ජනාධිපති වෙනවා නම් සා/පෙළ වත් සමත් විය යුතුයි – රවී කරුණානායක

රටේ දේශපාලනය කිරීමට නම් අවම වශයෙන් අ.පො.ස. සා/පෙළ විභාගය හෝ සමත්ව තිබිය යුතු බවට යෝජනා කරනු ලබන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඒ අනුව දේශපාලනයේ ඉදිරියට ගමන් කිරීමේදී නියෝජ්‍ය අමාත්‍යවරයෙක්, අමාත්‍යවරයෙක්, අගමැතිවරයෙක් වගේම ජනාධිපතිරයෙක් බවට පත්වීමේදී එක් එක් පියවර වෙනුවෙන් වෙන වෙනම අධ්‍යාපන සුදුසුකම් සලකා බැලිය යුතු තත්ත්වයක් ඇතිකළ යුතු බවද ඇමැතිවරයා කීවේය.

නිසි අධ්‍යාපන සුදුසුකම් නොමැතිවීමේ විපාකය අද අපට අත්විඳීමට සිදුව ඇති බවද ඇමැතිවරයා කීවේය. ජනාධිපති අපේක්ෂකයා ලෙසින් පක්ෂයෙන් ඉදිරිපත් කරන්නේ පරිනත දේශපාලඥයෙක් බවද ඒ මහතා කීවේය.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, ලංකා විදුලිබල මණ්ඩලයේ නව පත්වීම්ලාභීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.

බන්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලනාධිකාරියේ විශාල පිරිසක් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසකුත් සහභාගි වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය රවී කරුණානායක මෙසේද පැවසීය.

ලංකා විදුලිබල මණ්ඩලය කියන්නේ සාමාන්‍ය සේවා ස්ථානයක් පමණක් නෙමෙයි. මේ ආයතනය මුළු රටටම බද්ධ වෙලා, රටේම අවශ්‍යතාවක් බවට පත්වෙලා තිබෙන සංකීර්ණ ආයතනයක්. ලක්ෂ 68 ක් පමණ පිරිසකට සේවා සපයන එකම ආයතනය බවට අද මේක පත්වෙලා. මේ නිසා තමයි නව ආණ්ඩුවක් ගොඩනගන්න අත දුන්න මන්ත්‍රීවරු සියළු දෙනාගේම ප්‍රදේශයන් වලට මෙම ආයතනයේ රැකියා අවස්ථාවන් බෙදීයන ආකාරයෙන්, හැකියාව සහ දක්ෂතාව මත ලබාදෙන්න තීරණය කළේ. මිට ඉහතදි ලංවිම රැකියා අවස්ථාවන් එක ප්‍රදේශයක පිරිසකට පමණක් සීමා වෙලා තිබුණා. මගේ රාජ්‍ය අමාත්‍යවරයාට මේ අවස්ථාවේ ස්තුතිවන්ත වියයුතුයි මේ ක්‍රියාවලිය මේ ආකාරයෙන් සිදුකිරීමට මට අදහස් සහ සහාය ලබාදුන්නට.

ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂත්වය තමයි, මෙහි රැකියාවක් ලබාගන්න බැහැ අධ්‍යාපන සුදුසුකම් නොමැතිව. සහජ හැකියාවන් සහිත, බුද්ධිමත්, රට වැඩක් කලහැකි පිරිසකට තමයි ලංවීම ආයතනික ව්‍යුහය තුළින්ම රැකියාවක් සදහා අවස්ථාව සැලසෙන්නේ. සුදුසුකම් නොමැති දේශපාලන හෙන්චයියන්ට මෙම ආයතනයේ රැකියා ලැබෙන්නේ නැහැ. ජනාධිපතිට, අගමැතිට, ඇමතිවරයෙක්ට, මන්ත්‍රීවරයෙක්ට වගේම මේ රටේ බහුතරයකට නොලැබෙන ආකාරයේ වැටුපක් තමයි ලංවිම සේවකයෙක්ට හිමිවන්නේ. වැටුප නෙමෙයි වැදගත් වෙන්නෙ. ඒ වැටුපට සරිලන සේවයක් සැපයීමයි. ලංකා විදුලිබල මණ්ඩලය දැවැන්ත ආයතනයක් වුවත්, අද මෙවැනි තත්ත්වයකට පත්වෙලා තිබෙන්නේ නිවැරදි නායකත්වයක් නොලැබීම නිසයි. මම ලංවිම ට අභියෝගයක් ඉදිරිපත් කරලා තිබෙනවා. තමාගේ දක්ෂතාවය තුළින් ලංකාව පමණක් නෙමෙයි, අසල්වැසි රටවල් ආක්‍රමණය කරන්න කියලා. ඒ තුළින් ජාත්‍යන්තර තලයේ ආයතනයක් බවට පත් කරන්න කියලා. අපි ජනනාවට සහන සැලසිය යුතුයි. නමුත් එයින් ආයතනයට ලැබෙන පාඩුව දරාගත හැකි මට්ටමක පැවතිය යුතුයි. ගැටළුව තමයි, අවම මිලකට විදුලිය නිපදවන්න පුළුවන්කම තිබියදී, වැඩි මිලකට ජනනය කිරීම. ඒ තතත්වය අපි නිවැරදි කළ යුතුයි. ඒ සදහා යම් කාලයක් යයි. නමුත් ආයතනයේ සියලු පිරිස් වල අදහස් අරගෙන ආයතනය තුළ සැබෑ වෙනසක් ඇතිකරගෙන යනවා “යැයි පැවසීය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *