඇතිවූ තත්වය නිසයි.  19 වන සංශෝධනය ඇති නොවුණා නම් මේ  අවුරුදු හතරහමාරක කාලය මිට වඩා විශිෂ්ට ජයග‍්‍රාහී සිව්වසරක් වීමට ඉඩ තිබුණා” යැයිද ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එහිදී පැවැසීය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා 2015 මැතිවරණයේදී පොරොන්දු වුයේ ජනාධිපති ක්‍රමය අහෝසි කරාන බවට හා නිර්පාක්ෂික ජනාධිපතිවරයකු වන බවටය . එම පොරොන්දු බලයට පැමිණි වහාම කඩකළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහින්ද පිලේ නායකයා වී තමන්ට වෙනම බලයක් ගොඩනග ගැනීම ආරම්භ කළේය . 19 සංශෝධනය විකෘතියක් වන්නේ එම බල අරගලයේ ප්‍රතිපල වශයෙනි .

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැන් මේ කියන්නේ තමන් බලයට පත්කළ ජනතාවගේ අභිලාෂයන්ට තමන් විරුද්ධ බවයි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *