භික්ෂූ කරපිට දේශපාලකයා – සම්පත් අමරසිංහ

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ මෙරට භික්ෂු දේශපාලනය අලුත් නැමියාවක් සිදුවී ඇතැයි කිව හැකිය. එකී නැමියාවේ අලුත්ම ප්‍රකාශන වශයෙන් හඳුනාගත හැකි කරුණු කිහිපයක් තිබේ. ඉන් එකක් වන්නේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලැබීම ය. අතුරලියේ රතන හිමිගේ දළදා මාලිගාව අසල උපවාසය, ඊට අමතරව රාවණ බලය ආදී භික්ෂූන් ගේ මූලිකත්වයෙන් යුතු සංවිධානවල ක්‍රියාකාරීත්වය ද දක්නට ලැබේ. එම ක්‍රියාකාරීත්වය තවත් ප්‍රකාශනයක් වශයෙන් චම්පික රණවක අමාත්‍යවරයා මූලිකත්වයෙන් යුතුව ත්‍රෛනිකායික මහා සංඝ සමුළුවක් පසුගිය ජුනි 8 වන දින ණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණ. එයට සහභාගීවූ සඟ පිරිස දෙදහසකට අධික බවද කියැවිණ, මෙරට සමස්ත භික්ෂු පිරිස අනුව 2000 ක් යනු විශාල පිරිසක් නොවේ. එසේම එදින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට රැස් වූ භික්ෂු පිරිස් යනු චම්පික රණවක ඇමතිවරයාගේ දේශපාලන දර්ශනය අනුව යන හෝ ඔහුට සහාය දෙන භික්ෂූ පිරිස බව පිළිගත යුතුය. එසේ පිළිගැනීමත් සමග ඔහුට සහයෝගය නොදෙන සහ ගෝඨාභය රාජපක්ෂ, ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආදී වශයෙන් විවිධ පුද්ගලයන් සහ දේශපාලන පක්ෂ සහ සංවිධාන වලට බැඳුණු සහ ඒවාට අනුග්‍රහය දක්වන භික්ෂුන් ද සිටින බව මතක් කළ යුතුය. ඉන් පෙනෙන්නේ මෙරට දේශපාලනයේ මෙන්ම භික්ෂූන් අතර ද පොදු එකඟතාවක් නොමැති බවය. ගිහි සමාජය දේශ දේශපාලන වශයෙන් පමණක් බෙදී සිටිය ද භික්ෂුව යනු දේශපාලන වශයෙන් පමණක් නොව නිකාය වශයෙන් ද පිරිසකි.

කවරාකාර වුවද ඉහත ත්‍රෛනිකායික මහා සංඝ සමුළුවේදී රජය වෙත යෝජනා මාලාවක් ඉදිරිපත් කරන්නට යෙදුණු කරුණු 12 කින් යුතු මෙම යෝජනා මාලාව මෙසේය.


එකී යෝජනා 12 හි බැලූ බැල්මට වරදක් නොවන නමුත් විදේශගත අධ්‍යාපනය ලබා මෙරටට පැමිණෙන පුද්ගලයන් පිළි පිළිබඳ නියාමනය කළ යුතුය වැනි යෝජනාවක් පුද්ගලයන්ගේ මානව හිමිකම් සම්බන්ධව බලපාන්නේ කෙසේද යන ගැටලුව තිබේ. නියාමනය කළ යුතු වන්නේ විදෙස් අධ්‍යාපනය ලබා එන්නන් නොව විදෙස් හෝ දේශීය හෝ අධ්‍යාපනයක් ලැබුවා වුවද පිරිවෙන් හෝ පාසල් අධ්‍යාපනය ලැබුවද, වෛරී ප්‍රකාශන, ආගමික සහ ජාතික සමගියට හානිකර ප්‍රකාශ ආදිය සිදු කරන්නන්ය. මෙම චෝදනාව බෞද්ධ භික්ෂූන්ට අතිශය විශේෂය. බොදු බල සේනා රාවණා බලය ආදී භික්ෂූන් පමණක් නොව ගමේ පන්සලේ භික්ෂුන් බොහෝමයක පවා මේ වන විට දේශනා කරමින් සිටින්නේ ඉස්ලාම් මුස්ලිම් විරෝධයකි.


මෙයට කලකට පෙර එම දෙසුම් කිතුනු විරෝධී, දෙමළ විරෝධී වූ බවද එසේම මතක් කළ යුතුය. හලාල් විරෝධය ආදියේ දී භික්ෂූන් හැසිරෙන ආකාරය අතිශය ද්වේශ සහගත ය. එමෙන් ම මුලින්ම සිදුවිය යුත්තේ භික්ෂූන් වශයෙන් සංවර වීම ය. ධර්ම දේශනා වෙනුවට කෙරෙන දේශපාලන කතා නතර වීම ය. බෞද්ධ භික්ෂූන් ධර්ම දේශනාවලදී කරන ලබන ඇතැම් ප්‍රකාශ ආගම්වාදය ජාතිවාදයඅවුස්සන කිසිදු විද්‍යාත්මක පදනමකින් තොර ඒවාය. නිදසුනක් ලෙස ඒක් හිමිනමක් වරක් ධර්ම දෙසුමක් අතර කීවේ මෙරට මුස්ලිම් ජනගහන වර්ධන අනුපාතය සිංහල බෞද්ධ ජනගහන වර්ධන අනුපාතය ඉක්මවා යමින් තිබෙන බවයි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ඉහත ප්‍රකාශය බොරුවක් බව ධර්ම දේශනාවෙන් පසුව මා පෞද්ගලිකව එම භික්ෂුවට කීවිට එම භික්ෂුව කියන්නේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවා වැඩ කරන්නේ තම්බින්ට වාසි වෙන විදිහට කියාය. තවත් වතාවක තවත් භික්ෂුවක් බන අතර කීවේ පෙර කාලයේ පිරිමි දරුවන්ට වැඩියෙනුත් ගැහැනු දරුවනට අඩුවෙනුත් මව්වරුන් කෑම බෙදුවේ දරුවන් උත්පාදනයේදී වැදගත් වන්නේ පුරුෂයාගේ ශක්තිය නිසාය කියාය. එම ප්‍රකාශය අනුව පැහැදිලි වූයේ එම භික්ෂුවට පුරුෂ ශුක්‍රාණුව මිස ස්ත්‍රි ඩිම්බය පිළිබඳ අදහසක් නොමැති බවය. බෞද්ධ භික්ෂූන් විසින් විසඳාගත යුතු ගැටලු වන්නේ මේවාය.
එහෙත් වත්මන් භික්ෂුව හෝ භික්ෂු සංවිධානය හෝ ගිහියන්ගේත් අන්‍ය ආගමිකයන්ගේ ගැටළු වලට මැදිහත් වන තරම්ට භික්ෂු සංස්ථාවේ ගැටළු නිරාකරණය සඳහා මැදිහත් වන බවක් පෙනෙන්නට නැත.

ඊළඟ කාරණය මෙකී සංඝ සම්මේලන ඇත්තටම සංඝ සම්මේලනද නැතහොත් දේශපාලනයේ නියුතු ගිහියන් වෙනුවෙන් කෙරෙන ප්‍රචාරක වැඩසටහන් ද යන්නය . ඇත්ත කාරණය ඒවා ගිහියන් වෙනුවෙන් පැවැත්වෙන සංඝ එකමුතු බවයි. ආණ්ඩුවට දේශපාලන පක්ෂවලට දේශපාලකයන්ට මග පෙන්වීමට භික්ෂුවට අවශ්‍යනම් දහස් ගණන් රැස් විය යුතු නැත. දේශපාලකයන් පක්ෂ නායකයන් විහාරස්ථානවලට කැඳවා එය කළ හැකිය.
නමුත් සිදුවන්නේ භික්ෂුව පෙන්වා භික්ෂූන්ගේ කර මතින් බලයට එන දේශපාලකයන් බලයට පත්වූ පසුව භික්ෂුව අමතක කර දැමීම ය. ඒ අතරින් භික්ෂුවක් හෝ දෙදෙනෙක් උපදේශක කමක් රැකියාවක් වැනි යමක් ලබාගෙන දේශපාලකයාට තුරුළු වී ඔහුට උපදෙස් දීම වෙනුවට ඔහුගෙන් උපදෙස් ගැනීමටත්, ඔහුට කඩේ යාමටත් පටන් ගැනීමය.

මෙරට භික්ෂුව දේශපාලණිකරණය කළ පළමු තැන්ැත්තා ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායකය . ඒ සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය පෙරට ගැනීමෙනි. එය කෙළවර වූයේ බණ්ඩාරනායක භික්ෂූවක් අතින් ඝාතනය වීමේනි. බණ්ඩාරනායක ඝාතනය කළ තල්දූවේ සෝමාරාම භික්ෂූව ආයුර්වේද වෛද්‍යවරයෙකු සේම ආයුර්වේද ගුරුවරයෙක්ද විය. ඒ අනුව බණ්ඩාරනායක ඝාතනය සිදුවී තිබුනේ සඟ වෙද ගුරු තුනෙහි එකතුවකිනි.

සෝමාරාම භික්ෂුව කීවේද තමන් බණ්ඩාරනායක ඝාතනය කළේ රට ජාතිය ආගම වෙනුවෙන්ය කියාය. බණ්ඩාරනායක ඝාතන නඩුවේ දී හෙළිදරව් වූයේ ඝාතනය පිටුපස තිබුනේ රට ජාතිය හෝ ආගම නොව ව්‍යාපාරික හබයක් බවයි.

බණ්ඩාරනායක ඝාතනය පිටුපස තවත් ප්‍රබල චරිතයක් වූයේ මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන්ය. බුද්ධ රක්ඛිත යනු බණ්ඩාරනායක මහතාගේ භික්ෂු පෙරමුණේ බලකණුවය. ඒ හිමියෝ බණ්ඩාරනායක ඝාතනයට සහයෝගය දුන් හේතුව බණ්ඩාරනායක ඝාතන නඩුවේ දෙවන සැකකරු එම.පි.ජයවර්ධන සහ බුද්ධරක්ඛිත හිමිට අයත් නැව් සමාගමකින් මෙරටට සහල් ආනයනය කිරීමට අවසර ලබා ගැනීමට බුද්ධරක්ඛිතට අවශ්‍යව තිබුණ ද අගමැති බණ්ඩාරනායක එයට අවනත නොවීම ය. රට ජාතිය ආගම පෙන්වා කරන කටයුතු බොහෝමයක යටිි අරමුණු ඒ අතර වන්නේය.

බණ්ඩාරනායක මහතාද භික්ෂුව උපයෝගිි කර ගත්තේ තමන්ට බලය ලබා ලබාගැනීමටය. බැඳ සිටි සුනඛයන් බණ්ඩා ලෙහු කතාවක් කොතලාවල කී බව ද කියැවේ. පාඨලී චම්පික රණවක ද හෙළ උරුමය ද එවැනිම දහම් ගැට වලට දක්ෂය. 2004 වසරේ ඔවුන් තම පක්ෂය සංඝයාට පූජා කළේ එවැනි සූත්‍රකාර කටයුත්තකටය. අන්තිමේ සංඝයාට පූජා කළ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ගිය භික්ෂූන් කෙළවර වූයේ ගිහියන් අතින් තමන්ගේ රහස් පෙදෙස පවා මිරිකවා ගැනීමෙන් අනතුරුව සහ නොයෙකුත් දූෂණ වංචා චෝදනාවට ලක් වීමෙන් අනතුරුවය. අවසානය ගිහියන් භික්ෂුන්ට හක්ගෙඩි යනුවෙන් අමතන තත්ත්වයක් පවා ඇතිවිය.

දේශපාලන නිසා භික්ෂුවත්, භික්ෂුව නිසා දේශපාලනයටත් සිදුවිය හැක්කේ කුමක්ද යන්නට බණ්ඩාරනායක ඝාතනයත් භික්ෂුව හක්ගෙඩියන් වීමත් හොඳ නිදර්ශන දෙකකි. එහෙත් දේශපාලකයන්ට ඇප උපකාර කර ව්‍යාපාර කොන්ත්‍රාත් කරන රාජ්‍ය අනුග්‍රහය ලබන භික්ෂූන් අදත් කොතෙකුත් සිටින අතරම භික්ෂුව මාර්ගයෙන් දේශපාලන බලය තහවුරු කර ගන්නට මාන බලන දේශපාලකයෝද සිටිති. දෙපිරිසම කටයුතු කරන්නේ රට රවටා තම කටයුතු කරගැනීමට බැවින් ඔවුන්ගේ උපාය ඔවුන් අතරින්නේ නැත. ඒ නිසා සිදුවිය යුතු එකම දේ වන්නේ ජනතාව ඔවුන්ගේ දෙබිඩි රංගනය තේරුම් ගැනීමය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *