|

එජාප සභාපතිතුමාත් පක්ෂ විනය කඩකරලා !

කබිර්ගේ දිවුරුම්දීම අගමැති දන්නෙත් නැතිලු :

පසුගිය සතිය පුරාම එජාප ආණ්ඩුව ජනතාවට පසුගිය අයවැයෙන් ලබාදුන් පොරොන්දු ඉටු කිරීම සඳහා අගමැති රනිල් හා මුදල් ඇමති මංගල මෙන්ම ඇමති දයා ගමගේද විශාල පරිශ්‍රමයක් දැරීය. අලුතින් සමෘද්ධිය පවුල් ලක්ෂ 6කට ලබාදීම ඒ අතර මුල්තැනක් ගත්තේය. මේ වන විට පලාත් හා දිස්ත්‍රික් මට්ටමෙන් අවස්ථා කිහිපයකදී පවුල් ලක්ෂ 3කට ආසන්නව එම ප්‍රතිලාභ ලබාදීමට කටයුතු සිදුව තිබේ.  තවද පසුගිය අයවැයේදී ආණ්ඩුව පොරොන්දු වූ පරිදි රාජ්‍ය සේවකයන්ගේ රුපියල් 2500 දීමනාව ඇතුළු සෙසු ප්‍රතිලාභ ලබාදීමද ජූලි 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියළු පියවර මේ වන විට සම්පූර්ණ කොට තිබේ. එපමණක්ද නොව විශ්‍රාමිකයින් ලක්ෂ 6කට රු.3500 සිට 20,000 දක්වා ප්‍රතිලාභ ලබාදෙමින් මෙතෙක් පැවැති විශ්‍රාම වැටුප් විශමතාවද නිම කිරීමට ඇමති මංගල සියළු කටයුතු සම්පූර්ණ කර තිබේ.

බ්‍රහස්පතින්දා අරලියගහ මැදුරේදී උදයේම රාජකාරි ඇරැඹූ අගමැති රනිල් අනතුරුව පාර්ලිමේන්තුව බලා ගියේය.

“මුස්ලිම් ඇමතිවරු ඔක්කොම එකට අයින් වුණාට එජාප දෙන්නා විතරක් එක පාරටම දිවුරුම් දුන්නෙ ඇයිද කියල හැමෝම අහනවා” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී විමසුවේ අගමැතිගෙනි.

“නෑ, දිවුරුම් දීපු එකේ නිවුස් ඇලර්ට් එක එනකන් ඒ ගැන මමවත් දැනන් හිටියෙ නෑ. ඊයෙ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී මේ ගැන කතාකරන්න හිටියා. ඒත් කබීර් ආවෙත් නෑ. ටෙලිෆොන් එක වැඩ කළෙත් නෑ. කෘත්‍යාධිකාරිය යන අතරේ කවුදෝ නැගිටල කිව්වා කබීර් හා හලීම් අන්න දිවුරුම් දීල කියල” අගමැතිවරයා කීවේ මද නොසන්සුන් බවකිනි.

“ජනාධිපතිතුමාත් එක්ක මේ වැඩේ කතාකරගෙන තියෙන්නෙ එජාපයේම බලවතෙක් කියල ආරංචියි. අන්තිමට ඒ බලවතාටත් හොරෙන් තමයි දිවුරුම් දීල තියෙන්නෙ. ඊට කළින් අගමැතිතුමයි ඇමති මලිකුත් කබීර් ඇමතිතුමාට කතා කළාලු. මංගල ඇමතිතුමා ඇතුළු මුළු එජාපෙම මේ දිවුරුම් දීමට එච්චර කැමති නෑ වගේ පේන්නෙ. ඔක්කොටම වඩා එකට තනතුරු අතෑරපු අනිත් පක්ෂ වල මුස්ලිම් අය අප්සට් කියලයි ආරංචි. දිවුරුම් දීල ඒ ඇමතිවරු අගමැතිතුමා හමුවුණේ නැද්ද?” එසේ විමසුවේ එජාපයේ ඉහළම නීති නිළධාරියෙකි.

“දිවුරුම් දීල මාව හමුවුණා. පක්ෂෙ සභාපති හැටියට එහෙම වැඩ කරන එක හරි නෑ කියල මම ඇගෙව්වා. නමුත් වුණ දේ වුණා. දැන් ඒක අපි ප්‍රශ්නයක් කරගන්න නරකයි” අගමැතිවරයා කීය.

“කෑගල්ල ටවුන් එකට මිනිස්සු බස්සල තමයි කබීර් මේ වැඩේ පටන් ගත්තෙ. හලීම් ඇමතිතුමාට කියල තියෙන්නෙ ආණ්ඩුවේ සියළුදෙනා මේ දිවුරුම්දීම ගැන දන්නව කියලයි. ඊට පස්සෙ හලීම් ඇමතිතුමා අගමැතිතුම ඇහුවාම අගවල තියෙන්නේ ඔබතුමා දැනුවත් බවට මට පණිවුඩ ආපු නිසා එතුමා දිවුරුම් දීපු බවයි. අනික පක්ෂ සභාපතිතුමා මට කිව්වාම එතනින් එහාට මම කිසිම දෙයක් හිතුවෙ නෑ කියලයි එතුමා කියල තියෙන්නේ” එජාප ඇමතිවරයෙක් කීවේය.

එජාපෙට අයත් පක්ෂ නායකයන් මෙම හදිසි දිවුරුම් දීම පිළිබඳව අගමැතිවරයාගෙන් ඊට් කලින්දා විමසූ අවස්ථාවේ සිට ආණ්ඩුව තුල මෙම සංවාදය ඉදිරියට ඇදී ගියේය.

“ඊයෙ කෘත්‍යාධිකාරියෙදි චම්පික රණවකටයි දින 52දී අමාරු වෙලාවෙ ආපු ශ්‍රීලනිප අයටයි ආසන සංවිධායකකම් දෙන එකට කෘත්‍යාධිකාරියෙදි අජිත් පෙරේරල විරුද්ධ වුණා. මේ සංවිධායකකම් දෙන එකට ඇතුලෙ එක්තරා කල්ලියක් තමයි විරුද්ධ කියල විග්‍රහය ආවෙ. ඇමති රවීත් මුලින් විරුද්ධවෙලා පස්සෙ කැමති වුණා” තවත් එජාප ප්‍රබලයෙක් කීවේ එවැන්නකි.

“මට මාස 18ක් පැත්තකට වෙලා ඉන්න කියල කබීර්ල සතියෙන් ආපහු ඇමතිකම ගැනීම පුදුමයක් කියල ඇමති රවී කෘත්‍යාධිකාරියේදි කියපු එකත් විශේෂයි.”  එජාප පසුපෙළ සාමාජිකයින්ගෙන් ආවේ එවැනි අදහසකි.

“තේරීම් කාරක සභාව නතර නොකළොත් කැබිනට් තියන්නෑ කියල හට්ටි වලං පොළොවෙ ගහපු ජනාධිපතිතුමා ගිය කැබිනට් එකට ආපු එකෙන් වැඩිම වාසිය එතුමාටයි.” ලක්ෂ්මන් කිරිඇල්ල සිනහසෙමින් කීවේ එවැන්නකි.

“අජිත් පෙරේරා ඇමතිතුමා රූපවාහිනි සංවාදයකදී මේ ගැන හරිම විග්‍රහය කළා. ඔක්තෝබර් වලදී හොරාට පිට ගිහින් නීතියෙන් බල කළාම ආපහු ගෙදර ඇවිත් දිගටම ප්‍රශ්න ඇති කරන තත්වයක් මේ තියෙන්නෙ. පාර්ලිමේන්තුව කල් දාල තේරීම් කාරක සභාව අහොසි කරන්නත් උත්සාහ කරළ පාර්ලිමේන්තුව කල් දැම්මත් මෙවැනි විශේෂ කාරක සභාවක් අහෝසි නොවන බව පස්සෙ තේරිලයි අකුලගෙන තියෙන්නෙ කියල එතුමා තේරෙන භාෂාවෙන් රටට පැහැදිලි කළා” චමින්ද විජේසිරි කීවේය.

“අගමැතිතුමාගෙ සිංගප්පූරු සංචාරය කොහොමද? ගෝඨාභය බලන්නත් ඒ ඉස්පිරිතාලෙට ගියාද? ගෝඨා බලන්නම සිංගප්පූරු ගියා කියලයි සමාජ ජාලා වල තිබුණෙ” හේෂා විතානගේ කීවේ සිනාසෙමිනි.

“නෑ මම සිංගප්පූරු ගියේ නිල සංචාරෙකට. ඒ රටේ විදේශ හා ස්වදේශ කටයුතු ඇමතිවරු දෙන්න හා ඉහළ නිලධාරින් හමුවෙලා ද්විපාර්ශ්වික කරුණු රැසක් කතා කළා. ගෝඨාබය බලන්න තිබුණා නම් හොදයි. ඒත් බයිපාස් කරපු කෙනෙක් බලන්න යන එකත් ඔහුට කරදරයක්. ගෝඨාභයට ටිකක් රෙස්ට් කරන්න කියල උපදෙස් ලැබුණු බවනම් මට ආරංචි වුණා.” අගමැතිවරයා කීය.

“ගෝඨාභයට මීට පෙර ස්ටෙන්ත් එකකුත් දාල තිබිල තියෙනවා. මේ පාර කපාට දෙකකට ඕපන් බයිපාස් එකක් කරලා කියලයි ආරංචි. මේ ශල්‍යකර්ම දැන් බත්කනවා වගේ ඉතා පහසුවෙන තරමට වෛද්‍ය විද්‍යාව දියුණුයි.” ඇමති නවීන් දිසානායක කීවේ එවැන්නකි.

“අර මිහින්තලේදි ඔබතුමා ලිච්ඡවි රජදරුවන්ගේ පාලනයක් ගැන කියපු කතාවට ජනාධිපතිතුමයි තව තව කට්ටියයි දැන් තඩිබානවා.” මහාචාර්ය ආශු මාරසිංහ කීවේ මද සිනහවක්ද සමගිනි.

“ලිච්ඡවි පාලනයක් ගැන එතන කතාකළේ මිහින්තලේ නායක හාමුදුරුවෝ මිසක් මම නෙවෙයි. මම ඒකට ප්‍රතිචාරයක් දැක්වුවා විතරයි. මම එතන කතාකරන්නවත් නෙවෙයි හිටියේ. නායක හාමුදුරුවන්ගෙ ඉල්ලීමෙටයි ඒ කතාව කලේ” අගමැතිවරයා පිළිතුරු දුන්නේය.

“අපේ ආශු මාරසිංහ ගිය සතියේ පත්තර සාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ හා විමල්ගෙ අතීතය එළි කිරීම හුඟක් වටිනවා කියල හැමෝම කියනවා.” හේෂා විතානගේ කීවේ අගමැතිටය.

“මොකක්ද ආශු එළිකරල තිබුණෙ?” අගමැති විමසීය.

“නෑ අගමැතිතුමා, ජාතික නිදහස් පෙරමුණ පටන්ගත්තේ වීරවංශ නෙවෙයි කමල් දේශප්‍රිය, මාන්නපෙරුම, නන්දන ගුණතිලකලයි. විමලුත් එතෙන්ට එකතුවුණා කියලයි මම එලිකළේ. අනික මම ඉංජිනේරු සංස්ථාවේ සභාපති වෙලා ඉන්න කාලෙ දක්ෂිණ අධිවේගයේ පිවිසුම් ඉදිකිරීමට මිලියන 1000 කට වැඩි ටෙන්ඩරයක් සංස්ථාව තරග කරල ලබාගත්තා. ඒක සංස්ථාවේ ඓතිහාසිකම අවස්ථාවක්. ඒත් මහින්ද රාජපක්ෂ හා වීරවංශ මට බලපෑම් කරලා වෙන කෙනෙකුට ඒ කොන්ත්‍රාත් එක දෙන්න කිව්වා. දූෂණ වලට ඉඩදෙන්න බැරි නිසා මම සංස්ථාව දාල මම මගේ ජපාන මහාචාර්ය ඇදුරුකමට ගියා. ඊට පස්සෙ මහින්ද ජනාධිපතිතුමා ජපානයට ආවහම භාෂා පරිවර්තක වුණේ මමයි. ඒ සංචරයෙදී එතුමගෙ ක්‍රියාකාරකම් දැකලයි ඔහු පරාජය කළ යුතුම නායකයෙක් කියල මම එවකට විපක්ෂ නායක වූ ඔබතුමා හමුවෙලා කිව්වෙ. ඔබතුමාට ඒක මතක ඇති” මහාචාර්ය ආංශු මාරසිංහ කී විට අගමැතිතුමා හිස සැලුවා මිසක කිසිවක් කීවේ නැත.

“මේ ජනාධිපතිවරණයට කලින් මහ චන්දයක් ගේන්න කෝටි 1000ක් විතර වියදම් කරල ජනමත විචාරණයක් තියන්න හදනව කියන මේ කතාව මොකක්ද?” ලක්ෂ්මන් කිරිඇල්ල මෙන්ම නවීන් දිසානායකද ඇසුවේ එකම පැනයකි.

“ඔය ප්ලාන්ට් කරන බොරු ප්‍රවෘත්ති ගැන කතා කරලා කාලය නාස්ති කරන්නෙපා” අගමැති කීය.

“දැන් රිෂාඩ් ඇමති තුමාත් පරීක්ෂණයකට කලින් ඇමතිකමේ දිවුරුම් දෙයිද දන්නෙ නෑ.” ආශු මාරසිංහ ඇසුවේ අගමැතිගෙනි.

“රිෂාඩ්ගෙ පරීක්ෂණ ඉක්මන් කරල ඒ වාර්තාව අනුවයි තීන්දු ගන්න වෙන්නෙ. ඒව ඉක්මන් කරන්න දැන් වෙනමම කණ්ඩායමකුත් දාලයි තියෙන්නෙ. රිෂාඩ් කාරක සභාවට කැදවනවද නැද්ද කියල ආශුලටම තමයි තීන්දු කරන්න වෙන්නෙ.” අගමැතිවරයා කීවේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *