පුද්ගලයෙක් වෙනස් වූ පමණින් සියල්ල වෙනස් වෙන්නෙ නෑ – සම්මානනීය ලේඛක මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල.

ටෙලිනාට්‍ය සහය අධ්‍යක්‍ෂකවරයෙක්, පිටපත් රචකයෙක් හැටියට හඳුනාගෙන සිටි ඔබ ‘සෙන්කොට්ටං’ නව කතාව තුළින් නාට්‍යකරුවකු ලෙස පාඨකයන් අතරට එනවා. ‘අපූරු ඒ වෙනසේ කතාව’ පැහැදිලි කරනවානම්….

මම වෘත්තීය වශයෙන් ටෙලි නාට්‍යය ශිල්පියෙක් හැටියට ටෙලිනාට්‍යය ක්‍ෂේත‍්‍රයේ නිරතව හිටියත් මම සාහිත්‍යකරුවෙක් හැටියට  සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයට එළඹෙන්නේ 2010 වසරෙදි, මගෙ කුළුඳුල් කාව්‍ය සංග‍්‍රහය වන ‘හිරුත් හිම පියල්ලක’ කාව්‍ය සංග‍්‍රහයත් එක්ක.

කවිය හා නවකතාව අතර සමාජ කියවීම කොතෙක්ද කියනවා නම්, කවි පොත නිසා මම සාහිත්‍ය කරුවෙක් විදිහට සාහිත්‍යලෝලීන් දැන ගත්තෙ නෑ. 2012 අවුරුද්දෙ ‘සෙංකොට්ටං’ නවකතාව හරහා තමයි සාහිත්‍ය කරුවෙක් හැටියට මාව අඳුරගත්තෙ. කොහොම වුනත් යම් ප‍්‍රමාණයක් අතර මගෙ නම ප‍්‍රචලිත වුණේ කවියෙන් කියන එක මගේ අදහසයි හා පිළිගැනීම.

අපි දන්නව අද කවි පොත් තියෙන්නෙ මොන මට්ටමකද කියල. මම කවි පොත නිසා ජනතාව අතරට ගියා. මම අවුරුදු 14 ක් ටෙලිනාට්‍ය කරුවෙක් හැටියට, පිටපත් රචකයෙක්, සහය අධ්‍යක්‍ෂක වරයෙක් හැටියට මාව අඳුරගෙන නොසිටි පිරිසක් මේ කවි පොත හරහා දැන ගත්තා. ඒ නිසා නවකතාකරුවෙක් හැටියට වඩා කවි පොත් නිර්මාණය කළ සාහිත්‍ය කරුවෙක් හැටියට මාව හඳුනා ගැනීම පිළිබඳව මා සතුටු වෙනවා.

ලේඛකයෙක් හැටියට ඔබේ ගොඩ නැගීම කොහොමද? එය විකාශනය වූයේ කෙසේද?

මම ගොඩකවෙල, මස්ඉඹුල ගමේ, යැපීමට කුඹුරු තියන, ඉතාම සාමාන්‍ය පවුලක කෙනෙක්.  මට කාලාවට ආකර්ෂණය වෙන්න විශේෂ හේතුවක් වුනේ මගෙ ආච්චි අම්මා සහ තාත්තා කියන දෙන්නා කියල කියන්න පුළුවන්. ඔවුන් ගමේ තියෙන කලාව මූලික කරගත් විවිධ කටයුතුවලදී ඒවාට සම්බන්ධ වී කටයුතු කළ උදවිය.

බොහොම පුංචි කාලෙ ඉඳලා මගෙ හිතට ආව දෙයක් තමයි, මොනම අන්දමකින් හරි කලා ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ වීමේ ආශාව. මගේ හිතටවත් තෝරාගැනීමක් තිබුණෙ නෑ. ඒ කලාව මොකක්ද?, ඒ ගොඩනැගෙන කලාකරුවා මොන වගේ කෙනෙක්ද? කියන එක ගැන. මුලින්ම රංගන ශිල්පියෙකු වීමේ බොළඳ හීනයක් තිබුණා. නමුත් අපේ දෙමව්පියන්වත්, ඥාතීන්වත් හිතුවෙ නෑ මේ දේවල් අපට කරන්න පුළුවන් කියල. ‘අපිට කලාකරුවන් එක්ක සම්බන්ධයක් නෑ. කොළඹ ගිහිල්ලා  ඕවා කරන්න බෑ’ කියන සිතුවිල්ලයි ඔවුන් අතර තිබුණෙ. නමුත් මගෙ හීනෙ දිනෙන් දින වැඩි වුණා මිසක් අඩු වුනේ නෑ. මට  ඕන කම තිබුණා මොන මාධ්‍යයකින් හෝ කලාවට සම්බන්ධ වෙන්න. ඒ කාලේ මම විශාල පරිශ‍්‍රමයක් දැරුවා කලාවට සම්බන්ධ වෙන්න. අඩුම වශයෙන් චිත‍්‍ර ශිල්පියෙක් හෝ වෙන්න  ඕනෙ කියන අදහසක් තිබුණ. මම ඒ සඳහා විවිධ ආයතනවලට අයදුම්පත‍්‍ර දාලා තියනවා. සම්මුඛ පරීක්‍ෂණ වලටත් ගිහින් තියනවා. ඒ මට වයස අවුරුදු 16,17,18 වගේ වසරවලදි. ඒ එකක්වත් හරිගියේ නෑ.

මේ අතර 1999 දී මගේ ලිපියකට පිළිතුරු ලිපියක් එවනවා ටෙලි නාට්‍යය අධ්‍යක්‍ෂ සනත් අබේසේකරගෙන්. ඔහුගේ ටෙලිනාටයක සේවකයෙක් විදිහට වැඩකරන්න එන්න කියල. ඒ අනුව ‘දිලිසෙන සල්ලි’ කියන ටෙලිනාට්‍යයට මම සම්බන්ධ වෙන්නෙ ‘ටී බෝයි’ කෙනෙක් විදිහට. (තේ හදන ශිල්පියා හැටියට* ඒ නාට්‍යයේ වැඩ  කෙරුවට පස්සෙ, නාට්‍යයෙන් නාට්‍යයට තෙවන සහය අධ්‍යක්‍ෂක, දෙවන සහය අධ්‍යක්‍ෂක, පළමු සහය අධ්‍යක්‍ෂක වශයෙන් වැඩ කරල අන්තිමේ මම සහය අධ්‍යක්‍ෂක තනතුරට ආවා. ඊළ`ගට මට පළවෙනි ටෙලිනාට්‍ය තිර පිටපත ලියන්න හමුබ වෙනවා එරංග සේනාරත්න කියන අධ්‍යක්‍ෂක වරයා හරහා. ඒ සෝමා ටී. පෙරේරාගේ ‘ඉරහඳ යට හමු වී’ කියන නවකතාව පාදක කරගෙන ‘අහසින් වැටුණු ගැහැනියක්’ නමින්. ඒක කොටස් 40 ක ටෙලි නාට්‍යයක්. ඒක ලියනකොට මට වයස අවුරුදු 20 ක්. මම ජීවිතේටවත් හිතුවෙ නෑ එම වයස වන විට මේ වගේ ටෙලි පිටපතක් ලියන්න ලැබෙයි කියල.  ආපසු හැරිල බලනකොට ඒවා ඉතාමත් උසස් නිර්මාණ නොවුනට ආධුනිකයෙක් හැටියට මාව ගොඩක් ධෛර්යමත් කරන කාරණා බවට පත් වුණා.
සුදත් රෝහණ, දී.ග. සෝමපාල, ලක්‍ෂ්මන් විජේසේකර, රෙජිනෝල්ඞ් ජයමාන්න, සරත් ධර්මසිරි වගේ අධ්‍යක්‍ෂකවරුන් සම`ග සහය අධක්‍ෂකවරයෙක් විදිහට දැවැන්ත නාට්‍යවල වැඩකරන්න ලැබුණ.

මම කොච්චර කාර්ය බහුල වුණත් මගේ කවි හීනය මගෙන් ගිලිහිලා ගියෙ නෑ. ඒ කාලෙ තිබුණ සුවඳ, සඳරේණු, නවලිය, බිරිඳ වගේ වනිතා හා යොවුන් පුවත්පත් වලට මෙන්ම ලංකාදීප වගේ පුවත්පත්වල කවි පිටුවලට කවි රචනා කරලා ඒවා පළවෙලා තිබුණා. හිම රෝස කියන පත්තරේ දිගටම මගෙ කවි පළවුණා. ඒ මගේ ආරම්භයේදී මම ගොඩක් උද්‍යෝගයට පත්වෙච්ච අවස්ථාවක් කියල කියන්න පුළුවන්. ඒවා පේ‍්‍රමය ගැන ලියවුණු ඉතාමත් බොළඳ කවි. හැබැයි මම 1988 – 89 කාලෙ වෙන විට මම ජාතික පුවත්පත් වලට කවි ලිව්වා. රාවය, සිළුමිණ වගේ පුවත් පත් වල මගෙ කවි පලවෙලා තියෙනව.  ජාතික තලයේ පුවත්පත් වලින් තමයි මම අඳුර ගත්තෙ පේ‍්‍රමය විතරක් නෙමෙයි එතනින් ඔබ්බට ගිය, සමාජය විනිවිද දකින කවි ලියන්නත් පුළුවන් කියල.

මේ වන විට තරුණ පරම්පාරව අතරෙ මාව හඳුනාගැනීමක් තිබුණා කවි ලියන කෙනෙක් හැටියට. කවි පොතක් එළිදක්වන්න අවශ්‍යතාවයට මම ප‍්‍රධාන පෙළේ ප‍්‍රකාශකයන් කිහිප දෙනෙක් ළ`ගට ගියත් කිසිම කෙනෙක් ගෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලැබුණෙ නෑ. ඊට පස්සෙ ටෙලිනාට්‍යවලින් එකතුකරගත්ත සල්ලි වලින්, මම පළවෙනි කවි පොත කර්තෘ ප‍්‍රකාශනයක් විදිහට 2010 අවුරුද්දෙදි එළිදැක්වුවා. ඒ පොතට හොඳම කවි පොත විදිහට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබුණා.

ඔබගේ පළමු නවකාව, වෙනස්ම වූ තේමාවක් හරහා ගෙතුණු, සම්ප‍්‍රදායික ආදර කතාවක් කියන්නත් බැරි, ඉතිහාස කතාවකුත් නොවන වෙනස්ම මගක් ගත් නවකතාවක්. එයට පසුබිම් වෙන්නෙ මීට දසක ගණනාවකට පෙර සබරගමු පළාතෙ ජනජීවිතය. මෙම නවකතාව ගොඩනැගීමට පසුබිම ඇති වෙන්නෙ කොහාමද?

ටෙලිනාට්‍ය ක්‍ෂේත‍්‍රයේ නියැලෙන ගමන් මට අවශ්‍යතාවයක් තිබුණා හරවත් වෙනස් විදිහක ටෙලිනාට්‍යයක් කරන්න. එහෙම අදහසක් මගෙ හිතට වැටුණෙ ‘කඩුල්ල’ කියන ටෙලිනාට්‍යය බලලා දැනුණ ආශ්වාදය නිසා කියල කියන්න පුළුවන්. ‘කඩුල්ල’ ටෙලි නාට්‍යය ශ‍්‍රී ලංකා ටෙලිනාට්‍යය කලාවේ හැරවුම් ලක්‍ෂයක් කියල කියන්න පුළුවන්. විශේෂයෙන්ම තිලක් ජයවීර ලියූ එහි තිරනාකටය. ඒ අනුව මගේ උත්සාහයක් තිබුණා හොඳ ටෙලිනාටයයක් කරන්න. ඒකට ස්ථිර පදනමක් නොවුනත් ‘සෙංකොට්ටං’ කතාව මම තිර නාටකයක් විදිහට ලිව්වා. කොටස් 6 ක් විතර ලිව්වා. පසුසෙ මගෙ කාර්යබහුලත්වයත් එක්ක ඒක මග ඇරිල ගියා. ඒත් කතාවට අවශ්‍ය කාල පරිච්ෙඡ්ද, එම වකවානු චරිත ගැන හැදෑරීම මම නතර කෙරුවෙ නෑ. එය නිරන්තරයෙන් කෙරුණා. 2010 පසු ටෙලි නාට්‍ය ක්‍ෂේත‍්‍රයේ පසුබෑමක් දකින්න ලැබුණා. නිර්මාණත්මක අතින් කඩාවැටීමක් ඇති වුණා. දීර්ඝ ටෙලි නාට්‍යවල මටත් වැඩ කරන්න සිද්ධ වුණා. ඒවයින් අන්තිමේ දී ඇති වුනේ කළකිරීමක් විතරයි. ලංකාවේ ඉහළ තලයක තිබුණ කලාවක් ක‍්‍රමයෙන් කඩා වැටුණා. මටත් කළකිරීමක් ඇති වුණා.

මම ටෙලිනාට්‍ය තුළ තිරනාටක රචයෙක් විදිහට ඉදිරියට යයි කියල හිතුවත්, මම නවකතාකරුවෙක් වෙයිකියන අදහසක් තිබුණෙ නැහැ.  මට හිතුණා ‘මෙච්චර අමුද්‍රව්‍ය හොයාගෙන ගොඩ නගාගත්තු කතාව බාල වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කරන්නෙ ඇයි?’ කියල. ඊට පස්සෙ මම හිතුවා මේ කතාව මම නවකතාවක් බවට පත්කරන්න. මට හිතුණා සාහිත්‍ය කෘතියක් හැටියට මේක කීපදෙනෙක් හෝ කියවයි කියල. ඒක කිසිම නිශ්චිත අරමුණක් ඇතිව කරපු දෙයක් නෙමෙයි. මම කොයි මොහොතකවත් හිතුවෙ නෑ ඒක නාවකතාවක් හැටියට පාඨකයා පිළිගනියි කියල. ඒත් බලාපොරොත්තු රහිත විදිහට එම කතාව පාඨකයා අතරට ගියා.

ඔබේ නවකතාවට පාඨක ප‍්‍රතිචාර වගේම, එම වසරේ (2012* පැවති සම්මාන උත්සව හැම එකකින්මපාහේ විශිෂ්ඨතම නවකතාවට හිමිවන සාහිත්‍ය සම්මානය ලැබෙනව. (2012 විශිෂ්ඨතම නවකතාව – රාජ්‍ය සාහිත්‍ය සම්මානය, 2012 විශිෂ්ඨතම නවකතාව – විද්‍යෝදය සාහිත්‍ය සම්මානය, 2012 විශිෂ්ඨතම නවකතාව – ගොඩගේ සාහිත්‍ය සම්මානය, 2012 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශය.* ඒත් වසර දෙක තුනක් යනකම් ඔබේ දෙවන නවකතාව එළිදක්වන්න ප‍්‍රමාද වෙනව.

එක අතකින් මම ලියන්න ටිකක් කම්මැලියි. සෙංකොට්ටං කතාවත් අවුරුදු 8 ක 9 ක කාලයක සිට ලියපු කතාවක්. ඒකට සෑහෙන කාලයක් අමුද්‍රව්‍ය එකතු කෙරුවා.

මම කියන්න කැමතියි සෙංකොට්ටං නවකතාව නොහිතපු විදිහට සම්මාන ලැබුවා. සම්මාන ලැබුණත් මම හිතුවෙ නෑ පාඨකයන් අතරට මේ තරම් යයි කියල. 2012 සිට මේ වන තුරු එයට ප‍්‍රතිචාර ලැබෙනව.  මට සතුටකට වැඩිය එහි තියෙන්නෙ පුදුමයක්. මට ඒ උද්‍යෝගය බලපෑවා දෙවෙනි නවකතාව වන ‘මාණික්කාවත’ ලියන්න. ඒකට අවශ්‍ය තොරතුරු හොයන්න අවුරුදු 3 ක් 3 2/1ක් විතර ගත වුණා.
පළමු කාරණය වෙන්නෙ පාඨකයා කියවලා රසවින්දනයක් ලැබීම. මගේ දෙවෙනි පොතටත් පළමු පොතට වගේම, ඊටත් වඩා හොඳ ප‍්‍රතිචාර ලැබෙමින් තියෙනව.

ඔබගේ කෘතීන් දෙකෙන් ඔබ වඩාත් ප‍්‍රිය කරන්නෙ කුමන නවකතාවටද? එය සිනමාවට නැගීමට සූදානම් වෙන බව ආරංචියක් තියෙනව ඒ පිළිබඳව විස්තර.

මේ දෙකෙන් වඩාත් කැමති කොයි කෘතියටද කියල මට කියන්න බැහැ. මම මගේ හැම නිර්මාණයකටම කැමැත්තක් දක්වනව. මටත් ගැටළුවක් තියෙනව සෙංකොට්ටං කතාව ගොඩනැ`ගුනෙ කොහාමද කියල. එය මටම පුදුමයක්. ඒත් මාණික්කාවත මම සැලසුම් සහගතව ගොඩනගපු නිර්මාණයක්.

සෙංකොට්ටං නවකතාව තිරනාටකයක් හැටියට මේ වෙනකොට ලියලා ඉවරයි. සිනමාවට නැගීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකරගෙන යනවා.  තවම මාධ්‍ය මගින් අපි මේ ගැන කතා කරලා නෑ. මෙහි ශිල්පීන් කවුද? අධ්‍යක්‍ෂවරයා කවුද කියල තවම හෙළි කරල නැහැ.
මම හිතනව එය විශේෂ සිනමා නිර්මාණයක වෙයි කියල. එය නිර්මාණය කරන්න ඉන්න නිර්මාණ කරුවා මට කියලා තියනවා ඔහු ජීවිතයේදී කරන එකම සිනමා නිර්මාණය එය බව. එය ජාත්‍යන්තර අගැයීමකට ලක්වෙන සිනමා කෘතියක් වෙයි. එය කියවූ පාඨකයා තුළ යම් කුකුසක් තියනවා ඔවුන් කියවපු රසය නැතිවෙයිද කියල සිනමා කෘතිය තුළ. ඒක රැුක ගැනීම අභියෝගයක්. මොකද සාහිත්‍ය කෘති වලින් සිනමා කෘති කරල සාර්ථක වුණ අවස්ථා ලංකාවෙ ඉතාම අඩුයි.  ජාත්‍යන්තරය නම් ඒ අභියෝගය ජය අරගෙන තියෙනව. ඔවුන්ගේ තාක්‍ෂණික දියුණුව සහ ඔවුන්ගේ සිනමා කර්මාන්තයේ හැම අංශයකම ශක්තිමත් නිසා. ලංකාවෙ නම් නවකතා පාදක කරගෙන තැනූ
සාර්ථක නිර්මාණ අතේ ඇ`ගිලි පහටත් වඩා අඩුයි.

නිධානය, තුංමංහන්දිය වගේ සිනමා කෘති කීපයයි සාහිත්‍ය නිර්මාණ වලින් සාර්ථකව සිනමාවට න`ගලා තියෙන්නෙ. බොහෝ සිනමා කෘති සාහිත්‍ය කෘතියේ තියෙන මූලික රසය විනාශ වුණු ඒවා. මගෙ විශ්වාසයක් තියෙනව එය හොඳ නිර්මාණයක් බවට පත්වෙයි කියල.  දැනට මේකට ගන්න රංගන ශිල්පීන් ගැන සාකච්ඡුාවක් කෙරෙමින් පවතිනව. කවදාවත් ර`ගපෑමක් ඉදිරිපත් නොකළ පිරිසක් මේකට ගන්න අදහසකුත් තියෙනව. ඒ අදහස කොහොම වුනත් මේ නිෂ්පාදනයේ දෑවැන්තකම රැුක ගන්න පිරිසක් තමයි මේක වටේ එකතුවෙලා ඉන්නෙ.  මම හිතනවා පාඨකයන්ගේ රසයට හානියක් සිදුවෙන්න නෑ කියන එකතමයි මගේ විශ්වාසය.

මම දන්නා පරිදි ඔබේ නවකතාව සිනමාවට නගන්නේ ප‍්‍රවීන රංගන ශිල්පියෙකු වූ රවින්ද්‍ර රන්දෙනිය විසිනුයි. රවීන්ද්‍ර රන්දෙනිය දශක ගණනාවක් සිනමා ක්‍ෂේත‍්‍රයේ පළපුරුදු පරිනත ශිල්පියෙක්. ඔහු කියන පරිදි ඔහුගෙ එකම සිනමා කෘතිය ‘සෙංකොට්ටං’ වීම විශේෂයක්.
ඒ පිළිබඳ තවම මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමක් කරල නෑ.

ඔබේ ‘සෙංකොට්ටං’ නවකතාව මෙන්ම ‘මානික්කාවත’ නවකතාවත් ජනතා විමුක්ති පෙරමුණේ කලා සංවිධානය වන සමාජවාදි කලා සංගමයෙන් අගැයීමකට ලක් කරනවා. එසේත් නැත්නම් ඒ පිළිබඳ විචාරයක යෙදුනා. ඔබ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක් නිසා ඔබට දක්වන  සහයෝගයක්, අනුග‍්‍රහයක් පිණිස එසේ කෙරුවද? නැත්නම් ඔවුන් විශේෂිත සාහිත්‍ය කෘතියක් පිළිබඳ කෙරෙන සංවාදයක් වශයෙන් එසේ කෙරුවද?

කිසිම දේශපාලන පක්‍ෂයක් සමග මගේ බැඳීමක් නැහැ. ඔවුන්ම මගේ කෘතිය තෝරාගෙන ඔවුන්ගේ දෙයක් විදිහටයි එහෙම කෙරුවෙ. එම වැඩසටහනට මගේ සම්බන්ධයක් හෝ බලපෑමක් තිබුණෙ නෑ. මමත් පුද්ගලිකව එයට සහභාගි වුණා. ඔවුන් කාගෙ හෝ කුමක් හෝ හොඳ සාහිත්‍ය කෘතියක් අගැයීමකට ලක්කරනවා නම් එක හොඳ දෙයක්. ඒක රාජ්‍ය මට්ටමින් කෙරෙන්න  ඕන දේවල්. මම ඔවුන්ගේ පක්‍ෂයත් සම`ග බැඳිල නැති වුණත් මම ඔවුන් අගයනවා. කිසිම දේශපාලන පක්‍ෂයක නැති සාහිත්‍ය සම`ග බද්ධ වීමක් ඔවුන්ගේ පක්‍ෂය තුළ තියෙනව. අනිකුත් පක්‍ෂවල තියෙන්නෙ සාහිත්‍යයෙන් දිනෙන් දින බැහැර වෙන ගතියක්. මම ජනතා විමුක්ති පෙරමුණ අගය කරන්නේ ඔවුන්ගේ විශාල සාහිත්‍ය කියවීමක් තියෙනව. රටකට පක්‍ෂයකට පමණක් නොව  ඕනෑම සංවිධානයකට ඒක අවශ්‍යයි. විශේෂයෙන්ම පක්‍ෂයක් වශයෙන් ඔවුන් ඉතාමත්ම විචාරශීලි ලෙස කලා කෘති දිහා බලන්න පුරුදුවෙලා තියෙනව. එය ඉතාම හොඳ සාධනීය ලක්‍ෂණයක්. එවැන්නක් තමයි අපේ රට ට අවශ්‍ය කියන තැන මම ඉන්නව.

එතකොට පසුගිය ජනාධිපතිවරණයෙදි සියලූම වමේ පක්‍ෂ පෙළ ගැසෙනනේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවිය යුතුයි කියන ස්ථාවරය වටා. පක්‍ෂ පමණක් නොව විවිධ සංවිධාන.  සමාජ ජාල, වෙබ්අඩවි පරිහරණය කරන තරුණ කොටස් ඉන්නෙ එම ස්ථාවරයෙ. ජනාධිපති වරණය මෙහෙයවපු පොදු අපේක්‍ෂක කණ්ඩායම එම සටන හඳුන්වනු ලබන්නේ දෙවන නිදහස් අරගලය වශයෙන්. ඇත්තටම ඒ සිදුවුනේ රටේ දෙවන නිදහස් අරගලයද? එසේ නැතිනම් එය ජයග‍්‍රහණය ලබා ගැනීම සඳහා නිර්මාණය වූ ජනප‍්‍රිය සටන් පාඨයක් පමණක් ද?

ඒ අවස්ථාවේ විශාල පිරිසක් යම් යම් කැපවීමක් කෙරුවා. මමත් යම් යම් අවස්ථාවල සම්බන්ධ වෙලා අදහස් ප‍්‍රකාශ කෙරුවා. මම වේදිකාවලට ගොඩනොවුනට සහයෝගයක් දැක්වුවා. නමුත් මම දැන් දකින්නෙ එක කාසියෙ දෙපැත්ත වගේ. තිබුණ තත්ත්වයෙ කිසිම වෙනසක් වෙලා නෑ. එකම පුද්ගල කණ්ඩායමක් අතර තමයි බලය හුවමාරු වෙලා තියෙන්නෙ. බොහෝ පිරිස් බලාපොරොත්තු වුණ දේ සිද්ධ වුනේ නෑ. මේ දේශපාලන ක‍්‍රියාවලිය ඇතුලෙ පුද්ගලයෙක් වෙනස් වූ පමණින් සියල්ල වෙනස් වෙන්නෙ නෑ. මේ සමාජ ප‍්‍රවාහය ඇතුළේ විශාල වෙසනක් සිදුවිය යුතුයි. අඩුම තරමේ පුංචිම වෙනස්කම්වත් සිද්ධ වෙලා නෑ. බහුතර ජනතාවත්, ඒ වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරපු ජනතාවත් තවත් වරක් රැුවටුණා කියන එකයි මම කියන්නෙ.

එසේ නම් ජනතාව තෝරාගතයුතු මග කුමක්ද?

ජනතාවටත් ගැටළුවක් ඔවුන් තෝරාගත යුතු මග කුමක්ද කියන එක. මෙහි මූලික බර ජනතාවට පටවන්න බෑ. ජනතාව හැම විටම ක‍්‍රියා කරන්නෙ, මාධ්‍ය හැසිරෙන ආකාරය පූර්වාදර්ශයක් කරගෙන. අනික දේශපාලන චරිත ඒ මොහොතේ හැසිරෙන ආකාරය. නමුත් දේශපාලඥයා තුළම තමයි මෙහි වගකීම තියෙන්නෙ. අපි දකිනව බලයට ඒමට මොනතරම් දේවල් කරනවද, මොනතරම් පොරොන්දු දෙනවද කියන එක. බලයට ආවට පසුසෙ කිසි වෙනසක් නෑ. අපි හැමදාම දකින දේශපාලඥයා පිළිබඳ අපේ හිතේ ඇඳිල තියන චිත‍්‍රය තමයි තව දුරටත් නඩත්තුවෙන්නෙ.

විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය, සමාජ වෙබ් අඩවි, විවිධ සන්නිවේදන මෙවලම් මේ ජයග‍්‍රහණය සඳහා විවිධ කණ්ඩයම් විසින් පාවිච්චි කෙරුවා.  වරදක් සිදුවී ඇත්නම් එය නිවැරදි කරගන්න එම උපක‍්‍රම ම භාවිතා කරන්න බැරිද?

එය තමයි සිදුවිය යුත්තේ. ඒක ප‍්‍රමාදයි. ලංකා වගේ රටක විශාල බලයක් පතුරවාගෙන හිටිය නායකයෙක් වෙනස් කරන්න පුළුවන් වුණා ඒ එකමුතුවට. ඒ එකමුතුවෙන් සිද්ධ වුණ දෙයක් තමයි නැවතත් වෙනස් වුණේ. ඒ හින්දා තෝරාගැනීමේ ගැටළුවක් තියෙනව කියන එකයි මට හිතෙන්නේ. නමුත් සැබෑ නිවැරදි එක්වීමක් තුළින් මීට වඩා දෙයක් රටක් තුළ කරන්න පුළුවන් කියන එකයි මගේ අදහස. ජනවාරි 8 වෙනිදා අපි අත්දුටුවේ අත්හදාබැලීමක්.

මේ හැම දෙයකටම බලපාන්නේ නායකත්වය කියන ප‍්‍රතිරූපය. නායකත්වයක නිශ්චිතයක් අපේ ලංකාව වගේ රටක නැති බවයි මගේ හැ`ගීම. ලංකාවේ දේශපාලනයේ අරම්භයේ ඉඳලා, රජවරුන්ගෙ පාළන සමයෙ ඉඳලා, ඊට පසු නිදහස දක්වාත්, නිදහසෙන් පසුවත් ඊට පස්සෙ දිණුවයි කියන යුද්ධය අරන් බැලූවත්, එතන සිට යහපාළනය දක්වා බැලූවත් මේ පාළන වල කිසිදු වෙනසක් වෙලා නෑ. හැමදාම වෙලා තියෙන්නෙ ජනතාව රැුවටීමක්. ජනතාවට ජීවත් වෙන අභියෝගයට හැමදාම මුහුණ දෙන්න වෙලා තියෙනව.

රටේ මූලික යටිතලය ගැන අවධානය යොමු වෙලා නෑ. රටේ පාළකයන්ගෙ මූලික අවධානය යොමු වෙන්න  ඕනෑ ගොවිතැනට. ලංකාව වගේ රටක් ගත්තම ගොවිතැනට අවශ්‍ය සියලූ දේවල් තියෙනව. ඒක පොඩි ළමයෙකුට වුණත් තේරෙනව. රජය කරන්න අවශ්‍ය යම් අනුග‍්‍රහයක් දැක්වීමයි. එහෙත් කොතරම් පිටරටින් හාල් ගෙන්වනව ද. මේ ක‍්‍රමය හැදිල තියෙන්නෙ වෙළෙඳ ප‍්‍රවාහයත් එක්කයි. දේශපාලඥයන්, වෙළෙන්දන්, ආගමික සංස්ථාව අත්වැල් බඳගෙන ඉන්නේ ඔවුන්ගේ අර්ථික නඩත්තු සඳහා. මේ ක‍්‍රමය ඇතුළෙ ජනතාව මිරිකිලා තියෙනව. එදත් අදත් සිද්ධවෙලා තියෙන්නෙ ඒකයි.

මේ ප‍්‍රවාහය මූලික වශයෙන් වෙනස් වුනේ නැත්නම් මම හිතන්නෙ නෑ යහ පාළනය නෙමෙයි මොන පාළනය ආවත් වැඩක් වෙයි කියල. සිද්ධ වෙන්නෙ එකම දේමයි. එක පිරිසක් වරප‍්‍රසාද ලබනවා. පුද්ගලයන් වෙනස් වීමක් නොව, දේශපාලනය, චින්තනමය වශයෙන් වෙනසක්විය යුතුයි. මූලික අඩිතාලම තියෙන්නෙ සමාජවාදි දේශපාලන ආර්ථිකයක් තුළ තමයි. නමුත්, එය තිස් හතලිස් ගණන් වල න්‍යායවාදී දේශපාලනය නෙමෙයි. අදට ගැලෙපෙන හොඳ න්‍යායක් එක්ක, සැබෑ මානව හිතවාදී නායකයෙක් පැමිනුණොත් මේ සියල්ල වෙනස් කළ හැකියි. එහෙම නැති වුණොත් ඊළ`ගට එන නායකයත් මේ වගේම නායකයෙක් වෙයි.

අද ප‍්‍රබුද්ධ අදහස් ඇති ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි, අපිට තෝරගන්න පක්‍ෂයක් නෑ. තොරගන්න නායකයෙක් නෑ කියන එක. එහෙම පක්‍ෂයක්, නායකයෙක් බිහිවෙයි ද?

පුරවැසියෙක් හැටියට එහෙම බිහිවෙයි කියල පලාපොරොත්තුවක් තියෙනව. නමුත් එහෙම ඡුායාමාත‍්‍රයක්වත් නෑ මට හිතෙන විදිහට. එකම ප‍්‍රවාහයක විවිධ ස්වරූප ටිකක් තමයි තියෙන්නෙ. අපි දන්නවා ලෝකෙ විවිධ රටවල විශාල සමාජ පෙරළි සිද්ධවෙලා තියෙනව. ලංකාවෙ එහෙම වෙලා නෑ. ලංකාවෙ හැම විටම වෙලා තියෙන්නෙ මතුපිටින් වෙච්ච දෙයක්. ජනතාව රැුල්ලකට ඡුන්දෙ දීල තියෙනව. නැත්නම් රැුවටිලා ඡුන්දෙ දීලා තියෙනව. නැත්නම් වරදාන පවරප‍්‍රසාද වලට ඡුන්දෙ දීලා තියෙනව.

1948 නිදහසවත් ජනතා අරගලයකින් ගත්ත එකක් නෙමෙයිනෙ. විදේශිකයන් විසින් නිදහස දුන්න නිසා නිහස ලබාගත්තා කියල අද අපි සමරනව. මීට වඩා තත්ත්වය වෙනස් වෙන්න තිබුණ අපි සටන් කරල නිදහස ගත්ත නම්. එහෙම නම් දේශපාලනය පිළිබඳව, නිදහස පිළිබඳව, රට පිළිබඳව සමස්ථ ශ‍්‍රී ලාංකික ජාතිය පිළිබඳ හැ`ගීමක් ඇතිවෙන්න  ඉඩ තිබුණ. එවැන්නක් එහෙම සිද්ධ වුනේ නැති නිසා සියලූ දෙනාට මේ සියල්ල ආගන්තුකයි. ඡුන්ද දායකයාටත්, දේශපාලඥයාටත් මේක ආගන්තුකයි. ඒක නිසා යම් බලයක් අතට ආව ගමන් තම වපසරියක්  වැඩි දියුණු කරගන්න එක තමයි සිද්ධ වෙලා තියෙන්නෙ. තමන් පිළිබඳව සිතීම, තමන් පමණක් ගොඩ නැ`ගීම. මේක තමයි සමස්ථ ශ‍්‍රී ලංකාවට තියෙන ගැටළුව.

ඒ නිසා තමන් ඉන්න තැනින් යම් පඩියක් උඩට ආව ගමන් තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමට තමයි බලන්නෙ. එහෙම නොවුන අවස්ථා ඇත්නම් දෙක තුනයි. ඒවායේ ගෞරවයත් යන්නේ සමාජවාදි ආකල්ප දරපු දේශපාලන පක්‍ෂ වලට පමණයි. අනික් හැම දෙනාම කළේ ඉඩම්, නිවාස, යාන වාහන ගැනීම. අනියමින් සොරා ගන්නා ලද ධනය විවිධ රටවල තැන්පත් කිරීම. දැනට තියෙන්නෙ විනාශ කාරි තත්ත්යක්. සැබෑ ජනතාවාදි නායකයෙක් ආව දවසක මේ තත්ත්වය වෙනස් වෙයි.

දැන් රටේ ප‍්‍රධාන මාතෘකාවක් බවට පත්වෙලා තියෙන ප‍්‍රශ්නයට මූලික හේතුව ජාති වාදය. තවමත් දේශපාලඥයින් බලයට ඒමටත්, අති බලය රැුකගැනීමටත් ජාතිවාදය පාවිචිච්චි කරනවා. කුලවාදයත් මනාප ගැනීමේ හොඳ මෙවලමක් විදිහට ඔවුන් පාවිච්චි කරනවා. මේ තත්ත්වය ගැන ඔබේ අදහස.

දේශපාලඥයන්ගේ අවිඥ්ඥාණික ස්වභාවය නිසායි එහෙම වෙන්නෙ. මොකද ඡුන්දෙකදි ඔවුන් හිතන්න පුරුදුවෙලා තියෙනනෙ තමන්ට ලැබෙන මානාප ගැන පමණයි. මනාප පොරය පිටුපස තියෙන ක‍්‍රියාන්විතය මොන විදිහකට සිද්ධ වුණත් කමක් නෑ කියලයි හිතන්නෙ. මානප ටික තමයි ප‍්‍රධාන වෙලා තියෙන්නෙ. මානප වගේ සරල කාරණයක් ප‍්‍රධාන වෙනකොට අනිත් ප‍්‍රවාහයන් තුළ ගැටුම් ඇතිවීම අහන්න දෙයක් නොවේ. සියවස් ගණනාවක් සිට කිසිම නායකයෙක් ජනවාර්ගික ගැටළුවට නිවැරදි විසඳුමක් දෙන්න උත්සාහ කෙරුවෙ නෑ. දේශපාලනයේ ජයගන්න කඩඉමක් කරගන්නෙ මේ ප‍්‍රශ්නෙම තමයි. ඔවුන් බලයට ආවට පස්සෙ නැවත ඒ ගැටලූව සාමාන්‍ය තත්ත්වයට පත්වෙනව. රටක් මොනම විදිහකටවත් දියුණු කරගන්න බෑ රටක ජනතාව ඒකීය ජනතාවක් බවට පත්වෙනකම්.
මාධ්‍ය තුළින් එක්සත් රටක් ගැන, ජාතිවාදය පිටුදැකීම ගැන හැමදාම කතා කළත් කිසිම මොහොතක මේවා ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක වෙලා නෑ. සිංහල ජාතිය අතරෙ විතරක් නෙමෙයි අනිකුත් ජාතීන් අතරෙත් මේ ප‍්‍රශ්නයම තියෙනව. ජාතිය වගේම කුල කාරණාත් තියෙනව. මෙන්න මේ වගේ සරල කාරණා නම් මූලික වෙන්නෙ, දේශපාලනය වගේ බරපතල කාරණාවකදි, මම හිතන්නෙ මේ ප‍්‍රශ්නයට විසඳුමක් නෑ කියල.

ජිනීවා මානව හිමිකම් ප‍්‍රශ්නයේදී ඇති වෙලා තියෙන ගැටළුව තමයි මෙය විසඳීමට ඇතිකරන යාන්ත‍්‍රණයෙ ව්‍යුහය. එය සම්පූර්ණයෙන්ම දේශීය යාන්ත‍්‍රණයකින් සිදුවිය යුතුයයි යන්න එක් මතයක් වන අතර අනෙක් කණ්ඩයම කියන්නෙ විදේශීය අධීක්‍ෂණයක් අවශ්‍යය බවයි. ඒ පිළිබඳව ඔබේ අදහස.

යම් චෝදනාවක් තියෙනව නම් එයට මුහුණ දිය යුතුයි. ජත්‍යන්තරයට පෙන්විය යුතුයි අපි ඉන්නෙ කොතනද කියන එක. තමන් නිර්දෝශීනම්, එය ඔප්පු කරන්න කරුණු තියෙනව නම් එයට අනවශ්‍ය කලබලයක්, බියක් ඇති කරගතයුතු නෑ. ජාත්‍යන්තරයෙන් අපිට අවාසියක් වෙන එකක් නෑ කියන එකයි මගේ හැ`ගීම.

අද කලාව කියන්නෙ, ජනතාව ඥාණනය කිරීමේ මෙවලමක්ද?, ජනතාව ආනන්දයට පත්කිරීමේ අභිලාසයක්ද? නැත්නම් කලාව අද ව්‍යාපාරයක් ද?

අද නම් කලාව කියන්නෙ ව්‍යාපාරයක්. කිහිප දෙනෙක් විතරයි පුද්ගලික වාසි වළින් තොරව, අවංක හඬක් න`ගන්නේ ජනතාව දැනුම්වත් කිරීම උදෙසා. අනික් සියලූම කලාකරුවන් බලන්නේ තමාගේ නිර්මාණය දේශපාලන බලපෑම් මගින් අලෙවි කර ගැනීමට. චිත‍්‍රපටයක් නම් ලාභදායි අන්දමින් ප‍්‍රදර්ශනය කරවා ගැනීම. ටෙලි නාට්‍යයක් විකාශය කර ගැනීම.  ගීත තැටියක් නම් ඒහි ගීත වාදනය කරවා ගැනීම හෝ විකාශය කරවා ගැනීම. නැත්නම් ගෙවල් දොරවල් යාන වාහන ගැනීම. අපි ඔවුන්ට අනුකම්පා කළ යුතුයි. කලාකරුවෙක් කියන්නේ නිවැරදි චින්තනයක් තියෙන සමාජයේ පෙරගමන් කරුවෙක්. ඔහුට සමාජ ප‍්‍රශ්න සරලව තක්සේරු කරන්න බෑ. දේශපාලඥයන්ට පවා අභියෝග කරන්න පුළුවන් කම තියෙනනෙ කලා කරුවට. විශේෂයෙන්ම සාහිත්‍ය කරුවට, කවියට.  එහෙම පුරුද්දක්, ක‍්‍රියාත්මක වීමක් අපේ රටේ නෑ. ඉතාම ස්වල්ප දෙනයි ඉන්නේ. බහු තරය තමන්ට ලැබෙන දේ වෙනුවෙන්  ඕනෑම දෙයක් කරන පිරිසක් බවට පත්වෙලා. මුලින්ම කළ යුත්තේ කලාකරුවා කියන්නේ කවුද යනුවෙන් හඳුනා ගැනීමයි. සැබෑ කලාකරුවෙක් ලෙස හඳුනා ගන්නා පුද්ගලයෙක්, මේ දේශපාලඥයන් වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වෙයිද කියන එක ගැටළුවක්. කලාකරුවා තමන්ගේ කාර්යභාරය, තමන්ගේ චින්තනය, තම වැදගත්කම ගැන පළමුවෙන් සිතා බැලිය යුතුයි. කලාව තුළින් සමාජයට, ඉදිරි පරම්පරාවට මොනතරම් දෙයක් කළ හැකිදැයි සිතා බැලිය යුතුයි.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *